118. මග්ගසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර බුද්ධස්ස සාවකා ආදි වශයෙන් ආයුෂ්මත් මග්ගසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ එයින් පසුව භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවතෙහි දිව්යපුත්රයෙක් ව ඉපිද කැළයට ගොස් මංමුළා වූ මාර්ගය සොයන්නා වූ උන්වහන්සේගේ ශ්රාවකයන් වළඳවා මාර්ගය කීය. හේ ඒ පිනින් දෙව් මිනිස් සැප අනුභවකොට උපනුපන් භවයෙහි සියලු තන්හි මුළා නොවූයේ සංඥා ඇත්තේ විය. ඉක්බිති මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසයෙහි නොඇලුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරවන්නාහු ‘පදුමුත්තර බුද්ධස්ස’ යනාදිය කීහ. සාවකා වනචාරිනො යනු භාග්යවතුන් වහන්සේ කියූ වචනය මැනවින් ආදරයෙන් අසත්නුයි සාවක නමි. නැතහොත් භාග්යවතුන් වහන්සේගේ දේශනා අනුසාරයෙන් ඥානය මෙහෙයවා සද්ධර්මය අසත්නුයි සාවක නමි. වනචාරිනො වනයෙහි හැසිරෙන ශ්රාවකයෝ ය. විප්පනට්ඨං මංමුළා වී මහා වනයෙහි අන්ධාව ඇස් නැත්තවුන් මෙන් අනුසරෙ හැසිරෙති යනු සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
මග්ගසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
119. පච්චුපට්ඨාන ථේර අපදාන වර්ණනාව
අත්ථදස්සි සුගතෙ යනාදි වශයෙන් ආයුෂ්මත් පච්චුපට්ඨාන සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි යක් යෝනියෙහි ඉපිද භාග්යවතුන් වහන්සේ ජීවමාන කාලයෙහි දැක්මක් නොලැබුණු බැවින් පසුව පිරිනිවි කල්හි මහත් ශෝකයට පැමිණ වාසය කළේය. එකල්හි උන්වහන්සේගේ සාගත නම් අග්ර ශ්රාවකයන් වහන්සේ අනුශාසනා කරන සේක් ‘භාග්යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු පූජාව නම් ජීවත්ව සිටියදී කරන ලද පූජාවක් මෙන් මහත්ඵල වෙති’යි කියා ස්තූපයක් කරවයි යොදවනු ලැබුයේ ස්තූපයක් කරවීය. එයට පූජාකොට එයින් චුතවූයේ දෙවිමිනිසුන් අතර සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘අත්ථදස්සිම්හි සුගතෙ’ යනාදිය කීහ. එය යට කියන ලද්දේ ම ය. යක්ඛයොනිං උපපජ්ජිං යනු මෙහි තමාගේ ඉදිරියට පැමිණි පැමිණියවුන් කමින් යාති යතියි යක්ඛ නමි. යකුන්ගේ යොනි ජාතියනුයි යක්ඛයොනි නමි. යක්ෂ යෝනියෙහි උපන්නේ යන අර්ථයි.
දුල්ලද්ධං වත මෙ ආසිං යනු මෙ මා විසින් ලැබුණු යසස අපහසුවෙන් ලබන ලද්දේය. බුදුවූ ශාස්තෲන් වහන්සේට සත්කාරයක් නොකරන ලද බැවින් වරදවා ලබන ලද්දේය යන අර්ථයි. දුප්පභාතං යනු දුෂ්ප්රභාතයක්, රාත්රිය එලඹීමක්, මාගේ අතිශයින් දුෂ්ප්රභාතයක් යන අර්ථයි. දුරුට්ඨිතං යනු දුට්ඨුතං සූර්යාගේ උදාවීම මාහට නරක උදාවීමක්ය යන අර්ථයි. සෙස්ස සියලුතන්හි නොගැඹුරු ම ය.
පච්චුපට්ඨාන සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
120. ජාතිපූජක ථේර අපදාන වර්ණනාව
ජායන්තස්ස විපස්සිස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් ජාතිපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ නැකැත් කියන්නන් විසින් විපස්සි බෝධි සත්ත්වයන්ට කියන ලද ලක්ෂණ නිමිත්ත අසා, ‘මේ කුමාරයා වනාහි බුදුවී සකල ලෝකයාට අග්රව ශ්රේෂ්ඨව සියලු සත්ත්වයන් සසරින් ගොඩදමන්නේ යයි අසා, ඒ භාග්යවතුන් වහන්සේ කුමාර කල්හිම බුදුන්ට මෙන් පසුව ක්රමයෙන් කුමාරකාලය, යුවරජ කාලය රජ කාලයයි කාලත්රය ඉක්මවා බුදුරජාණන් වහන්සේ උපන් කල්හිද මහා පූජාවක් කොට එයින් චුතවූයේ තුසිත ආදී දිව්ය ලෝකවල ඉපිද දිව්යසැප අනුභව කොට පසුව මිනිසුන් අතර චක්රවර්ති ආදී මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නේ හත්අට වයස් කල්හිම භාග්යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ කුශලකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘ජායන්තස්ස විපස්සිස්ස’ යනාදිය කීහ. එය යටකියන ලද අර්ථ ඇත්තේ ම ය.
නෙමිත්තානං සුණිත්වාන යනු මෙහි නිමිත්තං කරුණ සැපදුක් ඇතිවීමට හේතුව දනිත්නුයි නෙමිත්තා නමි. ඒ නෙමිත්තානං නක්ෂත්ර පාඨකයන්ගේ වචනය අසා යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වේ ම ය.
ජාතිපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
දොළොස්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.
13. සෙරෙය්ය වර්ගය
121. සෙරෙය්යක ථේර අපදාන වර්ණනාව
අජ්ඣායකො මන්තධරො යනාදි වශයෙන් ආයුෂ්මත් සෙරෙය්යක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ආත්මභාව සියදහස් ගණන් පින් රැස් කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයේදී බ්රාහ්මණ කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව තුන්වේදයෙහි පරතෙරට ගොස් ඉතිහාස ආදී සියලු බ්රාහ්මණ ධර්මවල කෙළවරට පැමිණියේ, එක් දවසක අභ්යවකාශයෙහි වැඩසිටි සපිරිවර භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ මහරි මලක් ගෙන පූජා කරමින් අහසට දැමීය. ඒ මල් අහසෙහි වියනක් ව සත්දිනක් තිබී පසුව අතුරුදහන් විය. හේ එම අසිරිය දැක අතිප්රසන්න සිත් ඇත්තේ එම ප්රීති සොම්නසින්ම කලුරිය කොට තුසිත ආදී දෙව්ලෝවල ඉපිද එහි දිවසැපත් අනුභවකොට ඉන්පසුව මිනිස් සුව අනුභව කළේය. ඉන්පසු මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණ පූර්ව වාසනා බලයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදි ව නොබෝ කලකින් ම රහත් විය.