116. චිතකපූජක ථේර අපදාන වර්ණනාව
වසාමි රාජායතනෙ ආදි වශයෙන් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ඉන්පසුව උපනුපන් භවයෙහි පින් රැස් කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි රාජායතන රුක් දෙවියෙක් ව ඉපිද අතරින්පතර දෙවියන් සමග ධර්මය අසා පැහැදුණේ සපිරිවරින් සුවඳ පහන් දුම් මල් බෙර ආදිය ගෙන්වාගෙන භාග්‍යවතුන් වහන්සේ ආදාහන කළ තැනට ගොස් පහන් ආදිය පුදා නොයෙක් තූර්යයෙන් නොයෙක් වාදිතයෙන් එය පිදුවේය. එතැන් පටන් ස්වකීය භවනයට පිවිසියේ ද භාග්‍යවතුන් වහන්සේ ම සිහිකොට සම්මුඛයෙහි මෙන් වඳියි. හේ එම පිනින් ම ඒ චිත්තප්‍රසාදයෙන් ම රාජායතනයෙහි කලුරිය කළේ තුසී දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභවකොට ඉන්පසු මිනිසුන් අතර මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපන් චිත්තප්‍රසාද ඇත්තේ භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘වසාමි රාජායතනෙ’ යනාදිය කීහ. ‘රාජායතන’ යනු දෙව්රදුන්ගේ ආයතනය රාජායතන නමි. ඒ රුකට නමක් හෝ වෙයි. පරිනිබ්බුතෙ භගවති යනු හාත්පසින් කිසිවක් ඉතිරි නොකොට ස්කන්ධ පරිනිර්වාණ කාලයෙහි පිරිනිවනට පත් සිඛී ලෝකබන්ධු වූ බුදුරජාණන් වහන්සේගේ යනු සම්බන්ධයි.
චිතකං අගමාසහං යනු සඳුන් අගිල් දෙව්දුරු කපුරු තකුල් ආදී වූ සුවඳ චිතං රැස්කරන ලද්දේනුයි චිත නමි. චිතම චිතකයයි. බුදුන් ගෞරව පිණිස චිතකය පුදනු සදහා චිතකය සමීපයට මම ගියෙමි යන අර්ථයි. එහි ගොස් කරන ලද කාර්යය දක්වන්නේ ‘තරියංතත්‍ථ වාදෙත්‍වා’ යනාදිය කීහ. ඒ සියල්ල පහසුවෙන් දත හැක්කේ ම ය.
චිතකපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
117. බුද්ධසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
යදා විපස්සි ලොකග්ගො යනාදි වශයෙන් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් බූමාටු විමනක දෙවි පුතෙක් ව උපන්නේය. එකල විපස්සි භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය හළ සේක. සියලු දසදහසක් ලෝකධාතුද චතුස්සාගරද බුද්ධ සඤ්ඤක පර්වතද ප්‍රකම්පනය විය. එදා දෙව්පුතුගේ විමන ද කම්පනය විය. එකෙණෙහි ඒ දේවපුත්‍රයා සැක හටගත්තේ පෘථුවි කම්පනයෙහි උපත කිමෙක්දැයි සිතා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර හළ බව දැන මහා ශෝක සංවේගයක් ඉපදවීය. එකල්හි වෛශ්‍රවණ මහරජ තෙමේ පැමිණ ඒ ගැන නොසිතවයි අස්වැසීය. ඒ දේවපුත්‍රයා එයින් චුතව ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ගිහිගෙය අත්හැර පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
පසුකලක පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘යදා විපස්සි ලොකග්ගො’ යනාදිය කීය. ආයුසඞ්ඛාර මොස්සජි යනු හාත්පසින් යුනොති සත්ත්වයන් පාලනය කෙරේනුයි ආයු නමි. ආයුෂයෙහි සංඛාරො ඒකරාශී වීම ආයුසංඛාර නමි. ඒ ආයු සංස්කාරය ඔස්සජි ප්‍රතික්‍ෂේප කළ සේක. අත්හළ සේක යන අර්ථයි. එම ආයුසංස්කාර හැරීමෙහිදී ජලමෙඛලා සාගරජල මේඛලාව සහිත සියලු දසදහසක් චක්‍රවාට පෘථුවිය ප්‍රකම්පනය විය යනු සම්බන්ධයි.
ඔතනං විත්‍ථතං ඔතතනං විතතං විසිතුරු වූ සුපිරිසිදු වූ චිත්තං නොයෙක් සත්රුවනින් චිත්‍රවිචිත්‍ර වූ සෝබමාන වූ මාගේ භවන පකම්පිත්‍ථ ක්‍රමයෙන් ප්‍රකම්පනය විය යන අර්ථයි. සෙස්ස සියලුතන්හි නොගැඹුරුමය.