113. දුතියසරණගමනීය ථේර අපදාන වර්ණනාව
උභින්නං දෙවරාජුනං යනාදි වශයෙන් ආයුෂ්මත් සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ උපනුපන් භවයෙහි පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ උපන් කල්හි මොහු හිමවතෙහි දෙව්රජෙක් ව උපන්නේය. ඒ අසලම විසූ යක්දෙව් රජු සමග සංග්‍රාමය පිණිස එළැඹියේ දෙදෙන නොයෙක් යක්‍ෂයන් දහස් ගණන් පිරිවර ඇත්තාහු පලිස් ආයුධ ගත් අත් ඇත්තාහු වූහ. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ඒ සත්ත්වයන් කෙරෙහි කරුණාව උපදවා අහසින් එහි වැඩමවා පිරිවර සහිත දෙව්රජුන් දෙදෙනාට ධර්මය දේශනා කළ සේක. එකල්හි ඒ සියලු පලිස් ආයුධ හැරදමා භාග්‍යවතුන් වහන්සේට ගරු බුහුමන් සහිතව වැඳ සරණ ගියහ. මේ තෙමේ ඔවුන්ගෙන් පළමුව සරණ ගියේය. හේ ඒ පිනින් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක පෙර කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘උභින්නං දෙවරාජූනං’ යනාදිය කීහ. එහි සුචිලෝම ඛරලෝම, ආලවක කුම්භීර කුවේර ආදීන් මෙන් නාම ගෝත්‍රයෙන් අප්‍රකට වූ යක් රජුන් දෙදෙන වෙනත් අයුරකින් දක්වන්නේ උභිතනං දෙව රාජුනං යනාදිය කීහ. සඞ්ගාමො සමුපට්ඨිතො යනු සං මනාසේ ගාමො කලහ පිණිස පැමිණීම යනු සංගාම නමි. ඒ සංග්‍රාමය සං මැනවින් උපට්ඨිතො පැමිණ සිටියේ වෙයි යන අර්ථයි. අහොසි සමුපබ්බුළ්හො යනු සං මැනවින් උප සමීපයෙහි එක්රැස් වූයේ යන අර්ථයි.
සංවෙජෙසි මහා ජනං යනු එක්රැස් වූ යකුන්ට අහසෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ චතුස්ස්‍ය ධර්ම දේශනාවෙන් සං මනාසේ වෙජෙසි ආදීනව දැක්වීමෙන් ගැන්වූ සේක දැන්වූ සේක අවබෝධ කරවූ සේක යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
114. ඒකාසනිය ථේර අපදාන වර්ණනාව
වරුණොනාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් ඒකාසනිය තෙරුන් වහ්නසේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වරුණ නම් දෙව්රජෙක් ව උපන්නේ ය. හේ භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ සුවඳමල් ආදියෙන් ද ගීතවාදිතයන්ගෙන් ද උවටැන් කරන්නේ පිරිවර සහිතව පූජා කළේය. ඉන් පසුකලක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ මහාබෝධි වෘක්‍ෂය බුදුන් දැක්මක් මෙන් සියලු තූර්ය තාල යෙදීම්වලින් පිරිවර සහිතව උපහාර කළේය. හේ ඒ පිනින් කලුරිය කොට නිර්මාණරතී දිව්‍ය ලෝකයෙහි උපන්නේ ය. මෙසේ දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතරද මිනිසෙක් ව මිනිස් සම්පත්ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
පසුව ස්වකීය කර්මය සිහිකොට එය තථ්‍ය පරිදි දැන හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ වරුණොනාම නාමෙන යනාදිය කීය. එහි මම යම්කලක සතුටුවීම පිණිස බුද්ධ බෝධියද පිදුවෙම් ද, එකල්හි වරුණනම් දෙව්රජ වීමි, යන සම්බන්ධයි.
ධරණීරුහ පාදපං යනු වෘක්‍ෂලතා පර්වත සත්රුවන් ආදිය දරානුයි ධරණී නමි. එහි වැඩේනුයි පිහිටානුයි ධරණීරුහ නමි. පයින් පානය කෙරේනුයි පාදප නමි. ඉසින ලද ජලය පාදයෙන් බොයි, රුක් කඳ අතු රිකිලිවලින් ආපෝරසය පතුරුවා හරී යන අර්ථයි. ඒ ධරණීරුහ පාදපය වූ බෝධිවෘක්‍ෂය යන සම්බන්ධයි.