114. ඒකාසනිය ථේර අපදාන වර්ණනාව
වරුණොනාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් ඒකාසනිය තෙරුන් වහ්නසේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි වරුණ නම් දෙව්රජෙක් ව උපන්නේ ය. හේ භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ සුවඳමල් ආදියෙන් ද ගීතවාදිතයන්ගෙන් ද උවටැන් කරන්නේ පිරිවර සහිතව පූජා කළේය. ඉන් පසුකලක භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ මහාබෝධි වෘක්ෂය බුදුන් දැක්මක් මෙන් සියලු තූර්ය තාල යෙදීම්වලින් පිරිවර සහිතව උපහාර කළේය. හේ ඒ පිනින් කලුරිය කොට නිර්මාණරතී දිව්ය ලෝකයෙහි උපන්නේ ය. මෙසේ දිව්ය සම්පත් අනුභවකොට මිනිසුන් අතරද මිනිසෙක් ව මිනිස් සම්පත්ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
පසුව ස්වකීය කර්මය සිහිකොට එය තථ්ය පරිදි දැන හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ වරුණොනාම නාමෙන යනාදිය කීය. එහි මම යම්කලක සතුටුවීම පිණිස බුද්ධ බෝධියද පිදුවෙම් ද, එකල්හි වරුණනම් දෙව්රජ වීමි, යන සම්බන්ධයි.
ධරණීරුහ පාදපං යනු වෘක්ෂලතා පර්වත සත්රුවන් ආදිය දරානුයි ධරණී නමි. එහි වැඩේනුයි පිහිටානුයි ධරණීරුහ නමි. පයින් පානය කෙරේනුයි පාදප නමි. ඉසින ලද ජලය පාදයෙන් බොයි, රුක් කඳ අතු රිකිලිවලින් ආපෝරසය පතුරුවා හරී යන අර්ථයි. ඒ ධරණීරුහ පාදපය වූ බෝධිවෘක්ෂය යන සම්බන්ධයි.
සකකම්මාහිරද්ධො යනු තමාගේ කුසල කර්මයෙන් අභිරද්ධො පසන්නො උතුම් බෝධිය කෙරෙහි පැහැදුණේ යන සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
එකාසනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
115. සුවණ්ණපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
විපස්සි නාම භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් සුවණ්ණපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තැනක බූමාටු දිව්ය පුත්රයෙක් ව ඉපදී ඒ භාග්යවතුන් වහන්සේගේ ධර්මය අසා පහන් සිතැත්තේ රන්මල් සතරක් පූජා කළේය. ඒ මල් අහසෙහි රන් වියනක් වී වසාගති. රන් පැහැය ද බුදුරජාණන් වහන්සේගේ සිරසෙහි පැහැයද එකක් ව මහා ආලෝකයක් විය. හේ වැඩි වැඩියෙන් පැහැදුණේ ස්වකීය භවනයට ගිය ද සිහි කෙරේමය. හේ ඒ පුණ්ය කර්මයෙන් තුසිත භවනය ආදී සුගතීන්හිම සැරිසරන්නේ දිව්ය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණියේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා සසුනට උර දී පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
පසුකලක පෙර කළ කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්වචරිතාපදානය ප්රකාශ කරන්නේ විපස්සිනාම භගවා යනාදිය කීය. එය යට කියන ලද්දේ ම ය.
පාමොජ්ජං ජනයිත්වාන යනු බලවත් ප්රීතියක් උපදවා සිතෙහි මෝදනය ප්රමෝදනය භාසය ප්රභාසය ප්රීතිය ප්රමෝදය ප්රමුදිත භාවය සතුටු බව ආදිය මෙන් සතුටු සිත් ඇති බව උපදවා යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු ම ය.
සුවණ්ණපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
116. චිතකපූජක ථේර අපදාන වර්ණනාව
වසාමි රාජායතනෙ ආදි වශයෙන් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ඉන්පසුව උපනුපන් භවයෙහි පින් රැස් කරන්නේ සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි රාජායතන රුක් දෙවියෙක් ව ඉපිද අතරින්පතර දෙවියන් සමග ධර්මය අසා පැහැදුණේ සපිරිවරින් සුවඳ පහන් දුම් මල් බෙර ආදිය ගෙන්වාගෙන භාග්යවතුන් වහන්සේ ආදාහන කළ තැනට ගොස් පහන් ආදිය පුදා නොයෙක් තූර්යයෙන් නොයෙක් වාදිතයෙන් එය පිදුවේය. එතැන් පටන් ස්වකීය භවනයට පිවිසියේ ද භාග්යවතුන් වහන්සේ ම සිහිකොට සම්මුඛයෙහි මෙන් වඳියි. හේ එම පිනින් ම ඒ චිත්තප්රසාදයෙන් ම රාජායතනයෙහි කලුරිය කළේ තුසී දෙව්ලොව ඉපිද දිව්ය සම්පත් අනුභවකොට ඉන්පසු මිනිසුන් අතර මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ භාග්යවතුන් වහන්සේ කෙරෙහි උපන් චිත්තප්රසාද ඇත්තේ භාග්යවතුන් වහන්සේගේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.