112. සුමඞ්ගල ථේර අපදාන වර්ණනාව
අත්ථදස්සි ජිනවරො යනාදි වශයෙන් ආයුෂ්මත් සුමංගල තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් තඩාගයක් සමීපයෙහි රුක්දෙවියෙක් ව උපන්නේ ය. එසමයෙහි භාග්යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම නහනු කැමතිසේක් ඒ තඩාංගයෙහි ඉවුරට වැඩමකොට එහි ස්නානය කොට එක් සිවුරකින් බබලන බ්රහ්මයා මෙන් සූර්යයා මෙන් රන් පිළිමයක් සේ වැඩසිටි සේක. ඉක්බිති ඒ දිව්යපුත්රයා හටගත් සොම්නස් ඇත්තේ ඇඳිලිබැඳ ස්තුති කළේය. තමාගේ දිව්යගීත තූර්ය වාදනයෙන් උපහාරද කළේය. හේ එම කර්මයෙන් දෙවිමිනිසුන් අතර සම්පත් අනුභවකොට පසුකලක මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.
උන්වහන්සේ පසුව පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්වචරිතාපදානය ප්රකාශ කරන්නාහු අත්ථදස්සි ජිනවරො යනාදිය කීහ. එහි පරමාර්ථ නිර්වාණය දක්ඛති දකින්නේනුයි අත්ථදස්සි නමි. නැතහොත් සියලු සත්ත්වයන්ට චතුරාර්ය සත්ය සංඛ්යාත අත්ථං ප්රයෝජනය දක්නාසුලු වූයේ යනුයි අත්ථදස්සි නමි. කෙලෙස් දිනුවේය. දිනයි දිනන්නේනුයි ජිනනමි. සියලු සත්ත්වයන් විසින් හැසිරිය යුත්තේ ප්රාර්ථනා කළයුත්තේනුයි වර නම් අත්ථදස්සි ජිනවූයේ ද හෙම වරවූයේ ද අත්ථදස්සි ජිනවර නමි. ලොකජෙට්ඨො යනු දිරානුයි විශේෂයෙන් දිරානුයි ලෝක නමි. බුද්ධාදීන් විසින් බලනු ලැබේනුයි. පිහිටනු ලැබේනුයි පරතෙර පත්වූයේනුයි හෝ ලෝක නමි. ලෝකයට ජ්යෙෂ්ඨ වූයේ නරයන්ට උත්තම වූයේ යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වේ ම ය.
සුමඞ්ගල තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
113. දුතියසරණගමනීය ථේර අපදාන වර්ණනාව
උභින්නං දෙවරාජුනං යනාදි වශයෙන් ආයුෂ්මත් සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ උපනුපන් භවයෙහි පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේ උපන් කල්හි මොහු හිමවතෙහි දෙව්රජෙක් ව උපන්නේය. ඒ අසලම විසූ යක්දෙව් රජු සමග සංග්රාමය පිණිස එළැඹියේ දෙදෙන නොයෙක් යක්ෂයන් දහස් ගණන් පිරිවර ඇත්තාහු පලිස් ආයුධ ගත් අත් ඇත්තාහු වූහ. එකල්හි පදුමුත්තර භාග්යවතුන් වහන්සේ ඒ සත්ත්වයන් කෙරෙහි කරුණාව උපදවා අහසින් එහි වැඩමවා පිරිවර සහිත දෙව්රජුන් දෙදෙනාට ධර්මය දේශනා කළ සේක. එකල්හි ඒ සියලු පලිස් ආයුධ හැරදමා භාග්යවතුන් වහන්සේට ගරු බුහුමන් සහිතව වැඳ සරණ ගියහ. මේ තෙමේ ඔවුන්ගෙන් පළමුව සරණ ගියේය. හේ ඒ පිනින් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක පෙර කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘උභින්නං දෙවරාජූනං’ යනාදිය කීහ. එහි සුචිලෝම ඛරලෝම, ආලවක කුම්භීර කුවේර ආදීන් මෙන් නාම ගෝත්රයෙන් අප්රකට වූ යක් රජුන් දෙදෙන වෙනත් අයුරකින් දක්වන්නේ උභිතනං දෙව රාජුනං යනාදිය කීහ. සඞ්ගාමො සමුපට්ඨිතො යනු සං මනාසේ ගාමො කලහ පිණිස පැමිණීම යනු සංගාම නමි. ඒ සංග්රාමය සං මැනවින් උපට්ඨිතො පැමිණ සිටියේ වෙයි යන අර්ථයි. අහොසි සමුපබ්බුළ්හො යනු සං මැනවින් උප සමීපයෙහි එක්රැස් වූයේ යන අර්ථයි.
සංවෙජෙසි මහා ජනං යනු එක්රැස් වූ යකුන්ට අහසෙහි වැඩහුන් භාග්යවතුන් වහන්සේ චතුස්ස්ය ධර්ම දේශනාවෙන් සං මනාසේ වෙජෙසි ආදීනව දැක්වීමෙන් ගැන්වූ සේක දැන්වූ සේක අවබෝධ කරවූ සේක යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
114. ඒකාසනිය ථේර අපදාන වර්ණනාව
වරුණොනාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් ඒකාසනිය තෙරුන් වහ්නසේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි වරුණ නම් දෙව්රජෙක් ව උපන්නේ ය. හේ භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ සුවඳමල් ආදියෙන් ද ගීතවාදිතයන්ගෙන් ද උවටැන් කරන්නේ පිරිවර සහිතව පූජා කළේය. ඉන් පසුකලක භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ මහාබෝධි වෘක්ෂය බුදුන් දැක්මක් මෙන් සියලු තූර්ය තාල යෙදීම්වලින් පිරිවර සහිතව උපහාර කළේය. හේ ඒ පිනින් කලුරිය කොට නිර්මාණරතී දිව්ය ලෝකයෙහි උපන්නේ ය. මෙසේ දිව්ය සම්පත් අනුභවකොට මිනිසුන් අතරද මිනිසෙක් ව මිනිස් සම්පත්ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
පසුව ස්වකීය කර්මය සිහිකොට එය තථ්ය පරිදි දැන හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ වරුණොනාම නාමෙන යනාදිය කීය. එහි මම යම්කලක සතුටුවීම පිණිස බුද්ධ බෝධියද පිදුවෙම් ද, එකල්හි වරුණනම් දෙව්රජ වීමි, යන සම්බන්ධයි.
ධරණීරුහ පාදපං යනු වෘක්ෂලතා පර්වත සත්රුවන් ආදිය දරානුයි ධරණී නමි. එහි වැඩේනුයි පිහිටානුයි ධරණීරුහ නමි. පයින් පානය කෙරේනුයි පාදප නමි. ඉසින ලද ජලය පාදයෙන් බොයි, රුක් කඳ අතු රිකිලිවලින් ආපෝරසය පතුරුවා හරී යන අර්ථයි. ඒ ධරණීරුහ පාදපය වූ බෝධිවෘක්ෂය යන සම්බන්ධයි.