පණ්ණත්තිනිද්දෙසවාරවණ්ණනා
දැන් රූපං රූපක්ඛන්‍ධො යනාදි නයින් නිද්දේසවාරය අරඹන ලදි. එහි රූපං රූපක්ඛන්‍ධො යයි යම්කිසි රූපයක් කියයි. ඒ සියළු රූපය රූප ස්කන්ධය දැයි වචන සෝධනය සඳහා අසයි. පියරූපං සාතරූපං රූපං, න රූපක්ඛන්‍ධො යයි යම් ප්‍රිය රූපයක් මිහිරි රූපයක් යයි මෙහි රූපයයි කියන ලදි. ඒ රූපයම රූප ස්කන්ධ නොවේය යන අර්ථය වේ. රූපක්ඛන්‍ධො රූපඤ්චෙව රූපක්ඛන්‍ධො ච යයි යම් රූප ස්කන්ධයක් එය රූපය යයි ද රූප ස්කන්ධය යයිද කීමට වටී යන අර්ථයයි. රූපක්ඛන්‍ධො රූපං යන මෙහි වනාහි රූප ස්කන්ධය නියමයෙන්ම රූපය යයි කිවයුතුය. එහෙයින් ආමන්තා යයි කීය. මෙම උපායෙන් සියළු විසඳුම්වල අර්ථය දතයුතුය. යම්තැනක විශේෂයක් වේනම් එය වර්ණනා කරන්නෙමු. සංඥා යමකයෙහි පළමුව, දිට්ඨි සඤ්ඤා ප්‍රපංච සඤ්ඤා යනාදියෙහි දෘෂ්ටි සංඥා ආවේය. සංස්කාර යමකයෙහි අවසෙසා සංඛාරා යන ‘අනිච්චා වත සංඛාරා’ යනාදියෙහි ආවා වූ සංස්කාර ස්කන්ධයන් සංඛත ධර්ම අවසේසය. පටිලෝම වාරයෙහි ද මෙම නයම වේ.
පද සෝධන වාරය නිමි.
පදසොධන මූලචක්ක වාරයෙහි ඛන්‍ධා වෙදනාක්ඛන්‍ධො යම්කිසි ස්කන්ධයක්, ඒ සියල්ල වේදනා ස්කන්ධයදැයි අසයි. ඒ වේදනා ස්කන්ධය, ස්කන්ධය ද වේදනා ස්කන්ධය ද වේ. සෙසු ස්කන්ධ වේදනා ස්කන්ධ නොවේය යන විසඳුමයි. සෙසු පුච්ඡාවල ද මෙම නයයි. පටිලෝමයෙහි න ඛන්‍ධා න වෙදනාක්ඛන්‍ධො යන මෙහි ප්‍රඥප්ති වූ නිර්වාණ සංඛ්‍යාත ධර්ම ස්කන්ධ නොවේ. ඒ යම් වේදනා ස්කන්ධ ද නොවේ. එහෙයින් ආමන්තා යයි කීය. සෙසු විසඳුම්වල ද මෙම නයම වේ.
පදසොධන මූල චක්කවාරය නිමි.
සුද්ධ ඛන්‍ධවාරයෙහි රූපං ඛන්‍ධො යයි යම්කිසි රූපයක් කියන ලදි. ඒ සියල්ල ස්කන්ධදැයි අසයි. එහි යම්හෙයකින් ප්‍රියරූප සාත රුප සංඛයාත වූ රූපය හෝ වේ. භූත උපාදාය රූප හෝ, සියල්ල පංච ස්කන්ධවල සංග්‍රහයට යේමය. එහෙයින් ආමන්තා යයි පිළිගනී, දෙවන පදයෙහි ඛන්‍ධා රූපං ඇසිය යුත්තෙහි යම්හෙයකින් රූපය යන වචනයෙන් රූපස්කන්ධයම අදහස් කරන ලදි. එහෙයින් වචනය නොගෙන අර්ථ වශයෙන් අසන්නේ, ඛන්‍ධා රූපක්ඛන්‍ධො යයි කීය. මෙම නයින් සියළු පදවල අර්ථය දතයුතුය. පසුව එන ආයතන යමකාදියේ නිද්දේස වාරයෙහි ද මෙම නයම වේ. සඤ්ඤාක්ඛන්‍ධො යයි මෙහි ද දෘෂ්ටි සංඥාව හෝ සංඥාව හෝ වේවා සියල්ල ද ස්කන්ධ භාවයෙන් ආමත්තා යයි කියන ලදි. සංඛාර ඛන්‍ධො යන පදයෙහි ද මෙම නයම වේ. ස්කන්ධ විනිර්මුක්තව සංස්කාර නම් නැත.
පටිලෝමයෙහි න රූපං න ඛන්‍ධො යම් ධර්ම ජාතයක් රූප නොවේ නම් එය ස්කන්ධ නොවේදැයි අසයි. මෙහි විසඳුමෙහි වනාහි රූපය හැර සෙසු ස්කන්ධ න රූපං ඛන්‍ධා යන රූපයෙන් අන්‍ය වූ වේදනාදි ස්කන්ධ රූඵයම නොවේ. ස්කන්ධ වේ යන අර්ථයයි. රූපඤ්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා යයි පංච ස්කන්ධ විනිර්මුක්ත වූ නිවන ද ප්‍රඥප්තිය ද වේ. මෙයින් පසුව ද අවසෙසා යන පදවල මෙම නයම වේ.
සුද්ධ ඛන්‍ධවාරය නිමි.
සුද්ධඛන්‍ධමූලචක්ක වාරයෙහි රූපං ඛන්‍ධො යට කියන ලද නයින්ම දැනගත යුතුය.
සුද්ධඛන්‍ධ මූල චක්කවාර නිමි.
පණ්ණත්තිවාර වර්ණනාව සමාප්තය.
පවත්තිවාරවණ්ණනා
දැන් යස්ස රූපක්ඛන්‍ධො යනාදි නයින් පවත්තිවාරය අරඹන ලදි. එහෙයින් මෙහි උද්දේසවාරය නොකියන ලදද? යට දක්වන ලද නය බව. පණ්ණත්තිවාර උද්දේස වාරයෙහි නය දක්වන ලදි. ඒ නයින් වනාහි මෙහි නොකියන ලද එය දැනගැනීමට හැකියයි එය නොකියා නිද්දේසවාරයම අරඹන ලදි. මේ පවත්තිවාර සංඛ්‍යාත මහා වාරයෙහි උප්පාද වාරය නිරොධ වාරය උප්පාදනිරොධවාරය යයි අන්තර්වාර තුනක් වේ. ඒවා අතුරෙන් පළමුව ධර්මයන්ගේ උප්පාද ලක්‍ෂණය දක්වන ලද බැවින් උප්පාදවාරය යයි කියයි. දෙවනුව ඒවායේම නිරෝධ ලක්‍ෂණ දක්වන ලද බැවින් නිරෝධවාරය යයි කියයි. තෙවනුව දෙකේම ලක්‍ෂණ දක්වන ලද බැවින් නිරෝධවාරය යයි කියයි. මෙහි උප්පාද වාරයෙන් ධර්මයන්ගේ උපදිනා ආකාරයම දක්වන ලදි. නිරෝධ වාරයෙන් ඉපදීම නම් නිත්‍ය නොවේ යයි ඒවායේම අනිත්‍යතා දක්වන ලදි. උප්පාද නිරෝධවාරයෙන් ඒ දෙකම දක්වන ලදි.
එහි උප්පාද වාරයෙහි පළමුව අද්ධ තුන වශයෙන් කාලභේද හයක් වේ. වර්තමානය, අතීතය, අනාගතය, වර්තමානයෙන් අතීතය, වර්තමානයෙන් අනාගතය, අතීතයේ අනාගතය. ඒවා අතරෙන් යමකට රූපස්කන්ධය උපදී යයි වර්තමානය අභිධාන වශයෙන් වර්තමානය දතයුතුය. එය වර්තමාන ධර්මයන්ගේ ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ගතයුතු හෙයින් අතිශයින් දැනගන්නේ යයි පළමුව කියන ලදි. යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජත්‍ථා අතීත අභිධාන වශයෙන් අතීතය දතයුතුය. එය ප්‍රත්‍යක්‍ෂයෙන් අනුභූත පූර්ව වූ අතීත ධර්මයන්ගේ අනුමානයෙන් අනාගතයෙහි හොඳින් දැනගැනීම කරන හෙයින් දෙවනුව කියන ලදි. යස්ස රූපක්ඛන්‍ධො උප්පජ්ජිස්සති අනාගත අභිධාන වශයෙන් අනාගතය දතයුතුය. එය ප්‍රත්‍යක්‍ෂයෙන් ම අනුභූත පූර්ව වශයෙන් ම ගන්නා ලද ධර්ම අනුමානයෙන් අනාගතයෙහි ද මෙබඳු වූ ධර්ම උපදින්නේ යයි ගතයුතු වශයෙන් තුන්වනුව කියන ලදි.