යමකප්පකරණ අටුවාව
දෙවියනට දෙවි වූ - කෙලෙසුන් දිනුව මුනිරජ
සුරලොවදී දෙවිනට - කතා වස්තුව දෙසා සැකෙවින්
යම විසය ඉක්මවූ - යමක ලකර වූ නා නා
‘බිදම් පකරණ’ නම් - සවැනි සවැනි වූ දේසක
යමක මෙය ඇවැටූ - නිලමල තනුරුහ
දෙසී යම් පැමිණැක - එහි නයවැනුම් පිළිවෙල
1. මූල යමක වර්ණනාව
උද්දේසවාර වර්ණනාව
මූල යමක, ඛන්‍ධ යමක, ආයතන යමක, ධාතු යමක, සච්ච යමක, සංඛාර යමක, අනුසය යමක, චිත්ත යමක, ධම්ම යමක, ඉන්‍ද්‍රිය යමක යයි මේ යමක දහය වශයෙන් මේ ප්‍රකරණය දහ ආකාරයකින් බෙදන ලදැයි කියන ලදි. ඒවායේ ද මේ ප්‍රකරණයේ ද නමෙහි අර්ථය පළමුකොට දතයුතුය. කුමක අර්ථයකින් යමක වේද? යුගලය යන අර්ථයෙන් එසේ යුගලය යමක යයි කියනු ලැබේ. යමාමහ පෙළහර, යමක සාලා ආදියෙහි මෙනි. මෙසේ යුගල සංඛ්‍යාත වූ යමක වශයෙන් දෙසන ලද බැවින් මේ දහයෙහි එක එකක් යමක නම් වේ. මේ යමකයන්ගේ වනාහි සමූහ භාවයෙන් මේ සියළු ප්‍රකරණය යමක යයි දතයුතුය.
එහි මූල වශයෙන් ප්‍රශ්න නගා විසඳීම් කොට දෙසන ලද බැවින් සියල්ලට පළමු දහය මූල යමක යයි කියන ලදි. එහි උද්දේස වාරය නිද්දේස වාරය යයි වාර දෙකක් වේ. ඒවායෙහි දක්වන ලද අනුක්‍රමයෙන් පෙන්විය යුත්ත උද්දේස වාරය පළමුව. එහි යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසල මූලා, යෙ වා පන කුසල මූලා සබ්බෙ තෙ ධම්මා කුසලාති මේ යමක ආදිය. එහි කුසලාකුසල මූල සංඛ්‍යාත අර්ථ දෙකක් වශයෙන් අර්ථ යමකයයි හෝ ඒ අර්ථයන්ගේ වශයෙන් අනුලොම් පිළිලොම් වශයෙන් පවත්නා පෙළ ධර්ම වශයෙන් ධර්මයමක යයි හෝ අනුලොම් පිළිලොම් වශයෙන් පවත්නා පුච්ඡා වශයෙන් පුච්ඡා යමක යයි හෝ තුන් ආකාර යමක භාවය දතයුතුය. සෙස්සෙහි ද මේ නයමය.
දැන් මෙම යමකයන්ගේ වශයෙන් දේශනා කරන ලද මේ මූල යමකයෙහි උද්දේශ වාරයේ පළමු නය යමක පුච්ඡා අර්ථ වාර ප්‍රභේද වශයෙන් පෙළෙහි නියමය මෙසේ දත යුතුය. කුසලත්‍රික මාතෘකාවෙහි කුසලා ධම්මා යන මේ මුල්පදය නිසා මූල නය, මූල මූල නය, මූලක නය, මූල මූළක නය යයි මේ සතර නය වේ. ඒවායේ එක එක නයෙහි මූල යමක, ඒකමූල යමක, අඤ්ඤමඤ්ඤ මූල යමක යයි යමක තුන බැගින් වේ. මෙසේ සතර නයෙහි යමක දොළොසෙක් වේ. එක් එක් යමකයෙහි අනුලෝම පටිලෝම වශයෙන් පුච්ඡා දෙක බැගින් පුච්ඡා විසිහතරෙක් වේ. එක් එක් පුච්ඡාවෙහි නිශ්චය සංශය වශයෙන් අර්ථ දෙක බැගින් අර්ථ හතලිස් අටෙක් වේ.
එහි යෙ කෙචි කුසලා ධම්මා යන කුසලයන්හි කුසල් වේද, කුසල් නොවේදැයි සැක බැවින් මේ පදයෙහි නිශ්චයාර්ථය දතයුතුය. සබ්බෙ තෙ කුසලා මූලා යන ඒ සියළු කුසල ධර්මයෝ කුසල් මුල් වේද නොවේදැයි විමති වශයෙන් විචාරන ලද බැවින් මේ පදයෙහි සංශයාර්ථය දතයුතුය. හෙද වනාහි වෛනේයයන්ගේ සංශය ස්ථානයෙහි සංශය දැක්වීම සඳහා කියන ලදි. තථාගතයන් වහන්සේට වනාහි සැකයක් නැත. මෙයින් පසුව පුච්ඡා පදවල ද මෙම නයම වේ.
යම්සේ කුසල පදය නිසා මේ සතර නය වේ. එක් එක් නයෙහි යමක තුන බැගින් යමක දොළොසසෙක් වේ. එක් එක් යමකයෙහි පුච්ඡා දෙක බැගින් විසිහතරෙක් වේ. එක් එක් පුච්ඡායෙහි අර්ථ දෙක බැගින් අර්ථ හතලිස් අටක් වේ. අකුසල පදය නිසා ද එසේමය. අව්‍යාකත්ත පදය නිසාද එසේමය. පද තුනම එකක් කොට නිර්දිෂ්ට නාම පදය නිසාද එසේම යයි කුසලත්‍රික මාතෘකාවේ සතර පදවල සියල්ල නය සොළසකි. යමක අටසාළිසකි. පුච්ඡා අනූහයකි. අර්ථ එකසිය අනූදෙකකි. උද්දේශ වශයෙන් කියන ලදැයි දතයුතුය. මෙපමණකින් මූලවාර නම් පළමු උද්දේශය වේ.
ඉන්පසුව යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසල හෙතු යනාදිය එහි මූල වාරයේම පර්යාය වචන වශයෙන් වාර නවයක් දක්වන ලදි. මෙසේ මූල වාරය, හේතු වාරය, නිදාන වාරය, සම්භව වාරය, පභව වාරය, සමුට්ඨාන වාරය, ආහාර වාරය, ආලම්බන වාරය, පච්චය වාරය, සමුදය වාරය යයි සියල්ල දසවාරයක් වේ. එහි මූලවාරයෙහි පැමිණි පිරිසිඳීමෙන්ම සෙස්සෙහි ද නයාදිය දතයුතු යයි සියළු දසවාරවල නය එකසිය හැටක් වේ. යමක හාරසිය අසූවක් වේ. පුච්ඡා නවසිය හැටක් වේ. අර්ථ එක්දහස් නවසිය විස්සක් දක්වන ලදැයි දතයුතුය.
මූලං හෙතු නිදානඤ්ච යනාදි ගාථා දසවාරවල උදාන ගාථා නම් වේ. එහි මූලාදි සියල්ල ද හෙතු පර්යායම වේ. හේතු වනාහි පිහිටීම් අර්ථයෙන් මූල වේ. තමාගේ පල නිපදවීම සඳහා හිතවූයේ පවතීයයි හේතු වේ. එසේනම් එය ගනුවයි දක්වන්නාක් මෙන් තමාගේ පලය දක්වයි යනු නිදාන මේ මෙයින් පලය හටගනී යයි සම්භව වේ. පලය ප්‍රභව (ආරම්භ) වේ යයි පභවො වේ. එහි පලය හටගනී හෝ එයින් හටගනී හෝ සමුට්ඨාන වේ. තමාගේ පලය ගෙනඒනුයි ආහාරො වේ. ප්‍රතික්‍ෂෙප නොකළහැකි අර්ථයෙන් තමාගේ පලයෙන් එල්බී ගනීයයි ආලම්බන වේ. මෙයින් පලය උපදවානුයි සමුදයො වේ. මෙසේ මේ පදවල වචනාර්ථය දතයුතුය.