බොජ්ඣඞ්ගපබ්බවණ්ණනා
බොජ්ඣංග පබ්බයෙහි සන්තං යනු ලැබීම් වශයෙන් විද්‍යමාන. අසන්තං නොලැබීම් වශයෙන් අවිද්‍යමාන. යථාච අනුප්පන්නස්සා යනාදියෙහි වනාහි පළමුව සති බොජ්ඣංගයේ
“මහණෙනි, සතිසම්බොජ්ඣංගයට හේතුවූ ධර්ම ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම් බහුල වූයේ නූපන් සතිසම්බොජ්ඣංගයේ ඉපදීම් සඳහා උපන් සති සම්බොජ්ඣංගයේ අධික බව මහත් බවට එයම භාවනාවෙන් සම්පූර්ණවීම පවතී. මෙසේ ඉපදීම වේ. එහි සිහියට සතිසම්බොජ්ඣංග ඨානීය ධර්ම වේ. යෝනිසෝමනසිකාර කියන ලද ලක්‍ෂණවලින් යුක්ත වේයයි. එහි බහුලව යෙදෙනවිට සතිසම්බොජ්ඣංගය උපදී.
තවද කරුණු සතරක් සතිසම්බොජ්ඣංගය ඉපදීම පිණිස පවතී. සිහිය පිළිබඳ දැනීම, සිහිමුලා පුද්ගලයන් ඇසුරු නොකිරීම, එළඹසිටි සිහි ඇති පුද්ගලයින් ඇසුර, එයින් මිදීම යන සතරය. ඉදිරියට යෑම ආදි ස්ථාන සතෙහි සිහියෙන් යුක්ත බව දැනීමෙන් ආහාර තැබූ අය මෙන් සිහි මුළා වූ පුද්ගලයන් වර්ජනය කිරීමෙන් තිස්සදත්ත තෙරුන් අභය තෙරුන් සමාන එළඹසිටි සිහි ඇති පුද්ගලයන් ඇසුරෙන් සිටින හිඳින තැන්වල සිහිය පිහිටුවා ගැනීමට ගැඹුරට බරවූ පර්වත කුහරයක් මෙන් සතිසම්බොජ්ඣංගය උපදී. මෙසේ කරුණු සතරින් උපන් එය අර්හත් මාර්ගයෙන් භාවනාව සම්පූර්ණ වේයයි දැන ගනී.
ධම්මවිචය සම්බොජ්ඣංගයේ
“මහණෙනි, කුසල අකුසල ධර්ම, කළු සුදු ප්‍රතිභාග ධර්ම ඇත. ඒවා නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් ධර්මවිචය සම්බොජ්ඣංගය ඉපදීම් සඳහා උපන් එහි අධික භාවයට මත්බවට භාවනාව සම්පූර්ණවීමට එයම හේතුවේ.
මෙසේ ඉපදීම වේ.
තවද කරුණු හතක් ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපදීම පිණිස පවතී. ප්‍රශ්න විමසීම්, වස්තු පිරිසිදු කරගැනීම, ඉන්‍ද්‍රිය සම්භාවකරණය, ධර්මඥානය නැති පුද්ගලයන් දුරුකිරීම, ප්‍රඥාවන්තයන් ඇසුරුකිරීම, ගැඹුරු නුවණැසින් ප්‍රභේද ප්‍රත්‍යවේක්‍ෂා කිරීම, තදධිමුත්තො යන සතය. එහි පරිපුච්ඡකතා යනු ඛන්‍ධ, ධාතු, ආයතන, ඉන්‍ද්‍රිය බල, බොජ්ඣංග, මග්ගංග, ඣාන, සමථ, විපස්සනාවන්ගේ අර්ථ ආශ්‍රිත විමසීම් බහුලවීම වත්‍ථු විසද කිරියා යනු අජ්ඣත්තික බාහිර වස්තුවල පිරිසිදු කිරීමයි. කෙස් නිය ලොම් දික්වේද ශරීරයේ තුන්දොස් උත්සන්න වේද දහඩිය මලවලින් වැසී ඇත්තේද එවිට අජ්ඣත්තික වස්තු අපිරිසිදු වේ. සිවුරු දිරාගොස් කිලිටි වී දුගඳ හමයිද සෙනසුන කුණු කසලින් ගහණවීද එවිට බාහිර වස්තු අපිරිසිදු වේ. එහෙයින් කෙස් නිය කපා උද්ධ ආධෝ විරේචනවලින් ශරීරය සැහැල්ලුකර ඇඟ උලා ස්නානයෙන් අජ්ඣත්තික වස්තු පිරිසිදු කළ යුතුය. ඉරුණු සිවුරු මසා සෝදා පඬු පොවා හා සෙනසුනේ ගොමගෑම් ආදියෙන් බාහිර වස්තු පිරිසිදු කළ යුතුය. මේ කරුණෙහි අජ්ඣත්තික බාහිර වස්තු අපිරිසිදු වන විට උපදින චිත්ත චෛතසික ඤාණයද අපිරිසිදු වේ. අපිරිසිදු පහන්වැටි තෙල් අපිරිසිදු වීමෙන් ඇතිවන පහන්දැල්ල මෙනි. පිරිසිදුව අජ්ඣත්තික බාහිර වස්තු තබාගැනීමෙන් පිරිසිදු පහනකින් ලැබෙන දීප්තිමත් ආලෝකය මෙන් ඤාණයද පිරිසිදු වේ. ඒ නිසා වත්‍ථු විසද කිරියා ධම්මවිචය සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස පවතී,
ඉන්‍ද්‍රිය සමත්ත පටිපාදනය නම් සද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ සමභාවි කරණයයි. ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය බලවත් වී සෙසු ඉන්‍ද්‍රිය දුබල වුවහොත් ඒ නිසා විරිය ඉන්‍ද්‍රිය විරිය ලබාදීමද සති ඉන්‍ද්‍රියේ සිහිය ලබාදීමද සමාධි ඉන්‍ද්‍රියයේ එකඟබව ලබාදීමද පඤ්ඤාන්‍ද්‍රියේ දර්ශන කෘත්‍යයද කිරීමට නොහැකි වේ. ඒ නිසා ධර්ම ස්වභාවය ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් හෝ යම් මෙනෙහි කිරීමක් බලවත් සේ තබා එය අඩුකළ යුතුය. වක්කලිථෙර වස්තුව ඊට නිදර්ශනය. විරියින්‍ද්‍රිය බලවත් වේනම් ශ්‍රද්ධ ඉන්‍ද්‍රියව ස්ථිරව පැවතීමට නොහැකි වේ. සෙසු ඒවාටද කෘත්‍ය කළහැකි නොවේ. ඒ නිසා එය පස්සද්ධි භාවනාවෙන් අඩුකළ යුතුය. සෙසු ඒවායේද මෙසේය.