විභංග අටුවාව
1. ස්කන්‍ධ විභංගය
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
සිව්සස් දුටු මුනිඳු - දම්සඟුණු සිව් අයුරෙන්
දෙසා සම්බුදු රජ - අනතුරුව එම දෙසුමෙන්
දෙසා සම්බුදු රජ - අනතුරුව එම දෙසුමෙන්
බුදුදහමෙ ඇතුළත් - අටළොස් ගණන් අතරෙහි
කඳු ඈහි අටළොස් - සපිරුණු බෙදුම් විසිනා
කඳු ඈහි අටළොස් - සපිරුණු බෙදුම් විසිනා
විභංගය දෙසූ බුදුහු - එහි වැනුම් පිළිවෙල මෙහි
පැමිණැති හෙයින් දැන් - එයරුත් වැනුම සතුටින්
පැමිණැති හෙයින් දැන් - එයරුත් වැනුම සතුටින්
කරමි දැන හැඳිනම - පොරණ අටුවා නය’යුරු
සදහමට ගරුකොට - එයසනු සන්සුන් සිතින්
සදහමට ගරුකොට - එයසනු සන්සුන් සිතින්
පඤ්චක්ඛන්‍ධා; රූපක්ඛන්‍ධො......විඤ්ඤාණක්ඛන්‍ධො මෙය විභංග ප්‍රකරණයේ ආරම්භ වූ ස්කන්‍ධ විභාගයෙහි සූත්‍රාන්ත භාජනිය නම් වේ. පඤ්ච යනු ගණනය. ඊට වඩා අඩු හෝ වැඩි නැති බව එයින් දක්වයි. ඛන්‍ධ යනු වෙන්කළ ධර්ම කොටසයි. ඛන්‍ධ ශබ්දය බොහෝ අර්ථවල වැටේ. රාසිගුණයෙහි පැනවීම ආරෝපනය කරති. මහණෙනි, මහා සමුද්‍රයෙහි ජලය ප්‍රමාණ කිරීම පහසු නොවන්නා සේ ජලය ලාස් මෙපමණ යයි කියා හෝ ජලය ලාස් සියයකැයි කියා හෝ ජලය ලාස් දහසකැයි කියා හෝ ජලය ලාස් දසදහසකැයි කියා හෝ මහා ජලස්කන්‍ධය නොගිණිය හැකි අප්‍රමාණ බවට පැමිණේ. ජලය ස්වල්පයක් උදක ස්වල්පයක් ජලස්ඛන්ධය නොවේ. එසේම දූවිලි ස්වල්පයක් රජස්ඛන්ධ නොවේ. ගවයන් ටික දෙනෙක් ගවස්ඛන්ධ නොවේ. පින් ස්වල්පයක් පුණ්‍යස්කන්ධ නොවේ. සෙබළුන් ටිකදෙනෙක් බලස්කන්ධ නොවේ. බොහෝ දූවිලි රජස්කන්ධ නොවේ. බොහෝ ගවාදීහු ගවස්කන්ධ වේ. බොහෝ පින් පුණ්‍යස්කන්‍ධ වේ. බොහෝ සෙබළුන් බලස්කන්ධ වේ. සීලක්ඛන්‍ධ, සමාධික්ඛන්‍ධ ආදියෙහි ගුණ වශයෙන් ස්කන්ධ නම් වේ. “මහා දාරුස්කන්ධයක් ගංගා නදියෙහි සැඩපහරට පාවී යනවා බුදුන්වහන්සේ දුටු සේක.” මෙහි පැණවීමෙන් ස්කන්ධ නම් වේ. යං චිත්තං මනො මානසං..... විඤ්ඤාණං විඤ්ඤාණාක්ඛන්‍ධො ආදියෙහි රූඪි වශයෙන් ස්කන්ධ නම් වේ. මෙහිදී රාසි වශයෙන් යයි අදහස් වේ. මෙය වනාහි ස්කන්ධ (අර්ථය), සමූහ, රැස්කිරීම රාසි යන අර්ථවල යෙදේ. එහෙයින් රාසි ලක්‍ෂණය ඛන්ධ යයි දතයුතු. කොටස යන අර්ථය කීමද වටියි. ලෝකයා ණය ගෙන චෝදනා කරන කල්හි ඛන්ධ දෙකකින් තුනකින් දෙන්නේ යයි කියයි. මෙසේ කොටස ඛන්ධ යයි කීම වටී. මෙහි රූපස්කන්ධය යනු රූප රාසියයි. රූප කොටසයි. වේදනාක්ඛන්‍ධය වේදනා රාසියයි. වේදනා කොටසයි. සංඛාරාදීන්ගේ අර්ථය ද මේ ක්‍රමයෙන් දතයුතුයි.
මෙපමණකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතරමහා භූතයෝද සතර මහාභූත නිසා පවත්නා රූපද අතීත අනාගත සහ පවත්නා කාලයෙහි එකොළොස් වැදෑරුම් බෙදන ලද පස්විසි රූප කොටස් ද සයානුරූප කොටස් ද මෙසේ ප්‍රභේද වූ රූප රාසිය යන ඒ සියල්ලම පිඬුකොට රූපස්කන්ධ යයි දැක්වූහ. සැප වේදනාව දුක් වේදනාව අදුක්ඛමසුඛ වේදනාව යන එකොළොස් වැදෑරුම්ව කාලය අනුව බෙදන ලද චතුභූමක වේදනා රාසිය පිඬුකොට වේදනාස්කන්ධයයි දැක්වූහ. එකොළොස් වැදෑරුම්ව අවකාශයෙහි බෙදන ලද චතුභූමක සඤ්ඤා රාසිය පිඬුකොට සංඥා ස්කන්‍ධ යයි දැක්වූහ. එකොළොස් වැදෑරුම් අවකාශයෙහි බෙදන ලද චතුභූමක සංඛාර රාසිය පිඬුකොට සංස්කාර ස්කන්‍ධ යයි දැක්වූහ. එකොළොස් වැදෑරුම් කාලයෙහි බෙදන ලද චිත්ත රාසිය පිඬුකොට විඥානස්කන්‍ධ යයි දැක්වූහ.
චතුභූමක රූපය රූපස්කන්ධ යයිද තවද මෙහි චතුභූමක කාමාවචර කුසල සිත්අට ආදි වශයෙන් අසූ නවයක් සිත් සමග එකට උපදින වේදනාව වේදනාස්කන්ධයයි ද සඤ්ඤාව සඤ්ඤාස්කන්‍ධ යයිද ඵස්සාදි චෛතසිකයන් සංස්කාරාස්කන්ධ යයිද අසූනවයක් වූ සිත් විඥානස්කන්‍ධ යයිද මෙසේ ස්කන්‍ධ පසෙහි ධර්ම කොටස් දතයුතුය.
රූපස්කන්‍ධ නිර්දේශය
දැන් ඒ රූපස්කන්ධාදිය විභාගකොට දැක්වීම සඳහා තත්‍ථ කතමො රූපක්ඛන්‍ධො ආදිය කීහ. එහි තත්‍ථ යනු පඤ්ච ස්කන්‍ධයන් අතරින් කවරක්දැයි කියනු කැමතිව නැගූ ප්‍රශ්නයයි. රූපක්ඛන්‍ධ යනු ඇසූ ප්‍රශ්නයට ධර්ම පිළිතුරයි. දැන් එය විභාග කරන්නේ යං කිංචි රූපං යනාදිය කීහ. එහි යං කිංචි නිරවශේසයෙන් ගැනීමයි. රූපංති දැඩිකොට යෙදීමේ නියමයයි. මෙසේ පද දෙකෙන්ම රූපයේ නිරවශේෂ ගැනීම කළා වේ.
එහි කුමන අර්ථයකින් රූප වේද? වෙනස්වීම් අර්ථයෙන් රූප වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් එහෙයින් කියන ලදි.
“මහණෙනි, කුමකට රූපය කියයිද මහණෙනි, වෙනස්වීමටය. එහෙයින් රූපය යයි කියනු ලැබේ. කුමකින් කුමක් වේද? සීතලෙන් වෙනස් වෙයි. උෂ්ණයෙන් වෙනස් වේ. සාගින්නෙන් වෙනස් වේ. පිපාසයෙන් වෙනස් වේ. මැසිමදුරු, වාතය, අව්ව, විසකුරු සතුන් ස්පර්ශ වීමෙන්ද වෙනස් වේ. මහණෙනි, ඒ නිසා වෙනස්වීම රූපයයි කියයි.