7. සතිපට්ඨාන විභංගය
සූත්‍රාන්ත භාජනීය උද්දේශ වර්ණනාව
ඊට අනතුරුව දැන් සතිපට්ඨාන විභංගයෙහි චත්තාරො යනු ගණන වෙන් කිරීමයි. එයින් අඩු හෝ වැඩි හෝ නැතැයි සතිපට්ඨාන ප්‍රමාණය දක්වයි. සතිපට්ඨාන යනු සතිපට්ඨාන තුනක් සිහියට ගෝචරය. සාවකයන් අතර තුන් ආකාරයකින් පිළිපන් සාධකයන් කෙරෙහි ගැටීම් ඇලීම් ඉකුත් වූ කල්හි, මහණෙනි, සතර සතිපට්ඨානවල පහළවීමද නොපෙනී යාම ද දේසනා කරමි. එය හොඳින් අසා සිතේ දරාගන්න. මහණෙනි, කයෙහි පහළවීම කුමක්ද? ආහාරය ඇතිවීමෙන් කය ඇතිවේ යයි යන ආදියේ සිහියට ගෝචර වූ සතිපට්ඨාන යයි කියනු ලැබේ. එසේම “කය වැටහීම, සිහි නැති, සිහි එළඹීම සිහිය”යි යන ආදියෙහි ඒ අර්ථය පිහිටියේ මෙහි යයි. කුමක් පිහිටියේද? සිහියයි. සිහියේ පිහිටීම සතිපට්ඨානයයි.
සතිපට්ඨාන තුන ආර්යයෝ සේවනය කරති. ආර්යයන් සේවනය කරන ලද එය ශාස්තෲන් වහන්සේ සමූහයයි අනුශාසනා කිරීම සුදුසුය. යන මෙහි තුන් ආකාරයකින් පිළිපන් ශ්‍රාවකයන් කෙරෙහි ගැටීම් ඇලීම් ඉක්මවූ බව සතිපට්ඨානය කියන ලදි. ඒ අර්ථය සඳහා පිහිටුවීම පට්ඨානයයි. පැවැත්විය යුතුය යන අර්ථයයි. කුමකින් පිහිටවිය යුතුද? සිහියෙන්, සිහියෙන් පිහිටුවීම සතිපට්ඨානයයි. සතර සතිපට්ඨානය වඩන්නේ පුළුල් කරන්නේ සත්ත බොජ්ඣංග සම්පූර්ණ කරයි ආදියෙහි සිහියට සතිපට්ඨාන යයි කියනු ලැබේ. එම අර්ථය පිහිටියේනුයි පට්ඨාන, වැටහේ, දුව පැන පවත්වයි යන අර්ථයයි. සිහියම පිහිටුවීම් අර්ථයෙන් සතිපට්ඨාන වේ. නැතහොත් සිහිකිරීමේ අර්ථයෙහි සති වේ. වැටහීම් අර්ථයෙන් පට්ඨාන වේ. මෙසේ සතියද එය වැටහීම්ද සතිපට්ඨාන වේ. මෙය මෙහි අදහස් කරයි. කුමක් හෙයින් සතිපට්ඨාන යයි බහු වචන කෙළේද? සිහියේ බහුල බව, අරමුණුවල බේදයෙන් සිහිය බොහෝ වේ.
භාග්‍යවතුන් වහන්සේ විසින් අඩුවැඩි නොවී සතිපට්ඨාන සතරක්ම දේශනා කරන ලද්දේ ඇයි? අවබෝධ වන්නවුන්ගේ හිත පිණිසය. තණ්හා චරිත දිට්ඨි චරිත සමථයානික විපස්සනා යානිකයන් අතර මන්ද තියුණු වශයෙන් දෙපරිදි ලක්‍ෂණ තිබේ. මන්ද තණ්හා චරිතයට ඕලාරික වූ කායානුපස්සනා සතිපට්ඨානයද විසුද්ධිය පිණිස මාර්ගය වේ. සියුම් තණ්හා චරිතයාට සියුම් වූ වේදනානුපස්සනා සතිපට්ඨානයද මන්ද වූ දිට්ඨි චරිතයාව අතිප්‍රභේද නැති චිත්තානුපස්සනා සතිපට්ඨානය ද සියුම් දිට්ඨි චරිතයාට සියුම් වූ අතිප්‍රභේද වූ ධම්මානුපස්සනා සතිපට්ඨානයද විසුද්ධිය පිණිස මාර්ගය වේ. මන්ද වූ සමථයානිකයාට පහසුවෙන් අවබෝධ කළයුතු පළමුවන සතිපට්ඨානයද තියුණු වූ සමථයානිකයාව ඕලාරික අරමුණෙහි පිහිටිය නොහැකි නිසා දෙවන සතිපට්ඨානයද මන්ද වූ විපස්සනායානිකයාට අතිප්‍රභේද රහිත වූ අරමුණ වන තුන්වන සතිපට්ඨානයද තියුණු වූ විපස්සනායානිකයාව අතිප්‍රභේද සහිත අරමුණ වන සතරවන සතිපට්ඨානයද විසුද්ධිය පිණිස මාර්ගය වේ. මෙසේ අඩු වැඩි නැතිව සතරක්ම කියන ලදි.
සුබ සුව නිත්‍ය යයි ගන්නා ආත්ම විපර්යාසය දුරුකිරීම සඳහා හෝ කය අසුභය, එහි සුභ වශයෙන් ගන්නා විපර්යාසයෙන් සත්ත්වයෝ යුක්තයහ. ඔවුන්ට එහි අසුභ භාවය දැක්වීමෙන් ඒ විපර්යාසය දුරුකිරීම පිණිස පළමුවන සතිපට්ඨානය දේශනා කරන ලදි. සුඛය නිත්‍යය ආත්ම යයි ගත්තවුන්ගේද වේදනාව දුකය සිත අනිත්‍යය ධර්ම අනාත්මය. මේවා සුඛ නිත්‍ය ආත්ම වශයෙන් ගත්තවුන්ගේද ඒ විපර්යාස ග්‍රහණය දුරුකිරීම සඳහා සෙසු වේදනාදි සතිපට්ඨාන තුන දේශනා කරන ලදි. මෙසේ සුඛ සුව ආත්ම විපර්යාසය දුරුකිරීම සඳහා අඩු වැඩි නොවන සේ සතිපට්ඨාන සතරක් දේශනා කරන ලදැයි දතයුතුය. හුදෙක් ඒ විපර්යාසයම ප්‍රහාණය කිරීම පිණිස පමණක් නොව කාමාදි ඔඝ සතර, යෝග සතර, ආසව, ග්‍රන්‍ථ, උපාදාන, අගති ප්‍රහාණය කිරීම පිණිසද චතුර්විධ ආහාර දැනගැනීම පිණිසද සතරක්ම කියන ලදැයි දතයුතුය. මෙය ප්‍රකරණ නයයි.
අටුවාවල වනාහි සිහිකිරීම් වශයෙන් ද ඒකාර්ථයකට රැස්කිරීම් වශයෙන් ද එකම සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක් යයි මෙයම කියන ලදි. යම්සේ වාසල් දොරටු සතරක් ඇති නගරයෙහි නැගෙනහිර දොරටුවෙන් නගරයට පිවිසෙති. එසේම දකුණු බටහිර උතුරු දෙසින් එන්නෝ ද ඒ ඒ දිසාවේ දොරටුවලින් නගරයට පිවිසෙති. නිවන නගරය මෙනි. අට්ඨංගික මාර්ගය නගර දොරටු මෙනි. කායාදි අනුපස්සනා නැගෙනහිර ආදී දිසා මෙනි.
නැගෙනහිර දෙසින් එන අය නැගෙනහිර උපදවන භාණ්ඩ රැගෙන නැගෙනහිර දොරටුවෙන් නගරයට පිවිසෙනවා මෙන් කායානුපස්සනාව වඩන්නෝ තුදුස්වැදෑරුම් කායානුපස්සනාව වඩා කායානුපස්සනා භාවනානුභාවයෙන් නිපන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට බැසගනිති. දකුණු දෙසින් පැමිණෙන්නන් දකුණු දෙස උපදවන භාණ්ඩ රැගෙන දකුණු දොරටුවෙන් නගරයට පිවිසෙන්නාක් මෙන් වේදනානුපස්සනා අරමුණින් එන්නෝ නවවිධ වූ වේදනානුපස්සනාව වඩා වේදනානුපස්සනා භාවනා ආනුභාවයෙන් නිපන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට පැමිණෙති. බටහිර දිසාවෙහි පැමිණෙන්නෝ බටහිර දිසාවේ හටගන්නා භාණ්ඩ රැගෙන බටහිර දොරටුවෙන් නගරයට පිවිසෙන්නාක් මෙන් චිත්තානුපස්සනා මුඛයෙන් පැමිණෙන්නෝ සොළොස් ආකාර වූ චිත්තානුපස්සනාව වඩා චිත්තානුපස්සනා භාවනා ආනුභාවයෙන් නිවන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට පැමිණෙති. උතුරු දෙසින් එන්නෝ උතුරුදෙස උපදවන භාණ්ඩ රැගෙන උතුරු දොරටුවෙන් නගරයට පිවිසෙන්නා මෙන් ධම්මානුපස්සනා මුඛයෙන් පැමිණෙන්නෝ පස් ආකාර වූ ධම්මානුපස්සනා භාවනාව වඩා ධම්මානුපස්සනා භාවනා ආනුභාවයෙන් නිපන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට පැමිණෙති. මෙසේ සිහිකිරීම් වශයෙන් ද ඒකාර්ථ වූ රැස්වීම් වශයෙන් එකම වූ සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක් දේශනා කරන ලදැයි දතයුතුය.