කායානුපස්සනානිද්දෙසවණ්ණනා
දැන් යම්සේ දක්‍ෂ කුළුපොත්තෙක් (උණ පතුරු ආදියෙන් බඩු සදන්නකු) මහත් කලාල මෘදු කලාල කුඩා පෙට්ටි පෙට්ටි ගොටු ආදි උපකරණ සෑදීමට කැමතිව එක් මහා උණගසක් ලැබ හතරට කපා ඒවායින් එක් එක් උණ කැබලි ගෙන පලා ඒ ඒ උපකරණ කරන්නේය. යම්සේ වනාහි දක්‍ෂ රන්කරුවෙක් නොයෙක් ආකාර වූ පැළඳීම් කරනු කැමතිව ඉතා පිරිසිදු රන් ගුලියක් ලැබ හතරට බිඳ ඒවායින් එක් එක් කොටස ගෙන ඒ ඒ පැළඳීම් කරන්නේය. එසේම භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන දේශනාවෙන් සත්ත්වයින්ට නොයෙක් ආකාර වූ විශේෂ අධිගමය ලබාදෙනු කැමැත්තේ එකක්ම වූ සම්මා සතිය සතර සතිපට්ඨානය, “මෙහි භික්‍ෂුව තමාගේ කයෙහි කය අනුව විමසන්නේ වාසය කරයි” ආදි නයින් අරමුණු වශයෙන් සතරකට බෙදා එක් එක් සතිපට්ඨානය ගෙන බෙදන්නේ - කථඤ්ච භික්ඛු අජ්ඣත්තං කායෙ යනාදි නයින් නිද්දේස වාරය කීමට ආරම්භ කරන ලදහ.
එහි කථඤ්ච ආදිය විස්තර කිරීමට කැමතිව අසන ලදි. මෙය එහි සංක්‍ෂෙපාර්ථය වේ. කුමන් ආකාරයකින් කුමන ප්‍රකාරයකින් භික්‍ෂුව තමාගේ කයෙහි කය අනුව විමසමින් වාසය කෙරේද සෙසු ප්‍රශ්න වාරයෙහිද මෙම නයයි. ඉධ භික්ඛු යනු මෙම ශාසනයෙහි භික්‍ෂුව. මෙහි ඉධ ශබ්දය අජ්ඣත්තාදි වශයෙන් සියළු ආකාර කායානුපස්සනාවෙහි යෙදෙන පුද්ගලයාට ඊට නිශ්‍රය වන ශාසනය දැක්වීම අන්‍ය ශාසනවල එසේ නොමැතිවීම නිසා අත්හැරීමය. මෙය කියන ලදි. “ඉධෙව භික්ඛවෙ සමණො...... සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ” මහණෙනි, මෙහිම ශ්‍රමණ....... අන්‍ය වාදවල (සාසනවල) ශ්‍රමණයන්ගෙන් ශූන්‍ය වේ. එනිසා මෙම සසුනෙහි භික්‍ෂූන් යයි කියන ලදි.
අජ්ඣත්තං කායං යනු තමාගේ කයයි. උද්ධං පාදතලා යනු පාදතලයෙන් උඩ. අධො කෙසමත්‍ථකා යනු කෙස් අග සිට යටට. තච පරියන්තං යනු හරහට සම අවසන් කොට. පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති යනු නානාප්‍රකාර කෙස් ආදි අසූචියෙන් බර වූ මෙම ශරීරයයි බලයි. කෙසේද? අත්‍ථි ඉමස්මිං කායෙ කෙසා...... මුත්තං එහි අත්‍ථි යනු විද්‍යමාන වේ. ඉමස්මිං යනු එය පාදාන්තයේ සිට ඉහළට කේසාන්තයේ සිට පහළට සම කෙළවර කොට හරහට නානාප්‍රකාර අසූචිවලින් පිරුණේ යයි කියනු ලැබේ. කායෙ ශරීරයෙහි. ශරීරය වනාහි අසූචි රැස්වීමෙන් පිළිකුල් වූ කෙස් ආදියද චක්ඛු රෝගාදි රෝග සිය ගණනක් එකතු වූ නිසා කාය කාය යයි කියනු ලැබේ.
කෙසා ලොමා යන මේ කෙස් ආදිය දෙතිස් ආකාරය. එහි මේ ශරීරයෙහි කෙස් ඇත. මේ ශරීරයෙහි ලොම් ඇත යයි සම්බන්ධය දතයුතුයි. මෙහි පාවලින් උඩ කෙස්වලින් යට සම්බන්ධව හරහට මෙපමණ වූ බඹයක් පමණ කලේබරයෙහි (සිරුරෙහි) සියළු ආකාරයෙන් සියළු ආකාරයෙන්ම සොයන්නේ කිසියම් මුතුවක් හෝ මැණිකක් හෝ වෛදූරයක් හෝ අගිල් හෝ කොකුමි හෝ කපුරු හෝ සුවඳ සුණු ආදියක් හෝ කිසිවෙක් නොදකිති. අනුමාත්‍ර පිරිසිදු බවක්වත් නොදකිති. දැඩි දුර්ගන්ධය පිළිකුල් සහගත බව නොයෙක් ආකාර අප්‍රිය දර්ශන වූ කෙස් ලොම් ආදියෙන් යුත් අසූචිම බලයි. එයින් කියන ලදි. අත්‍ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා... මුත්තංති මෙය පද සම්බන්ධ වර්ණනාවය.
මෙම කර්මස්ථානය වඩා රහත්භාවයට පැමිණීමට කැමතිවන කුලපුත්‍රයා විසින් මුලින්ම චතුර්විධ වූ සීලය පිරිසිදු කොට සුපිරිසිදු සීලයෙහි පිහිටා දස පලිබෝධවලින් බාධක තිබේ නම් ඒවා දුරුකොට පිළිකුල් මෙනෙහි කරන කමටහන් භාවනාවෙන් පළමුවන ධ්‍යානය උපදවා ධ්‍යානය පාදක කරගෙන විපස්සනාව පටන්ගෙන, අරහත්ත අනාගාමි ඵලාදියට හෝ අන්‍ය ඵලයකට පැමිණීම හෝ යටත් පිරිසෙයින් අටුවා සහිත පෙළ පුරුදු පුහුණු කළ පාලි ආචාර්ය කල්‍යාණ මිත්‍රයකු සමීපයෙහි උගත යුතුය. විසුද්ධ වූ එබඳු රූප වූ කල්‍යාණ මිත්‍රයකු තමා වසන ස්ථානයේ නොලැබෙනවා නම් එබඳු උත්තමයකු වසන ස්ථානයට ගොස් ඉගෙනගත යුතුය. චතුර්විධ සීල විසෝධනයද පළිබෝධ ද පළිබෝධ උපච්ඡේදයද ආචාර්යවරයකු ළඟට එළඹෙන විධානයද යන සියල්ල විසුද්ධි මාර්ගයෙහි (එනම් ග්‍රන්ථය) විස්තර වශයෙන් කියන ලදි. එනිසා එහි කියන ලද නයින්ම දතයුතුය.