දුක්ඛදොමනස්සනිද්දෙසො
දුක් දොම්නස් විස්තරය ධම්මසංගහ අටුවාවෙහි යට වර්ණනා කළ බැවින් ප්‍රකටය. ඒවායේ ලක්‍ෂණාදිය එහි කියන ලද්දේමය.
දුක් දුක්ඛාර්ථය දතයුතුය. දොම්නස් දුක්ඛාර්ථයද දතයුතුය. මෙහි මේ දෙකම තෙමේද දුක් බැවින් වස්තුභාවයෙන් දුක් යයි කිනය ලදි. අත් පා කන් නාසා සිඳීමෙන් දුකට පැමිණ අනාථ සාලාවක ඉඳුල් කබලක් පෙරටුකොට නිදාගත්විට වණමුඛයෙන් පණුවන් පිටවනවිට බලවත් දුකක් උපදී. නොයෙක් පාට රතුවත්වලින් අලංකාර කරන ලද නැකත් කෙලියේ මිනිසුන් දැක බලවත් දොම්නස් උපදී. මෙසේ දුක් දෙකේම දුක්වල වස්තුභාවය දතයුතුය. තවද:-
පෙළයි කය දුක් මෙය - මනසද දුකින් බෝවේ
උපදවයි දුක්රැස - දුකකැයි කියති එනිසා
දුකින් යුත් සිත කෙස් විසුරුවයි. හෘදය පොඩිකරයි. එහාට මෙහාට පෙරලයි. සිඳුනු ප්‍රපාතවලට පෙරලයි. ආයුධ ගෙනඑයි. විස ගිලියි. රැහැණින් එල්ලෙයි. ගින්නට පනියි. ඒ ඒ වෙනස් වස්තු ඒ ඒ ලෙස විපිලිසරව දැවෙන සිතැත්තෝ සිතති. මෙසේ දොම්නස දෙපරිදිම දුක්බව දතයුතුය. තවද:-
සිත පෙළයි යමකින් - කයේ පෙළුම ද ගෙන දේ
දොම්නස දුකක්මය - එ දොම්නස තෙ පරිදි වේ.
උපායාසනිද්දෙසො
උපායාස විස්තරයෙහි ආයාසය යන අර්ථයෙන් ආයාස වේ. පසුබැසීම් ආකාරයෙන් පවතින සිතේ ක්ලාන්ත ගතියට මෙය නමකි. සිතේ බලවත් පසුතැවිලි බව උපායාසිතත්ත වේ. අයං වුච්චති උපායාසො මෙය උපායාස යයි කියනු ලැබේ. එහි ලක්‍ෂණය ඇලීමය, කෘත්‍යය කෙඳිරිගෑමය, වැටහෙන ආකාරය සිත්තැවුලය.
උපායාසයේ දුක්ඛාර්ථය දතයුතුය. මෙහිද තමාම දුක් නොවේ. දුක් දෙකම වස්තුභාවය නිසා දුක් යයි කියන ලදි. කෝපවූ රජතුමා ඓශ්වර්ය සිඳ නසන ලද වධයට බියෙන් පුතුන්ගෙන් එකෙක් වනයට පිවිස සැඟවී මහා පසුතැවිල්ලට පත්වේ. මෙයින් දුකට පත්ව මහත් දුකක් උපදී. මෙපමණ නෑයින් හා ධනය විනාශවී යයි සිතන්නාට බලවත් දොම්නසක් උපදී. මෙසේ දුක් දෙකම වස්තුභාවයෙන් සිදුවූ බව දතයුතුය. තවද:-
දැවීම ද සිතෙහි වන - පසුතැවුම් කය වැඩුමෙන්
උපායාසය දුක් - දනවයි එයින් දුක් වේ