සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
අනතුරුව සත්‍ය විභංගයෙහි චත්තාරි ගණන වෙන්කිරීමය. අරිය සච්චානි සීමා කරගත් දහම් කොටසය. දුක්ඛං අරිය සච්චං ආදියේ උද්දේස වාරයෙහි:-
ලකුණු ඈ බෙදුමෙන් - නිරුවචන පිරියෙසුමෙන්
අරුත් ඉදිරීමෙන් - අඩු වැඩි නැතිව එලෙසේ
අරුත් ඉදිරීමෙන් - අඩු වැඩි නැතිව එලෙසේ
සිව්සස් පිළිවෙළින් - නැණ එහි වන කිස ලෙසින්
බෙදුම් ඇතුළත් වන - උවමින් සතර වගුවෙන්
බෙදුම් ඇතුළත් වන - උවමින් සතර වගුවෙන්
එක්විදි හිස්බැවින් - ඈ සම විසම විලසින්
දතයුතු විනිස මෙහි - වියතුන් සසුන් නයෙහි
දතයුතු විනිස මෙහි - වියතුන් සසුන් නයෙහි
එහි විභාග වශයෙන් දුක්ඛාදියෙහි සතර සතර වූ අර්ථ බෙදන ලදි. දුක්ඛාදිය අවබෝධ කරගන්නන් විසින් තථ අවිතථ අනඤ්ඤථ වශයෙන් අවබෝධ කළයුතුය. මෙසේ කීහ:- දුකෙහි පෙළීම් සංස්කරණය කිරීම් තැවීම් වෙනස්වීම් සතර අර්ථය සත්‍ය වේ. අසත්‍ය නොවේ. අන් පරිද්දකින් නොවේ. සමුදයෙහි රැස්කිරීම්, නිධාන, සංයෝග, පළිබෝධ අර්ථ, නිරෝධයෙහි නිදහස, විවේකය, අසංස්කරණය, අමෘතය, අර්ථ මාර්ගයෙහි පැමිණවීම්, හේතු, දර්ශන අර්ථ තථ අවිතථ අනඤ්ඤථ වශයෙන් අවබෝධ කළයුතුය. මේ සතර මාර්ගයෙහි මාර්ගස්ථ වූ සත්‍ය වූ අසත්‍ය නොවූ අන් ලෙස නොවූ යයි එසේම දුකෙහි පෙළීම් ආදිය සමුදයෙහි රැස්කිරීම් ආදිය නිරෝධයෙහි නිදහස ආදිය මාර්ගයෙහි පැමිණවීම් ආදිය යයි මේ ආදිය මෙසේ බෙදනලද සතර සතර අරුත් විසින් දතයුතුය. මෙසේ විභාග වශයෙන් දතයුතුය.
නිර්වචන ලක්‍ෂණ ප්‍රභේද වශයෙන් මෙහි පළමුව:- දු යන මේ ශබ්දය නින්දිත යන්නෙහි, ‘ඛ’ ශබ්දය හිස්බවෙහි අහස මෙන් හිස්බව මෙහි පළමු සත්‍ය නින්දිත නොයෙක් උපද්‍රව සහිත හිස් මෝඩ මිනිසුන් හිතන ස්ථිර සැප ආත්ම රහිත බැවින්, නින්දිතබව හිස්බවද දුකයයි කියනු ලැබේ. ‘සං’ මේ ශබ්දය සමාගමෙහි, සමෙතං ආදියෙහි සංයෝගය දක්වයි. ‘උ’ ශබ්දය උදිතං ආදියෙහි ඉපදීම දක්වයි. ‘අය’ ශබ්දය හේතුව පෙන්වයි. මේ දෙවන සත්‍යය සෙසු ප්‍රත්‍ය සමායෝගය ඇතිවූ කල්හි දුක් ඉපදීමට හේතුවේ මෙසේ දුක් සංයෝගවීමට හේතුවන බැවින් දුක්ඛ සමුදය යයි කියනු ලැබේ.
තුන්වන සත්‍යයෙහි ‘නි’ ශබ්දය අභාවයෙහිද ‘රොධ’ ශබ්දය හසුරුවන අර්ථය දක්වයි. එහෙයින් මෙහි සසර හැසිරවීම් සංඛ්‍යාත දුක්ඛ රෝධයේ අභාවය වේ. සියළු ගති ශූන්‍යභාවයෙන් හෝ සංසිඳීමෙන් හෝ ඒනිසා සසර හසුරුවන දුක්රෝධයේ අභාවය වේ. ඊට ප්‍රතිපක්‍ෂභාවයෙන් දුක්ඛ නිරෝධ යයි කියනු ලැබේ. දුකේ නොඉපදීම නිරෝධයට ප්‍රත්‍ය වන බැවින් දුක්ඛ නිරෝධ වේ. සතරවන සත්‍යය, යමකින් මේ දුක්ඛ නිරෝධයට යයිද අරමුණු වශයෙන් ඊට අභිමුඛ බැවින් දුක්ඛ නිරෝධයට පැමිණීමේ ප්‍රතිපදාවද වේ. එහෙයින් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයයි කියනු ලැබේ.
එහෙයින් කීහ:- චත්තාරිමානි භික්ඛවෙ අරියසච්චානි කතමානි......... ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි අරිය සච්චානි, අරියා ඉමානි සච්චානි පටිවජ්ජන්ති, තස්මා අරිය සච්චානීති වුච්චන්ති! මහණෙනි, මේ ආර්ය සත්‍යයෝ සතර දෙනෙක් වෙති. කවරේද?......මහණෙනි, මේ ආර්ය සත්‍යයෝ සතරදෙනා වෙති. ආර්යයෝ මේවා අවබෝධ කරති. එහෙයින් ආර්ය සත්‍යයයි කියනු ලැබේ. තවද ආර්යයන්ගේ සත්‍යයයි ආර්ය සත්‍ය වේ. යම්සේ කීහ:- “සදෙවකෙ භික්ඛවෙ ලොකෙ........ මනුස්සාය තථාගතො අරියො තස්මා අරියසච්චානීති වුච්චන්ති” මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි...... මිනිසාට තථාගතයන් වහන්සේ ආර්ය වන සේක. එහෙයින් ආර්ය සත්‍යයයි කියනු ලැබේ. එසේ නැතහොත් මේවා අවබෝධ කළබැවින් ආර්යභාවය සිද්ධවූ බැවින් ආර්ය සත්‍ය වේ. යම්සේ කීහ:- “මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ඇතිසැටියේ අවබෝධ කළබැවින් තථාගතයන් වහන්සේ අර්හත් සම්මා සම්බුද්ධ ආර්යයෝ යයි කියනු ලැබේ. තවද ආර්ය වූ සත්‍ය නිසා ආර්ය සත්‍ය යයි කියනු ලැබේ. අරිය යනු සත්‍ය වූ වෙනස් නොවන්නා වූ අසත්‍ය නොවේ යන අර්ථයයි. එහෙයින් කීහ. මහණෙනි, මේ ආර්ය සත්‍ය සත්‍ය වේ. අසත්‍ය නොවේ වෙනස් නොවේ. එනිසා ආර්ය සත්‍යයයි කියනු ලැබේ. මෙසේ මෙහි නිර්වචන විනිස දැනගත යුතුය.
ලක්‍ෂණාදි ප්‍රභේද වහයෙන් කෙසේද? මෙහි දුක්ඛ සත්‍යයේ ලක්‍ෂණය පෙළීමය, එහි කෘත්‍යය තැවීමය, වැටහෙන ආකාරය පැවතීමය. සමුදය සත්‍යයෙහි ලක්‍ෂණය ප්‍රභව යයි. කෘත්‍යය සිඳදැමීම් කරණයයි. වැටහෙන ආකාරය පළිබෝධය. නිරෝධ සත්‍යයේ ලක්‍ෂණය සාන්ත බවය. කෘත්‍යය චුතිය නැතිකිරීමය, වැටහෙන ආකාරය නිමිති නැතිකමය. මාර්ග සත්‍යයේ ලක්‍ෂණය පැමිණවීමය. රසය කෙලෙස් නැතිකිරීමය, වැටහෙන ආකාරය ක්‍රියාත්මක වීමය. තවද පැවැත්ම පවත්වන්නා නැවැත්ම නවත්වන්නා පිළිවෙලින් ලක්‍ෂණ වශයෙන්ද සංඛත තෘෂ්ණාව අසංඛත නිවන ලක්‍ෂණ වශයෙන්දැයි මෙසේ මෙහි ලක්‍ෂණාදි ප්‍රභේද වශයෙන් විනිස දතයුතුය.
අර්ථ උදුරා දැක්වීම් වශයෙන් පළමුව අර්ථ වශයෙන්:- සත්‍යාර්ථය කවරේද? යමෙක් නුවණැසින් පරීක්‍ෂා කරන්නේ මායාව මෙන් මිරිඟුව මෙන් වෙනස්වන, තීර්ථකයින්ගේ ආත්මය මෙන් මුළාකරන නොලැබෙන තත්ත්වයක්ද නොවේ. බාධාකිරීම් ප්‍රභව ශාන්තිය පමුණුවන වෙනස් නොවූ ආකාරයෙන් සත්‍ය වූ ආර්ය ඤාණයට ගෝචර වේ. මෙය ගිනි ලක්‍ෂණය මෙන් ලෝක ප්‍රකෘතිය මෙන්ද විපරීත නොවන නිසා සත්‍ය වූ සත්‍යාර්ථය දැනගත යුතුය. කීහ:- මහණෙනි, මෙය දුකය, මෙය සත්‍යය, මෙය අසත්‍යය නොවේ. මෙය වෙනස් නොවේ. තවද:-