ජරානිද්දෙසො
ජරා නිද්දේසයෙහි ජරා යනු ස්වභාව පැවැත්මයි. ජීරණතා යනු ආකාරය විස්තර කිරීමයි. ඛණ්ඩිච්චං ආදිය කාලාතික්‍රමණයෙන් වන කෘත්‍ය විස්තරයයි. පසු දෙක ප්‍රකෘති විස්තරයයි. අයං ජරා යන මේ පදයෙන් ස්වභාවය දක්වන ලදි. එයින් එහි මේ ස්වභාව පැවැත්මයි. ජීරණතා යන මෙයින් ආකාර වශයෙන්. එහෙයින් මෙය ආකාර විස්තරයයි. ඛණ්ඩිච්චං යන මෙහි කල් ඉක්මයෑමෙන් දත්, නිය, ආදිය කඩා බිඳ දමන බවට පත්කරයි. වලිත්තචතා යන මෙයින් මස් වියලවා සම රැලිබවට පත්කිරීම දක්වන ලදි. පාලිච්චං කෙස් ලොම්වල පැසුණුබව ඇතිකිරීම. මේ ඛණ්ඩිච්චං ආදි තුන කල් ඉකුත්වීමෙන් කෘත්‍ය විස්තරයයි. ඒවායේ දැකීම් වශයෙන් මේ වෙනස්වීම් ප්‍රකට නිසා ප්‍රකට ජරාව දක්වන ලදි. ජලයේ හෝ වාතයේ හෝ ගින්නේ හෝ තෘණ රුක් සමග එක්වීමෙන් ඒවා කඩාබිඳ දමා හෝ දැවීමෙන් හෝ ගිය මග ප්‍රකටය. ඒ ගියමග ඒවා සමග ජලය ආදිය නොවේ. එසේම ජරාවෙන් දත් ආදිය කඩාබිඳ දැමීමෙන් ගියමග ප්‍රකටය. ඇසහැර බලාගනී. කැඩීම් ආදියද ජරාවද එසේ බලාගත නොහැකිය. ජරාව චක්ඛු විඤ්ඤාණයෙන් දැකගත නොහැක.
ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො යන මේ පදවලින් කාලය ඉකුත්වීමේ ස්වභාවය ආයුෂය ක්‍ෂයවීම චක්ඛු ආදි ඉන්‍ද්‍රියවල මේරීම් සංඛ්‍යාත ප්‍රකෘතිය දක්වන ලදි. ඒවායින් අවසන් දෙක ප්‍රකෘති විස්තර යයි දතයුතුය. එහි ජරාවට පත්වන්නාගේ ආයු පිරිහේ. එනිසා ජරාව ආයු විනාශ කෙරේ යයි පලූපචාර වශයෙන් කියන ලදි. තරුණ කාලයෙහි ප්‍රසන්නය. තමාට අවශ්‍ය සියුම් දේද ගැනීමට සමත් වේ. චක්ඛු ආදි ඉන්‍ද්‍රිය පරිපාකයට පැමිණ ජරාවෙන් අලලා අපැහැදිලි වූ විට තමාට අවශ්‍ය ඕලාරික දෙයක්ද ගැනීමට අසමත් වේ. එහෙයින් ඉන්‍ද්‍රියන්ගේ පරිපාකය එලූපචාරයෙන් කියන ලදි.
එසේ දක්වන ලද සියළුම ජරාව ප්‍රකට අප්‍රකට යයි දෙපරිදිය. එහි දත් ආදිය බිඳුණු බව දැකීමෙන් රූප ධර්මවල ජරාව ප්‍රකට ජරා වේ. අරූපාදියෙහි ජරාව එබඳු වෙනස්වීම් නොපෙනෙන හෙයින් අප්‍රකට ජරා වේ. එහි දත් ආදියේ පැහැදිලි වර්ණය නිසා එය බිඳුණු බව පෙනේ. එය ඇසින් දැක මනසින් සිතා මේ දත් ජරාවෙන් පහර දෙනලදැයි ජරාව දනියි. ජලය ඇතිතැන බැඳුණු ගෝසිංගාදිය (ඊතණාදි පඳුරු) බලා යට ජලය ඇති බව දැනගන්නාක් මෙනි. අවීචි සවීචි යයි ජරාව මෙසේද දෙපරිදිය. එහි මැණික් රන් ප්‍රවාල සඳ හිරු ආදියේ සහ අඩු දසක ආදියෙහි සතුන් මෙන්ද මල් ගෙඩි කොළ ආදියෙහි අප්‍රාණීන් මෙන්ද අතරතුර වර්ණ විශේෂාදිය දැනගැනීමට අපහසු වූ බැවින් එම ජරාව අවීචි ජරා වේ. නිරන්තර ජරා යන අර්ථයයි.
සවීචි ජරාව උපාදින්න අනුපාදින්න වශයෙන් මෙසේ දැක්විය යුතුය. බාල දරුවන්ගේ පළමුවෙන් කිරිදත් නැගේ. ඒවා ස්ථිර නොවේ. ඒවා වැටුණු පසු නැවත දත් හටගනී. ඒවා පළමුව සුදුය. ජරා වාතයෙන් පහර දුන්විට කලු වේ. කෙස් පළමුවෙන් තඹ කලු හෝ සුදු වේ. සම ලේ පැහැ වේ. වැඩෙනවිට සුදුපාට සහ පසුව කළුපාට වේ. ජරාවෙන් මැඩුණු කල රැලි ඇතිවේ. සියළුම සස්‍ය වපුරන කල සුදුපාට වේ. පසුව නිල්වේ. ජරාවෙන් මැඩුණු කල පඬුපැහැ වේ. අඹ අංකුරයද දැක්වීම වටී. අයං වුච්චති ජරා මේ ජරා යයි කියනු ලැබේ. එය වනාහි ස්කන්ධයන්ගේ පරිපාක ලක්‍ෂණයයි. මරණය කරා පැමිණවීම එහි කෘත්‍යයයි. තරුණබව විනාශය එහි වැටහෙන ආකාර යයි.