එහි පරියාය දුක් නිප්පරියාය දුක් යන මේ පද දෙකේ සිට දුක්ඛාර්ය සත්‍ය කථාකළ යුතුය. පෙලෙහි අරියසච්ච යයි සංක්‍ෂේපයෙන්ද විස්තරයෙන්ද එයි. සංක්‍ෂේපයෙන් ආ තැන සංක්‍ෂේපයෙන්ද විස්තරයෙන්ද කීමට වටී. විස්තරයෙන් ආ තැන විස්තරයෙන් කීමට වටී. සංක්‍ෂේපයෙන් නොවටී. මේ ස්ථානයෙහි විස්තරයෙන් ආ බැවින් විස්තරයෙන්ම කිවයුතුය. එහෙයින් විස්තර කරන වාරයෙහි “එහි දුක්ඛාර්ය සත්‍යය කවරේද?” ජාතිපි දුක්ඛා ආදිය යයි ආදි පද ගෙන ජාතිය දතයුතුය. ජාතියේ දුක්ඛාර්ථය දතයුතුයි ආදිය කියන ලදි. එහි ජාති ආදිය පළමුව:- එහි ජාතිය නම් කවරේද? එය ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්ත්ව කොටස්වල ඉපදීම පහළවීම යන මේ පද භාජනිය වශයෙන් දතයුතුය.
එහි මේ අර්ථ වර්ණනාවය. තෙසං තෙසං සත්තානං මෙය සංක්‍ෂේපයෙන් නොයෙක් සතුන්ගේ සාධාරණ විස්තරයකි. දේවදත්තගේ ඉපදීම සෝමදත්ගේ ඉපදීම යයි කියන කල්හි සම්පූර්ණ සතුන්ගේ ගැනීමක් නොවේ. සියල්ල පසුව සිදුවේ. මේ පද දෙකෙන් කිසි සතෙක් නොගෙන නැත. පසුව කිසි දැන්වීමක් නොවන්නේ නොවේ. එහෙයින් කියන ලදි. ඒ ඒ සතුන්ගේ තමහී තමහී උපන් ගති වශයෙන් නොයෙක් සත්ත්ව කොටස්වල සාධාරණ විස්තරයයි. සත්ත නිකායෙ යනු සත්වයින්ගේ කොටසෙහි සත්ව සමූහයෙහි යන අර්ථයයි.
ජාති මේ ජාති ශබ්දය නොයෙක් අර්ථ ඇත. එක් ජාතියක ජාති දෙකක මෙය භවයෙහි එයි. ‘විසාඛ, නිගණ්ඨ නම් ශ්‍රමණ ජාතියක් ඇත’ මෙය කොටසෙහිය. ‘තිරි නම් තෘණ විශේෂයකි. නැබින් නැගී අහසෙහි ගැටී පැවති සේය.’ මෙහි පැනවීමෙහි. ජාති ස්කන්ධ දෙකක සංගෘහිතය මෙය සංඛත ලක්‍ෂණයෙහි. මහණෙනි, මව්කුස පළමුව උපන් සිතක් පළමු විඤ්ඤාණය පහළවීමයි. එය ගෙන ඔහුගේ ජාති වේ. මෙහි ප්‍රතිසන්ධියයි. ආනන්ද, දැන් බෝධිසත්ත්වයෝ ජාතය, මෙහි ප්‍රසූතයෙහි. ජාතිවාදයෙන්, මෙහි කුලයෙහි. යම් හෙයකින් මම නැගනියෙනි, ආර්ය ජාතියෙහි, මෙහි ආර්ය සීලයෙහි එහෙයින් ජායමානවසෙන මෙහි වෙන්වූ ස්වභාවයෙහි. මනාව ඉපදීම් වශයෙන් සඤ්ජාති උපසර්ගය පදාර්ථය වඩන ලදි. බැසගැනීම් වශයෙන් ඔක්කන්ති. සංජායන අර්ථයෙන් සඤ්ජාති. එය සම්පූර්ණ ආයතන වශයෙන් කියන ලදි. ඔක්කමන අර්ථයෙන් ඔක්කන්ති, එටය අණ්ඩජ ජලාබුජ වශයෙන් කියන ලදි. ඔව්හු බිත්තරයෙන්ද වැදෑමසින්ද බැස ගනිති. බැසගන්නවුන්ද පිවිසෙන්නාක් මෙන් ප්‍රතිසන්ධිය ගනු ලැබේ. අභිනිබ්බත්තන අර්ථයෙන් අභිනිබ්බත්ති, එය සංසේදජ ඕපපාතික වශයෙන් යුක්ත වේ.
දැන් පරමාර්ථ කතා වේ. පරමාර්ථ වශයෙන් ස්කන්ධම පහළ වේ. සත්ත්වයෝ නොවෙති. එහි ඒකවෝකාර භවයක එක් ස්කන්ධයක්ද චතුවෝකාර භවයක ස්කන්ධ සතරක්ද පංචවෝකාර භවයෙහි ස්කන්ධ පහක්ද යන ගණන දැනගත යුතුය. පාතුභාවො උපත, ආයතනං යන මෙහි ඒ ඒ උපදින ආයතන වශයෙන් සංග්‍රහය දතයුතුය. පටිලාභො පරම්පරාව පහළවීමය. පහළවන්නේ ඒවා ලබාගන්නෝ නොවෙති. අයං වුච්චති ජාති මෙය ජාති යයි කියනු ලැබේ. එය වනාහි ඒ ඒ භවයෙහි පළමු ඉපදීම ලක්‍ෂණ කොට ඇත්තේය. අතීත භවයෙන් මෙහි වැටහෙන ආකාරයයි.
දැන් ජාතියේ දුක්ඛ අර්ථය දැනගත යුතුය. මේ ජාතිය තමාම දුක් නොවේ. දුක්ඛ උත්පත්තිය වනාහි වස්තුභාවයෙන් දුක් වේයයි කියන ලදි. ‘දුකෙහි වස්තු කවෙර්ද? එය භාග්‍යවතුන් වහන්සේ විසින් උපමා වශයෙන් බාල පණ්ඩිත සූත්‍රාදියෙහි දේශනා කරන ලදි. අපායිකයන්ට දුක් වේ. සුගතියෙහිද මිනිස්ලොව ගැබ්බැස ගන්නා මූලාකාදි දුක් උපදී. එහි සියළු වස්තු මෙසේය. මෙය ගබ්භොක්කන්ති මූලක භේද දුකය. මේ සත්ත්වයා මව්කුස උපදින්නේ උපුල් පියුම් හෙලපියුම් ආදියේ නූපදියි. ආමාසයට යට ඇලදිව මත පිටකටුව මැද උදරපටලයෙහි (ගර්භාසය) පරම සම්බාධක වූ දැඩි අඳුරෙහි නොයෙක් කුණපගඳින් වැඩුණු අසූචියෙන් පරම දුර්ගන්ධ වායුව ඇති ඉතා පිළිකුල් වූ කුසේ පෙදෙසක කුණුමාළු කුණුකොමුපිඩු ඇති ගවර වලක පණුවෙකු මෙන් උපදී. හේ එහි ඉපිද දසමසක් මව්කුසෙහි හටගැනෙමින් මුල්බැඳ උෂ්ණයෙන් තැම්බුවාක් මෙන් පැසෙමින් පිටිගුලියක් මෙන් තැම්බෙමින් හකුලන දිගහැරීම් නැතිව අධිකවූ දුකක් අනුභව කරයි. මේ ගස්භාවක්‍රාන්ති දුක්ඛයයි.
ඒ මව වහා පය හැපීම් ගමන්කිරීම් හිඳීම් නැගිටීම් ඉරියව්වලදී සුරා ධූර්තයකු අතට පත් එළුවකු මෙන්ද අහිකුණ්ඨිකයකු අතටපත් සර්ප පැටවකු මෙන්ද ඇදීම් එහාමෙහා ඇදීම් සෙලවීම් ගසාදැමීම් ආදි උපක්‍රමයෙන් අධික දුක් විඳී. මව සිහිල්පැන් පානය කරනවිට සීත නරකයෙහි උපන්නකු මෙන්ද, උණුසුම් කැඳබත් ආදිය අනුභව කරනවිට ගිනිඅඟුරු වැස්සකින් ආකීර්ණ වූවාක් මෙන්ද ලුණුඇඹුල් කනවිට ඛාර කර්මාදියට පත්වූවකු මෙන්ද ශරීරය අතුල් පතුල් පලා ලුණුඇඹුල් ගැල්වීම් වධයෙන් ඉතා දැඩිදුක් විඳියි. මෙය ගබ්භපරිහරණ දුකයි.