මග්ගසච්චනිද්දෙසවණ්ණනා
මාර්ග සත්යය නිද්දේසයෙහි අයමෙව යනු අන්ය මාර්ග ප්රතික්ෂේප කිරීමේ නියමයයි. අරියො යනු ඒ ඒ මාර්ගයෙන් නසන ලද කෙලෙසුන්ගෙන් ඈත්වූ බැවින්ද ආර්යභාවය සිදුකරන බැවින්ද ආර්ය ඵල ප්රතිලාභය කරන බැවින්ද අරිය නම් වේ. අංග අටක් ඇති නිසා අට්ඨංගිකො වේ. එය චතුරංග සේනාව මෙන් පංචාංගික තුරිය මෙන් අංගය පමණක් වේ. අංගවලින් වෙන්වීමක් නැත. නිර්වාණය කැමැත්තෙන් ගමන් කෙරෙතියි නිවන හෝ පෙන්වයි. කෙලෙසුන් හෝ නසමින් යන්නේ යයි මග්ගො වේ. සෙය්යථීදං? එය කවරේද?
අංගය පමණක් මාර්ගය වේ. අංගය නැතිව මාර්ගය නොවේ යයි දක්වන්නේ සම්මා දිට්ඨි.......සම්මා සමාධි යයි කීහ. මනාව දක්නා ලක්ෂණය සම්මා දිට්ඨි වේ. සිත මනාව අරමුණට යොමුකිරීමේ ලක්ෂණය සම්මා සංකප්ප වේ. මනාව ගැනීමේ ලක්ෂණය සම්මා වාචා වේ. මනාව තැබීමේ ලක්ෂණය සම්මා කම්මන්ත වේ. මනාව පිරිසිදු වීමේ ලක්ෂණය සම්මා ආජීව වේ. මනාව ආධාර කිරීමේ ලක්ෂණය සම්මා වායාම වේ. මනාව වැටහීමේ ලක්ෂණය සම්මා සති වේ. මනාව එකඟ කිරීමේ ලක්ෂණය සම්මා සමාධි වේ.
ඒවායේ එකිනෙකේ කෘත්යය තුන තුන පවතී. කෙසේද? සම්මා දිට්ඨිය තමාගේ අනිත් කෙලෙස් සතුරන් සමග මිථ්යා දෘෂ්ටිය දුරුකරයි. නිවන අරමුණු කරයි. එකට යෙදෙන ධර්මද බලයි. සම්මා සංකප්පාදියද එසේම මිථ්යා සංකප්පාදිය දුරුකරයි. නිවන අරමුණු කරයි. මෙහි විශේෂය නම් සම්මා සංකප්පය සහජාත ධර්මයන් අරමුණට යොමුකරයි. [missing trans]
මේ සම්මා දිට්ඨිය මුලදී නානා ක්ෂණ නානා අරමුණු වේ. මාර්ග කාලයෙහි ඒකක්ෂණ ඒකාරම්මණ වේ. කෘත්ය වශයෙන් දුක්ඛෙ ඤාණං ආදි නම් සතර ලබයි. සම්මා සංකප්ප ආදියද මාර්ගයට පෙර නානා ක්ෂණ නානා අරමුනු වේ. මාර්ග අවස්ථාවේ ඒකක්ෂණ එක අරමුණය. සම්මා සංකප්පය කෘත්ය වශයෙන් නෙක්ඛම්මාදි නම් තුනක් ලබයි. සම්මා වාචාදි තුනේ පූර්ව භාගයේදී නානා ක්ෂණ නානා අරමුණු වේ. මාර්ග ක්ෂණයෙහි විරතිය පමණකි. චේතනාවද විරතිය පමණකි. සම්මා වායාම සති යන මේ දෙක සම්යක් ප්රධාන සතිපට්ඨාන වශයෙන් නම් සතරක් ලබයි. සම්මා සමාධිය පෙරද මාර්ග ක්ෂණයෙහිද සම්මා සමාධියම වේ.
නිවන් ලැබීම පිණිස පිළිපන් යෝගීන්ට බොහෝ උපකාර වන හෙයින් පළමුව සම්මා දිට්ඨිය දේසනා කරන ලදි. මෙය ප්රඥා ප්රදීප පඤ්ඤා ආවුධ යයි කියන ලදි. මෙහි මුලදී විපස්සනා ඤාණ සහිත සම්මා දිට්ඨිය අවිදු අඳුර බිඳ කෙලෙස් සොරුන් නසමින් ආරක්ෂාව දෙමින් යෝගාවචරයා නිවනට පමුණුවයි.
බොහෝ උපකාර බැවින් සම්මා සංකප්පය ඊළඟට කියන ලදි. රන්කරුවෙක් අතට ගත් කහවණුව පෙරළ පෙරළා බලන්නේ හොර එකක්ද ඇත්ත එකක්ද කියා දැනගැනීමටය. යෝගාවචරයාද පූර්ව භාගයෙහි විචාරයෙන් විචාර විචාරා විදර්ශනා ප්රඥාවෙන් බලන්නේ මේ ධර්මයෝ කාමාවචරය, මේ ධර්මයෝ රූපාවචරයයි දැනගැනීමටය. යම්කිසි පුරුෂයෙක් කෙළවරක් ගෙන පෙරළ පෙරළා දෙනලද මහගස වඩුවෙක් වෑයෙන් සැස කාර්යයෙහි යොදවයි. එසේ විතර්කයෙන් විචාරා දෙන ලද ධර්මයෙහි යෝගාවචරයා මේ ධර්මයෝ කාමාවචර වේ. මේ ධර්මයෝ රූපාවචර ආදියයි දැන කාර්යයෙහි යොදවයි.
සම්මා සංකප්පය සම්මා දිට්ඨියට මෙන්ම සම්මා වාචාවටද උපකාර වේ. එනිසා ඊළඟට සම්මා වාචා කියන ලදි.
පළමුව වචනයෙන් සංවිධානය කර ලෝකයේ කර්මාන්ත ආදිය යොදවනු ලැබේ. එනිසා අනතුරුව සම්මා කම්මන්ත කියන ලදි.
වචී දුශ්චරිතය සතරාකාරය. කාය දුශ්චරිතය තුන් ආකාරය. මේ දෙකම දුරුකොට සුචරිතය පුරන්නා සමහරවිට ආජීවාෂ්ටමක සීලය පුරයි. එහෙයින් අනතුරුව සම්මා ආජීවය කියන ලදි.
මෙසේ සුද්ධ වූ ආජීවයෙන් මගේ ජීවිතය පිරිසිදු යයි මෙපමණකින් සන්තෝෂ කොට සියළු ඉරියව්වල වීර්ය ආරම්භ කළයුතු යයි දැක්වීමට අනතුරුව සම්මා වායාම කියන ලදි.
එයින් ආරම්භ කරන ලද වීර්යයෙහි කායාදි සතර වස්තුවෙහි සිහිය හොඳින් පිහිටුවිය යුතුයයි දැක්වීමට ඉන් අනතුරුව සම්මා සතිය කියන ලදි.