අභිධර්ම භාජනීය වර්ණනාව
දැන් අභිධර්ම භාජනීය වේ. මෙහි ආර්ය සත්‍යයයි නොකියා සියල්ල ඇතුළත් හෙයින් ප්‍රත්‍ය සංඛ්‍යාත සමුදය දැක්වීමට චත්තාරි සච්චානි යයි කියන ලදි. අරිය සච්චානි යයි කීකල්හි අවසේස කෙලෙස්, අවසේස අකුසල දහම්, කුසල් මුල් තුනද අවසේස ආශ්‍රව, අවසේස කුසල දහම්ද සංග්‍රහ නොවේ. මේ අවසේස කෙලෙස් ආදියද දුක් උපදවයි. කේවලවූ තෘෂ්ණාවම දුක්ඛ සමුදය නොවේ. මෙසේ මේ ප්‍රත්‍යයෙන්ද දුක් ඇතිවේමයයි සියල්ල ඇතුළත් හෙයින් ප්‍රත්‍ය සංඛ්‍යාත සමුදය දැක්වීමට අරිය සච්චානි යයි නොකියා චත්තාරි සච්චානි යයි කියන ලදි.
විස්තර කිරීමේදී ඒවායේ ප්‍රථම දුක්ඛය විස්තර නොකොට ඒ දුකේ සැප විස්තර කිරීම සඳහා දුක්ඛ සමුදය විස්තර කරන ලදි. එහිද විස්තර කරන ලද අවසෙසා කිලෙසා ආදි නයින් දුක්ඛ සත්‍ය සුඛ නිර්දේශයක් වේ. මෙහි නිරෝධ සත්‍යයද තෘෂ්ණා ප්‍රත්‍යයද තෘෂ්ණාවේ සෙසු කෙලෙසුන් හෝ ප්‍රත්‍යදැයි මෙසේ කියන සමුදයේ ප්‍රහානය වශයෙන් පස් ආකාරයකින් විස්තර කරන ලදි. මෙහි මාර්ග සත්‍යය වනාහි ප්‍රථම ධ්‍යානික සෝවාන් මාර්ග වශයෙන් ධම්මසංගණියෙහි බෙදනලද දේසනා නයේ මුඛමාත්‍ර වශයෙන් දක්වමින් දේසනා කරන ලදි. එහි නය භේදය දතයුතුය. එය මතුයෙහි ප්‍රකාශ කරමි.
අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපදාවයි. මෙහි මුලින්ම කාය කර්ම වචීකර්ම ආජීව පිරිසිදු වේ. යන වචනයෙන් පුද්ගල අදහස් වශයෙන් අංග පසකින් වූ ද මාර්ගය ප්‍රතිපදාවමයි. එය දැක්වීමට පංචංගික වාරයද දක්වන ලදි. අට්ඨංගික පංචංගික මාර්ගයම ප්‍රතිපදාව නොවේ. සම්ප්‍රයුක්ත වූ පනස් ධර්මයෝම (චෛතසික) ප්‍රතිපදාවයි. එනිසා එය නය දැක්වීමට තුන්වනුව සබ්බසංගාහික වාරයද දක්වන ලදි. එහි අවසේස ධර්ම දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ ඇතුළත් වේ යයි මෙය අත්හරියි. සෙසු සියළු තන්හි සමානය.
එහි අට්ඨංගික වාරයෙහි තෘෂ්ණාවද අවසේස කෙලෙසුන්ගේ ප්‍රහාන යයි ආදියෙහි කොටස් පහ අතුරෙන් පළමු කොටසෙහි සෝවාන් මාර්ගයේ ධ්‍යාන අභිනිවේසයෙහි සුද්ධික පටිපදා, සුද්ධික සුඤ්ඤතා, සුඤ්ඤත පටිපදා, සුද්ධික අප්පණිහිතං, අප්පණිහිත පටිපදා යන මේ පස් වාරයෙහි දෙක දෙක චතුක්කපංචක නය වශයෙන් නය දහයක් වේ. මෙසේ සෙස්සෙහිද විසති අභිනිවේසවල නය දෙසීයක් ද ඒවා සතර අධිපතීන්ගේ වශයෙන් සතරින් ගුණකො අටසීයක්ද මෙසේ සුද්ධික දෙක අධිපති අට යයි සියල්ල නය දහසක් වේ. සෝවාන් මාර්ගයේ මෙන් සෙසු මාර්ගවලද නය හාරදහසක් වේ. පළමු කොටසෙහි සතරක්ද මෙසේ සෙසු කොටස්වලද අට්ඨංගික වාරයේ කොටස් පහේ නය විසිදහසක් වේ. එසේම පංචංගික වාරයෙහිද සබ්බසංගාහික වාරයෙහිද යන සියල්ල නය හැටදහසක් ශාස්තෲන් විසින් බෙදන ලදි. පෙලෙහි සංක්‍ෂේපයෙන් ආවේය. මෙසේ මෙය ත්‍රිවිධ මහා වාර පසලොස් කොටස් සැටදහසක් නය ප්‍රතිමණ්ඩිත වූ අභිධම්ම භාජනියෙහි විස්තර කරන ලදැයි දතයුතුය.
අභිධම්ම භාජනිය වර්ණනාව
ප්‍රශ්න විචාරක වර්ණනාව
ප්‍රශ්න විචාරයෙහි චතුස්සත්‍යද ස්කන්ධ විභාගයෙහි කියන ලද ආකාරයෙන්ම කුසලාදිභාවය දතයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි වනාහි සමුදය සත්‍යය කාමාවචර ධර්මයෙහි ආශ්වාදනය කරන්නාට කුඩා අරමුණක් වේ. මාර්ග ධර්මයෙහි ආශ්වාදනය කරන්නාට මහග්ගත අරමුණක් වේ. ප්‍රඥප්තිය ආශ්වාදනය කරන්නාට අරමුණ කිවහැකි නොවේ. දුක්ඛ සත්‍යය කාමාවචර ධර්ම අරමුණු කරගෙන උපන්නේ සුළු අරමුණක් වේ. රූපාරූප ධර්මයන් අරමුණුකැර උපන්නේ මහග්ගත අරමුණකි. නව ලෝකෝත්තර ධර්මයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයේ අප්‍රමාණ අරමුණකි. ප්‍රඥප්තිය ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි අරමුණ කිවහැකි නොවේ. මාර්ග සත්‍යය සහජාත හේතු වශයෙන් හැමකාලයේම මාර්ග හේතුක වේ. විරිය හෝ විමංසය හෝ ප්‍රධානකොට මාර්ග භාවනා කාලයෙහි මාර්ගාධිපති වේ. ඡන්ද චිත්තවල වෙනත් අධිපතියකු ඇති කාලයෙහි කිවහැකි නොවේ. දුක්ඛ සත්‍ය ආර්යන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි මාර්ගාරම්මණය වේ. ගරුකොට ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි මාර්ගාධිපති වේ. සෙසු ධර්ම ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි කිවහැකි නොවේ.