ප්රශ්න විචාරක වර්ණනාව
ප්රශ්න විචාරයෙහි චතුස්සත්යද ස්කන්ධ විභාගයෙහි කියන ලද ආකාරයෙන්ම කුසලාදිභාවය දතයුතුය. ආරම්මණ ත්රිකයෙහි වනාහි සමුදය සත්යය කාමාවචර ධර්මයෙහි ආශ්වාදනය කරන්නාට කුඩා අරමුණක් වේ. මාර්ග ධර්මයෙහි ආශ්වාදනය කරන්නාට මහග්ගත අරමුණක් වේ. ප්රඥප්තිය ආශ්වාදනය කරන්නාට අරමුණ කිවහැකි නොවේ. දුක්ඛ සත්යය කාමාවචර ධර්ම අරමුණු කරගෙන උපන්නේ සුළු අරමුණක් වේ. රූපාරූප ධර්මයන් අරමුණුකැර උපන්නේ මහග්ගත අරමුණකි. නව ලෝකෝත්තර ධර්මයන් ප්රත්යවේක්ෂා කරන කාලයේ අප්රමාණ අරමුණකි. ප්රඥප්තිය ප්රත්යවේක්ෂා කරන කාලයෙහි අරමුණ කිවහැකි නොවේ. මාර්ග සත්යය සහජාත හේතු වශයෙන් හැමකාලයේම මාර්ග හේතුක වේ. විරිය හෝ විමංසය හෝ ප්රධානකොට මාර්ග භාවනා කාලයෙහි මාර්ගාධිපති වේ. ඡන්ද චිත්තවල වෙනත් අධිපතියකු ඇති කාලයෙහි කිවහැකි නොවේ. දුක්ඛ සත්ය ආර්යන් ප්රත්යවේක්ෂා කරන කාලයෙහි මාර්ගාරම්මණය වේ. ගරුකොට ප්රත්යවේක්ෂා කරන කාලයෙහි මාර්ගාධිපති වේ. සෙසු ධර්ම ප්රත්යවේක්ෂා කරන කාලයෙහි කිවහැකි නොවේ.
ද්වෙ සච්චානි දුක්ඛ සමුදය සත්ය, මේවා අතීත ධර්ම අරබයා උපදින කල අතීත අරමුණු වේ. සමුදය සත්යය අධ්යාත්ම ධර්ම ආශ්වාදනය කරනවිට අධ්යාත්ම අරමුණු වේ. දුක්ඛ සත්යය ආකිඤ්චඤ්ඤායතන කාලයෙහි අරමුණ කිව නොහැකි යයි දතයුතුය. මෙසේ මේ ප්රශ්න විචාරයෙහි සත්ය දෙකක් ලෞකික වේ. සත්ය දෙකක් ලෝකෝත්තර වේ. මෙහි මෙසේ පෙර දෙකෙහි සම්බුදුන් විසින් සූත්රාන්ත භාජනියාදි තුනෙහිද ලෞකික ලෝකෝත්තර නයෙන් සත්ය කියන ලදි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ සතරවන සච්ච විභංග නිද්දේසයයි.
5. ඉන්ද්රිය විභංගය
අභිධර්ම භාජනීය වර්ණනාව
ඊට අනතුරුව දැන් ඉන්ද්රිය විභංගයෙහි බාවීසතී යනු ගණන පිරිසිඳීමයි. ඉන්ද්රියානි යනු වෙන්කරන ලද ධර්මය දැක්වීමයි. දැන් ඒවා ස්වරූප වශයෙන් දැක්වෙන්නේ චක්ඛු ඉන්ද්රියං ආදිය කීහ. එහි චක්ෂු ද්වාරයෙහි ප්රධානත්වය දරනුයේ චක්ඛු ඉන්ද්රිය වේ. සෝත, ඝාන, ජිව්හා, කාය ද්වාරවල ඉන්ද්රියාර්ථය කෙරේනුයි සෝතාදි ඉන්ද්රිය දැනගැනීමේ ලක්ෂණයෙහි ප්රධානත්වය ඇති නිසා මනින්ද්රිය වේ. ස්ත්රීභාවයෙහි ප්රධානත්වය නිසා ඉත්ථින්ද්රිය වේ. පුරුෂභාවයෙහි ප්රධානත්වය නිසා පුරුෂින්ද්රිය වේ. අනුපාලන ලක්ෂණයෙහි ප්රධානත්වය නිසා ජීවිතේන්ද්රිය වේ. සැප ලක්ෂණයෙහි ප්රධානත්වය නිසා සුඛින්ද්රිය වේ. දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා ලක්ෂණවල ඉන්ද්රියාර්ථය නිසා දුක්ඛින්ද්රිය ආදි වශයෙන් වේ. නිශ්චය ලක්ෂණය නිසා සද්ධින්ද්රිය වේ. උදව්දීමේ ප්රධානත්වය නිසා විරියින්ද්රිය වේ. වැටහෙන ලක්ෂණයෙහි ප්රධානත්වය නිසා සතින්ද්රිය වේ. අවික්ෂේප ලක්ෂණයෙහි ප්රධානත්වය නිසා සමාධින්ද්රිය වේ. දර්ශන ලක්ෂණයෙහි ප්රධානත්වය නිසා පඤ්ඤින්ද්රිය වේ. අනඤ්ඤථ-පවතින දැනගන්නා ලක්ෂණයෙහි ප්රධානත්වය දරණ නිසා අනඤ්ඤතඤ්ඤස්සාමීතින්ද්රිය වේ. දැනගන්නා ධර්මවල මනාසේ දැනගැනීමේ කෘත්යයෙහි ප්රධානත්වය නිසා අඤ්ඤින්ද්රිය වේ. සම්පූර්ණයෙන්ම දැනගැනීමේ ප්රධානත්වය නිසා අඤ්ඤතාවින්ද්රිය වේ.
මෙහි සූත්රාන්ත භාජනීයෙහි නොගන්නා ලද්දේ කුමක් නිසාද? සූත්රාන්තයෙහි මේ පිළිවෙලේ ඉන්ද්රිය විසිදෙකක් නොආ බැවිනි. සූත්රාන්තයෙහි කිසිතැනක ඉන්ද්රිය දෙකක් කියන ලදි. කිසිතැනක තැනක්, කිසිතැනක පහක්, මෙසේ නිතර විසිදෙකක් ආවේ නැත. මෙය අටුවා නයයි. මෙය වනාහි වෙනත් නයකි.