නිරොධසච්චනිද්දෙසවණ්ණනා
නිරෝධ සත්‍යය නිද්දේසයෙහි යො තස්සායෙව තණ්හාය යන මෙහි යමෙක් එම දුකෙහිම යයි කිවයුත්තෙහි සමුදය නිරෝධයෙන්ම දුක්ඛ නිරෝධය වේ. වෙනත් ආකාරයකින් නොවේ. එනිසා කීවේද:-
යම්සේ ගසේ මුල් උදුරා නොදැම්මොත්
කැපූ ගසක් මුත් නැවතත් වැඩේමැයි
ඒ සේම ආසා’නුසයන් නො නැස්මෙහී
මේ දුක්හි උත්පත්ති වේමැයි යළිත් යළිත්
එහෙයින් දුක්ඛ නිරෝධය දක්වන්නේ, සමුදය නිරෝධයෙන් දැක්වීමට මෙසේ කීහ. තථාගතයන් වහන්සේ සිංහයෙකුට සමාන පැවතුම් ඇත්තාහ. දුක් නැතිකරන්නේ දුක්ඛ නිරෝධයද දක්වන්නේ ඔවුහු පලයෙහි නොව හේතුවෙහි පිළිපදිති. අන්‍ය තීර්ථකයෝ සුවාන (බලු) ව්‍රතය පිළිපදිති. ඔවුහු දුක් නැති කරන්නේ දුක්ඛ නිරෝධය දක්වන්නේ අත්තකිලමථානු යෝගයෙන්ද ඒ දේසනාවෙන්ද ඵලයෙහි පිළිපදිති. හේතුවෙහි නොපිළිපදිති. හේතුව ඉවත් නොකර ඵලය ඉවත් කිරීමට උත්සාහ කරති. සිංහ සමාන පැවතුම් ඇති ශාස්තෲන් වහන්සේ හේතුවෙහි පිළිපදින්නේ යො තස්සායෙව යනාදිය කීහ.
එහි තස්සායෙව යන යම් ඒ උපත් ගැනීම් වශයෙන් යට කියන ලදි. අසෙසවිරාගනිරොධො යනාදි සියල්ල නිර්වාණයෙහි පර්යාය වචන වේ. නිවනට පැමිණ තෘෂ්ණාව නිරවශේෂයෙන් නිරුද්ධ වේ. එනිසා එය අසෙස විරාග නිරෝධා යයි කියනු ලැබේ. නිවනට පැමිණ තෘෂ්ණාව අත්හරී. බැහැර කරයි. මිදෙයි. නො ඇලෙයි. එනිසා නිවන වාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො යයි කියනු ලැබේ. නිවන එකක්මය. සියළු සංඛත නාමයන්ගේ ප්‍රතිපක්‍ෂ වශයෙන් නිර්වාණයට නොයෙක් පර්යාය නම් තිබේ. කෙසේද? අසෙස විරාග නිරොධො, චාගො, මුත්ති, අනාලයො, රාගක්ඛයො, දොසක්ඛයො, මෝහක්ඛයො, තණ්හක්ඛයො, අනුප්පාදො, අප්පවත්තං, අනිමිත්තං, අප්පණිහිතං, අනායුහනං, අසංකිලිට්ඨං ආදිය වශයෙනි.
මාර්ගයෙන් සිඳී නිවනට පැමිණ දැන් නො පැවැත්මට පැමිණියද තෘෂ්ණාව යම් වස්තුවල උපත දක්වන ලදි. එහිම අභාවය දැක්වීමට සා ඛො පනෙසා ආදිය කීහ. එහි යම් මිනිසෙක් කෙතෙහි හටගත් තිත්ත ලබුවැලක් දැක අග සිට මුල සොයා සිඳියි. එය කෙමෙන් මැලවී නො පැවැත්ම පත්වන්නේය. එයින් ඒ කෙතෙහි වූ ලබුවැල නිරුද්ධ විය. ප්‍රහීන වී යයි කියන්නේය. ඒ කෙතෙහි ලබුවැල මෙන් චක්‍ෂු ආදියෙහි තෘෂ්ණාව දතයුතුය. එය ආර්ය මාර්ගයෙන් මුලින් සිඳිනු ලැබ නිවනට පැමිණ නො පැවැත්මට පත්වන්නේය. එසේ පත්වූ විට කෙතේ ලබුවැල මෙන් නොපෙනේ. වනයෙහි ත්‍රස්තයන් අල්ලා ගෙනවුත් නගරයේ දකුණු දොරටුවේදී ඝාතනය කරති. එයින් ත්‍රස්තයින් මැරුවේ යයි කියති. චක්ඛු ආදියෙහි තෘෂ්ණාව වනයෙහි ත්‍රස්තයින් මෙනි. එය දකුණු දොර ත්‍රස්තයින් මෙන් නිවනට පැමිණ නිරුද්ධ විය. එසේ වීමෙන් වනයෙහි ත්‍රස්තයින් මෙන් නොපෙනේ. එහෙයින් එය එහිම නිරෝධය දක්වන්නේ, චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙ සා තණ්හා පහීයමානා පහීයති නිරුජ්ඣමානා නිරුජ්ඣති යනාදිය කීහ. සෙස්ස මෙහි කියන ලද පරිදි වේ.
නිරෝධ සත්‍යය නිර්දේශය
මග්ගසච්චනිද්දෙසවණ්ණනා
මාර්ග සත්‍යය නිද්දේසයෙහි අයමෙව යනු අන්‍ය මාර්ග ප්‍රතික්‍ෂේප කිරීමේ නියමයයි. අරියො යනු ඒ ඒ මාර්ගයෙන් නසන ලද කෙලෙසුන්ගෙන් ඈත්වූ බැවින්ද ආර්යභාවය සිදුකරන බැවින්ද ආර්ය ඵල ප්‍රතිලාභය කරන බැවින්ද අරිය නම් වේ. අංග අටක් ඇති නිසා අට්ඨංගිකො වේ. එය චතුරංග සේනාව මෙන් පංචාංගික තුරිය මෙන් අංගය පමණක් වේ. අංගවලින් වෙන්වීමක් නැත. නිර්වාණය කැමැත්තෙන් ගමන් කෙරෙතියි නිවන හෝ පෙන්වයි. කෙලෙසුන් හෝ නසමින් යන්නේ යයි මග්ගො වේ. සෙය්‍යථීදං? එය කවරේද?
අංගය පමණක් මාර්ගය වේ. අංගය නැතිව මාර්ගය නොවේ යයි දක්වන්නේ සම්මා දිට්ඨි.......සම්මා සමාධි යයි කීහ. මනාව දක්නා ලක්‍ෂණය සම්මා දිට්ඨි වේ. සිත මනාව අරමුණට යොමුකිරීමේ ලක්‍ෂණය සම්මා සංකප්ප වේ. මනාව ගැනීමේ ලක්‍ෂණය සම්මා වාචා වේ. මනාව තැබීමේ ලක්‍ෂණය සම්මා කම්මන්ත වේ. මනාව පිරිසිදු වීමේ ලක්‍ෂණය සම්මා ආජීව වේ. මනාව ආධාර කිරීමේ ලක්‍ෂණය සම්මා වායාම වේ. මනාව වැටහීමේ ලක්‍ෂණය සම්මා සති වේ. මනාව එකඟ කිරීමේ ලක්‍ෂණය සම්මා සමාධි වේ.
ඒවායේ එකිනෙකේ කෘත්‍යය තුන තුන පවතී. කෙසේද? සම්මා දිට්ඨිය තමාගේ අනිත් කෙලෙස් සතුරන් සමග මිථ්‍යා දෘෂ්ටිය දුරුකරයි. නිවන අරමුණු කරයි. එකට යෙදෙන ධර්මද බලයි. සම්මා සංකප්පාදියද එසේම මිථ්‍යා සංකප්පාදිය දුරුකරයි. නිවන අරමුණු කරයි. මෙහි විශේෂය නම් සම්මා සංකප්පය සහජාත ධර්මයන් අරමුණට යොමුකරයි. [missing trans]
මේ සම්මා දිට්ඨිය මුලදී නානා ක්‍ෂණ නානා අරමුණු වේ. මාර්ග කාලයෙහි ඒකක්‍ෂණ ඒකාරම්මණ වේ. කෘත්‍ය වශයෙන් දුක්ඛෙ ඤාණං ආදි නම් සතර ලබයි. සම්මා සංකප්ප ආදියද මාර්ගයට පෙර නානා ක්‍ෂණ නානා අරමුනු වේ. මාර්ග අවස්ථාවේ ඒකක්‍ෂණ එක අරමුණය. සම්මා සංකප්පය කෘත්‍ය වශයෙන් නෙක්ඛම්මාදි නම් තුනක් ලබයි. සම්මා වාචාදි තුනේ පූර්ව භාගයේදී නානා ක්‍ෂණ නානා අරමුණු වේ. මාර්ග ක්‍ෂණයෙහි විරතිය පමණකි. චේතනාවද විරතිය පමණකි. සම්මා වායාම සති යන මේ දෙක සම්‍යක් ප්‍රධාන සතිපට්ඨාන වශයෙන් නම් සතරක් ලබයි. සම්මා සමාධිය පෙරද මාර්ග ක්‍ෂණයෙහිද සම්මා සමාධියම වේ.