සමුදයසච්චනිද්දෙසවණ්ණනා
සමුදය සත්‍යය නිද්දේසයෙහි යායං තණ්හා යනු යම් මේ තෘෂ්ණාවක්. පොනොභවිකා යනු නැවත භවය ඇතිකරන, පුනර්භවය මෙහි ස්වභාවය වේ යයි යන අර්ථයෙන් පොනොභවික වේ. තවද පුනර්භවය දෙයි. පුනර්භවය පිණිස පවතියි. නැවත නැවත භවයෙහි උපදවයි යනුවෙන්ද පොනොභවික වේ. එය වනාහි පුනර්භවයට දායකද අදායකද වේ. මෙය පුනර්භවය පිණිස පැවතීමද නොපැවතීමද වේ. දෙනලද ප්‍රතිසන්ධියෙන් ස්කන්ධ විපාක නියමයද එය පුනර්භවය දේද නොදේද පුනර්භවය පිණිස පවතීද නොපවතීද දෙනලද ප්‍රතිසන්ධියෙහි විපාක ප්‍රමාණයද පොනොභවික නම ලබයි. සතුටුවීම් සංඛ්‍යාත නන්දි රාගයෙන් යුක්ත නිසා නන්දිරාග සහගතා වේ. නන්දිරාගය සමග යන අර්ථයෙන් ඒකාන්තයෙන්ම ගියා යයි කියන ලදි. තත්‍ර තත්‍රාභිනන්‍දිනී යනු ආත්මභාව තිබෙන තැන්වල ඇලෙන, සතුටුවන, රූපාදියෙහි හෝ අරමුණුවල ඇලෙන, සතුටුවන. රූපයෙහි සතුටුව ඇලෙන, ශබ්ද ගන්ධ රස ඵොට්ඨබ්බ ධම්ම යන මේවායේ සතුටුව ඇලීම යන අර්ථ වේ. සෙය්‍යථීදං? නිපාතයකි. එහි කවරේද? යන තේරුම වේ. කාම තණ්හා කාමයෙහි තෘෂ්ණාවය. පංචකාම ගුණයෙන් යුත් රාගයට පර්යාය වචනයකි. භවයෙහි තෘෂ්ණාව භව තෘෂ්ණා වේ. භවය ප්‍රාර්ථනා කිරීම් වශයෙන් උපන් ශාස්වත දෘෂ්ටි සහගත රූපාරූප රාගයෙහිද ධ්‍යාන ආශාවටද මෙය සමාන වචනයකි. විභවයෙහි තෘෂ්ණාව විභව තණ්හා වේ. උච්ඡේද දෘෂ්ටි සහගත රාගයට සමාන වචනයකි.
තෘෂ්ණා වස්තු විස්තර වශයෙන් දැක්වීමට සා ඛො පනෙසා යනාදිය කීහ. එහි උප්පජ්ජති උපදී. නිවිසති නැවත නැවත පැවතීම් වශයෙන් පිහිටුවීමය. යං ලොකෙ පියරූපං සාතරූපං ලෝකයෙහි ප්‍රියවූද, මිහිරි වූද යමක්. චක්ඛුං ලොකෙ ලෝකයෙහි චක්ඛු ආදිය කෙරෙහි මමත්වයට සත්ත්වාය සම්පත්තියෙහි පිහිටා තමාගේ ඇස කැඩපත් ආදියෙහි නිමිති අනුසාරයෙන් ගෙන ප්‍රසන්න වූ පංච ප්‍රසාදය රන්විමනක අරින ලද මැණික් සීමැදුරු කවුළුවක් මෙන් හඟියි. කන රිදී කුප්පියක් මෙන් හවඩි නූලක් මෙන්ද සිතයි. උස නාසය යයි ව්‍යවහාර වන ඝාණය ගුලිකොට තැබූ රන්සිරියල් ගුලියකැයි හඟියි. දිව රත් කම්බිලි පටලයක් මෙන් මෘදු සිනිඳු මිහිරි රස දේ යයි හඟියි. කය සල්ගසක් මෙන් රන් තොරණක් මෙන්ද හඟියි. මනස අන්‍යයන්ගේ මනසට අසමාන සේ උදාර සේ සිතයි. රූපය රන් කිණිහිරි මල් වර්ණ මෙන්, ශබ්දය මත් කුරවි කොවුලන් මද නදැති මිණි වෙණින් නිකුත් නදක් මෙන්, තමා ලද චතු සමුට්ඨානික සුවඳ අරමුණු ආදිය ගැන මේවායේ තිබෙන්නේ කාටදැයි සිතයි. මෙසේ සිතන්නාට ඒ චක්ඛු ආදිය ප්‍රිය රූපද මිහිරි රූපද වේ. ඉක්බිති ඔවුන්ට එහි නූපන් තෘෂ්ණාව උපදී. උපන් තෘෂ්ණාව නැවත නැවත පැවතීම් වශයෙන් පිහිටුවයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ චක්ඛුං ලොකෙ පිය රූපං සාතං රූපං, එත්ථෙ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති ආදිය වදාළහ. එහි උප්පජ්ජමානා යනු යම්කලක උපදී නම් එකල මෙහි උපදී යන අර්ථයි. සියළු තැන මෙම නයයි.
සමුදය සත්‍ය නිර්දේශය
නිරොධසච්චනිද්දෙසවණ්ණනා
නිරෝධ සත්‍යය නිද්දේසයෙහි යො තස්සායෙව තණ්හාය යන මෙහි යමෙක් එම දුකෙහිම යයි කිවයුත්තෙහි සමුදය නිරෝධයෙන්ම දුක්ඛ නිරෝධය වේ. වෙනත් ආකාරයකින් නොවේ. එනිසා කීවේද:-
යම්සේ ගසේ මුල් උදුරා නොදැම්මොත්
කැපූ ගසක් මුත් නැවතත් වැඩේමැයි
ඒ සේම ආසා’නුසයන් නො නැස්මෙහී
මේ දුක්හි උත්පත්ති වේමැයි යළිත් යළිත්
එහෙයින් දුක්ඛ නිරෝධය දක්වන්නේ, සමුදය නිරෝධයෙන් දැක්වීමට මෙසේ කීහ. තථාගතයන් වහන්සේ සිංහයෙකුට සමාන පැවතුම් ඇත්තාහ. දුක් නැතිකරන්නේ දුක්ඛ නිරෝධයද දක්වන්නේ ඔවුහු පලයෙහි නොව හේතුවෙහි පිළිපදිති. අන්‍ය තීර්ථකයෝ සුවාන (බලු) ව්‍රතය පිළිපදිති. ඔවුහු දුක් නැති කරන්නේ දුක්ඛ නිරෝධය දක්වන්නේ අත්තකිලමථානු යෝගයෙන්ද ඒ දේසනාවෙන්ද ඵලයෙහි පිළිපදිති. හේතුවෙහි නොපිළිපදිති. හේතුව ඉවත් නොකර ඵලය ඉවත් කිරීමට උත්සාහ කරති. සිංහ සමාන පැවතුම් ඇති ශාස්තෲන් වහන්සේ හේතුවෙහි පිළිපදින්නේ යො තස්සායෙව යනාදිය කීහ.
එහි තස්සායෙව යන යම් ඒ උපත් ගැනීම් වශයෙන් යට කියන ලදි. අසෙසවිරාගනිරොධො යනාදි සියල්ල නිර්වාණයෙහි පර්යාය වචන වේ. නිවනට පැමිණ තෘෂ්ණාව නිරවශේෂයෙන් නිරුද්ධ වේ. එනිසා එය අසෙස විරාග නිරෝධා යයි කියනු ලැබේ. නිවනට පැමිණ තෘෂ්ණාව අත්හරී. බැහැර කරයි. මිදෙයි. නො ඇලෙයි. එනිසා නිවන වාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො යයි කියනු ලැබේ. නිවන එකක්මය. සියළු සංඛත නාමයන්ගේ ප්‍රතිපක්‍ෂ වශයෙන් නිර්වාණයට නොයෙක් පර්යාය නම් තිබේ. කෙසේද? අසෙස විරාග නිරොධො, චාගො, මුත්ති, අනාලයො, රාගක්ඛයො, දොසක්ඛයො, මෝහක්ඛයො, තණ්හක්ඛයො, අනුප්පාදො, අප්පවත්තං, අනිමිත්තං, අප්පණිහිතං, අනායුහනං, අසංකිලිට්ඨං ආදිය වශයෙනි.
මාර්ගයෙන් සිඳී නිවනට පැමිණ දැන් නො පැවැත්මට පැමිණියද තෘෂ්ණාව යම් වස්තුවල උපත දක්වන ලදි. එහිම අභාවය දැක්වීමට සා ඛො පනෙසා ආදිය කීහ. එහි යම් මිනිසෙක් කෙතෙහි හටගත් තිත්ත ලබුවැලක් දැක අග සිට මුල සොයා සිඳියි. එය කෙමෙන් මැලවී නො පැවැත්ම පත්වන්නේය. එයින් ඒ කෙතෙහි වූ ලබුවැල නිරුද්ධ විය. ප්‍රහීන වී යයි කියන්නේය. ඒ කෙතෙහි ලබුවැල මෙන් චක්‍ෂු ආදියෙහි තෘෂ්ණාව දතයුතුය. එය ආර්ය මාර්ගයෙන් මුලින් සිඳිනු ලැබ නිවනට පැමිණ නො පැවැත්මට පත්වන්නේය. එසේ පත්වූ විට කෙතේ ලබුවැල මෙන් නොපෙනේ. වනයෙහි ත්‍රස්තයන් අල්ලා ගෙනවුත් නගරයේ දකුණු දොරටුවේදී ඝාතනය කරති. එයින් ත්‍රස්තයින් මැරුවේ යයි කියති. චක්ඛු ආදියෙහි තෘෂ්ණාව වනයෙහි ත්‍රස්තයින් මෙනි. එය දකුණු දොර ත්‍රස්තයින් මෙන් නිවනට පැමිණ නිරුද්ධ විය. එසේ වීමෙන් වනයෙහි ත්‍රස්තයින් මෙන් නොපෙනේ. එහෙයින් එය එහිම නිරෝධය දක්වන්නේ, චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙ සා තණ්හා පහීයමානා පහීයති නිරුජ්ඣමානා නිරුජ්ඣති යනාදිය කීහ. සෙස්ස මෙහි කියන ලද පරිදි වේ.