ඉච්ඡානිද්දෙසො
කැමති විස්තරයෙහි ජාතිධම්මානං යනු ජාති ස්වභාවයන්ගේ ජාති ප්රත්යයන්ගේ ඉච්ඡා උප්පජ්ජති යනු තෘෂ්ණාව උපදී. අහොවත යනු ප්රාර්ථනාවය. න ඛො පනෙතං ඉච්ඡා පත්තබ්බා යනු යම් දෙයකින් අපි ඉපදීම් ධර්මයට නොපැමිණේම යයි පැතීම, අප ඉපදීමට නොපැමිණේවායි මෙසේ සමුදය ප්රහාණයෙන් සාධූන් කෙරෙහි විද්යමාන නොඉපදීම් ධර්ම වූ පරිනිර්වාණයෙහි විද්යමාන ඉපදීමේ නොපැමිණීම කැමතිවන ලදි. මාර්ග භාවනාවෙන් තොරව නොපැමිණිය හැකි බැවින් නොකැමති වන්නාටද භාවනාවෙන් පැමිණිය යුතු බැවින් කැමතිවීමෙන් පැමිණීම නම් දෙයක් නැත. (කැමතිවීමෙන් හෝ ප්රාර්ථනා කිරීමෙන් ඉපදීම නැතිකළ නොහැකිබව කී සේය) ඉදම්පි මෙයද, මත්තෙහි සෙස්ස ‘පි’ කාරයෙන් ගනී. යම්පිච්ඡං යම් ධර්මයකින් නොලැබිය හැකි වස්තු කැමතිවන්නා නොලබයි. නොලැබිය හැකි වස්තු කැමතිවීම දුක් යයි දතයුතුය. ජරාධම්මානං ආදියෙහිද මෙම නයයි. මෙසේ මෙහි නොලැබිය හැකි වස්තු කෙරෙහි කැමැත්තම යමක් නොලබයිද එය දුක්යයි කියන ලදි. එහි නොලැබිය හැකි වස්තු කැමතිවීම ලක්ෂණ යයි. ඒ ගැන සෙවීම කෘත්යයයි. ඒවායේ නොපැමිණීම වැටහෙන ආකාරයයි.
දුක් දෙකම වස්තු භාවයෙන් දුක් යයි කියන ලදි. එකෙක් රජවන්නේ යයි බුහුමන් ලබයි. හේ සිඳී බිඳී ගිය සමූහයා පිරිවරනු ලැබ විසම කඳුකරයට හෝ වනයට පිවිසෙයි. ඉක්බිති රජ ඒ පුවත දැන බලකා යවයි. රාජපුරුෂයන් විසින් නසන ලද පිරිවර ඇති හේ තමාද ලද පහර ඇත්තේ ගස් හෝ ගල් අතරට පිවිසේ. මේ වේලාවේ මහවැස්සක් ඇති වේ. ගණ අඳුරු කළුවලා නැගෙයි. ඉක්බිති ඔහු කළුකූඹි (කළුකඩි) පිරිවරා ගනිති. එයින් ඔහුට බලවත් දුක් උපදී. එකම මා නිසා මෙපමණ නෑයින් මෙපමණ ධනය විනාශ වී යයි. බලවත් දොම්නස උපදී. මේ ආශාව මේ දුක් දෙකටම වස්තුවන බැවින් දුක් යයි දතයුතු. තවද:-
ඒ ඒ දෙය පතන - අයහට වන අලාභය
සතුන්හට මෙහි යම් - විනාසය දුක් උපදියි
සතුන්හට මෙහි යම් - විනාසය දුක් උපදියි
නොලැබිය හැකි වතුන් - පැතුමයි එයට හේතුව
කැමති දෙය නොලැබෙනු - දුක් යයි මුනිසඳහු යු
කැමති දෙය නොලැබෙනු - දුක් යයි මුනිසඳහු යු
උපාදානක්ඛන්ධනිද්දෙසො
උපාදාන ස්කන්ධ විස්තරයෙහි සංඛිත්තෙන දේශනාව සඳහා කියන ලදි. දුක් නම් දුක් සියයක් පමණ යයි හෝ දහසක් පමණ යයි හෝ ලක්ෂයක් පමණ යයි හෝ ගණන් කිරීමට නොහැක. දේශනා කිරීමට හැකිය. එසේ හෙයින් දුක් නම් අන් කිසිවක් නොව කෙටියෙන් පංච උපාදානස්කන්ධ දුක් යිය දේශනය හකුළුවමින් මෙසේ කීහ. සෙය්යථීදං නිපාතයකි. ඒවා කවරේදැයි යන අර්ථයයි. රූප උපාදාන යන ස්කන්ධයන්ගේ අර්ථ ස්කන්ධ විභංගයෙහි වර්ණනා කරන ලද්දේය.
ස්කන්ධයන්ගේ දුක්ඛාර්ථය දැනගත යුතුය. මෙය වනාහි:-
ඉපදීම මුල්කොට - දුක් යයි කියන ලද මෙහි
නොකියන ලද සියල් - ඇති නොවේ මෙය නොමැතිව
නොකියන ලද සියල් - ඇති නොවේ මෙය නොමැතිව
එනිසාම කෙටියෙන් - උපාදාන කඳු මෙහී
දුක් යයි වදහළේ - මහරිසි වෙයි දුක් නැසූ
දුක් යයි වදහළේ - මහරිසි වෙයි දුක් නැසූ
යම්සේ ගින්න ඉන්ධන මෙන් පහරට ඉලක්කය මෙන් ඩංස මකසයන්ට ගවරූපය මෙන් කපන්නන්ට (ගොයම්) කෙතක් මෙන් ජාති ආදියට උපාදාන ස්ක්නධ පංචකය මෙන් නොයෙක් ආකාරයේ බාධා කරනු ලබන තෘණ ලතාදියට බිමක් මෙන් ගස්වල මල් ගෙඩි කොළ ආදිය මෙන් උපාදානය ස්කන්ධවලම උපදී. උපාදාන ස්කන්ධවල මුල්ම දුක ඉපදීමය. මැද දුක ජරාවය. අවසාන දුක මරණයයි. මාරාන්තික දුක්වලින් පහර දෙනලද දවනු ලබන දුක සෝකයයි. එය නොඉවසන්නේ වැලපෙන දුක පරිදේවයයි. එයින් ධාතු කැළඹීම් වශයෙන් ඇතිවූ ශරීරයේ ආබාධ ඇතිකරන්නේ දුක්ඛ දුක වේ. එයින් බාධා පමුණුවන පෘථග්ජනයින් එහි තරහ ඉපදවීම් වශයෙන් ඇතිවන සිත පෙළන දුක දෝමනස්සයයි. සෝකාදිය වර්ධනය වීමෙන් ඇතිවන කලකිරීම ඇතිකරන දුක උඵායාසයයි. බලාපොරොත්තු ඉටු නොවී ඉච්ඡා භංගයට පත් දුක කැමති දේ නොලැබීමයි. මෙසේ නොයෙක් ආකාරයෙන් පරීක්ෂා කරනු ලබන උපාදාන ස්කන්ධයම දුක් යයි එක එක දක්වා කියන ලද නොයෙක් කල්පවලිනුත් සම්පූර්ණයෙන් කියා නිමකළ හැකි නොවේ. ඒ සියළු දුක් එක ජල බින්දුවක සියළු මුහුදෙහි ජල රසය මෙන් මේ පංචස්කන්ධයෙහි හකුළුවා දැක්වීමට සංඛිත්තෙන පංචූපාදානක්ඛන්ධා දුක්ඛා යයි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.