(4:) චතුක්කනිද්දෙසවණ්ණනා
චතුක්ක නිද්දේසයෙහි තෘෂ්ණා ඉපදීමෙහි චීවර හේතු එහි මනාප සිවුරක් ලබමියි සිවුරු කරුණු උපදී. ඉති භවා භව හෙතු මෙහි ඉති යනු නිදර්ශනාර්ථයෙහි නිපාතයකි. චීවර හේතුවෙන්ම භවාභව හේතුද යන අර්ථයයි. භවාභවො යන මෙහි ප්රණීත ප්රණීතතර තෙල් මීපැණි ආදිය අදහස් කෙරේ. මේ තණ්හා උපාදාන සතර ප්රහාණය පිණිස පිළිවෙලින්ම චතුරාර්යවංශය දේශනා කරන ලදැයි දතයුතුය.
අගති ගමනයෙහි ඡන්දාගති ගච්ඡාති ඡන්දයෙන් ප්රේමයෙන් අගතියට යයි. නොකළයුතු දෙයක් කරයි. අනිත් පදවලද මෙම නයයි. එහි යමෙක් මේ තෙමේ මගේ මිත්රයෙක් දුටු මිත්රයෙක් දැඩි මිත්රයෙක් නෑයෙක් හෝ අල්ලස් හෝ මට දේ යයි. අස්වාමිකයෙක් ස්වාමියෙක් කරයි. මෙය ඡන්දා ගතියයි. යමෙක් මේ මගේ වෛරක්කාරයෙකුයි ප්රකෘති වෛර වශයෙන් හෝ උපන් අවස්ථාවේ උපන් ක්රෝධ වශයෙන් හිමියෙකු අහිමියෙක් කරයි. මෙය දෝෂා ගතියයි. යමෙක් මෝඩබව මුළා බැවින් මොනව හෝ කියා අහිමියෙක් හිමියකු කරයි. මෙය මෝහා ගතියයි. යමෙක් මේ රාජ විශ්වාසය දිනුවේ හෝ විසම පුද්ගලයෙක් නිසා හෝ මට අනර්ථයක් කෙරේයයි බියෙන් අහිමියෙක් හිමියකු කරයි මෙය භයෙන් අගතියට යෑමකි. යමෙක් යමක් බෙදන අවස්ථාවේ කිසියම් දෙයක් බෙදන්නේ මේ මගේ මිත්රයෙක් යහළුවෙක් කියා ප්රේම වශයෙන් අතිරේකයක් දෙයි. මේ මගේ වෛර කරුවෙකු දෝෂ වශයෙන් අඩුවෙන් දෙයි. මෝමූහයෙන් දෙන නොදෙන හැටි නොදන්නේ කිසිවකුට අඩුවෙන් කිසිවෙකුට වැඩියෙන් දෙයි. මොහුට නුදුන්නොත් මට අනර්ථයක් කරන්නේ යයි බියවී කිසිවෙකුට අතිරේකයක් දෙයි. ඒ සතර දෙනාම අනුක්රමයෙන් ඡන්දාදි සතර අගතියට යයි. ආර්යයා මේ අගතිවලට නොයයි. අනාර්යා මේ අගතිවලට යයි. අගතිගමනං මේ දෙක සතරදෙනාටම සාධාරණ වශයෙන් කියන ලදි. ඡන්දයෙන් යෑම ඡන්දගමනං වේ. මෙය දෝසාදීන්ට අසාධාරණ වශයෙන් කියන ලදි. සමපක්ෂයන්ට ප්රේමයෙන් ද විපක්ෂයන්ට දෝෂයෙන් ද නොමාර්ග වශයෙන් ගමන වග්ගගමනං මෙය ඡන්ද දෝෂ දෙකම සාධාරණ වශයෙන් කියන ලදි. ජලය මෙන් පහත් තැනට ගමන වාරිගමනං වේ. මෙය සතරදෙනාටම සාධාරණ වශයෙන් කියන ලදි.
වීර්යයෙන් සෙවීමෙහි අතිච්ඡාදි වස්තු නිච්ච භය ආදි නයින් විපරීත වශයෙන් සොයන්නේ විපරියෙසා වේ. සංඥාවෙන් විපරියෙසා සඤ්ඤා විපරියෙසා වේ. ඉතිරි දෙකෙහිද මෙම නයයි. මෙසේ මේ සතර වස්තු වශයෙන් මේ සතර වස්තුවෙහි සංඥාදීන් වශයෙන් දොළහක් වේ. සෙසු අට සෝතාපත්ති මාර්ගයෙන් ප්රහීණ වේ. අසුභවෙහි සුභයයි චිත්ත විපර්යාසය සකෘදාගාමි මගින් තුනී වෙයි. අනාගාමී මාර්ගයෙන් ප්රහීණ වේ. දුකෙහි සැපයයි සංඥාව අරහත් මගින් ප්රහීණ වේයයි දතයුතුය.
අනාර්ය ව්යවහාරයෙහි අනරිය වොහාරා යනු අනාරිය වූ ලාමකයින් ව්යවහාරයයි. දිට්ඨවාදිකා යනු මා විසින් දකින ලදැයි මෙසේ කියන බව. මෙහි ඒ ඒ හටගත් චේතනා වශයෙන් අර්ථය දතයුතුය. සහ බේදයෙන් චේතනා කියන ලදි. දෙවන චතුක්කයෙහිද මෙම නයයි. ආර්යයා නොදැක හෝ මවිසින් දකින ලදැයි දැක හෝ මවිසින් නොදක්නා ලද්දේ යයි කියන ලද්දේ නම් නොවේ. අනාර්යාම මෙසේ කියයි. එහෙයින් මෙසේ කියන්නාගේ සහ ශබ්දයෙන් මේ චේතනා අට අනාර්ය ව්යවහාරයයි දතයුතුය.