(4:) චතුක්කනිද්දෙසවණ්ණනා
සතරාකාරයෙන් ඤාණ වස්තු නිර්දේශයෙහි අත්‍ථිදින්නං යනාදියෙහි දෙන ලද හෙයින් ඵලය ඇතැයි මේ උපායෙන් අර්ථය දතයුතුය. ඉදං වුච්චති යම් ඤාණයක් මේ ක්‍රියාව තමාගේද අනුන්ගේදැයි දනී. මෙය කම්මස්සකත ඤාණයයි කියනු ලැබේය යන අර්ථයය. එය කාය දුශ්චරිත ත්‍රිවිධය. වචී දුශ්චරිත චතුර්විධය. මනෝ දුශ්චරිත ත්‍රිවිධය. මෙය ස්වකීය කර්ම නොවේ. තුන්දොරෙහි දසවිධ සුචරිතය ස්වකීය කර්ම නම් වේ. තමාගේ හෝ වේවා අනුන්ගේ හෝ සියළු අකුසල ස්වකීය කර්ම නොවේ. කුමක් නිසාද? අර්ථය බිඳින නිසාද අනර්ථය උපදවන නිසාද වේ. තමාගේ හෝ අනුන්ගේ හෝ වේවා සියළු කුසලය ස්වකීය කර්ම වේ. කුමක් හෙයින්ද? අනර්ථය බිඳින නිසාත් අර්ථය උපදවන නිසාත්ය. මෙසේ දැනගැනීම සමත් මේ කම්මස්සකත ඤාණයෙහි සිට බොහෝ දන් දී සිල් පුරා පෙහෙවස් සමාදන්ව සැපයෙන් සැපයට සම්පත්තියෙන් සම්පත්තියට පැමිණීමෙන් අනුභව කොට නිවනට පැමිණි ගණන් සීමාවක් නැත. යම්සේ ධනවත් පුරුෂයෙක් ගැල් පන්සියයක ගිතෙල් පැණි ආදියද ලුනු තල සහල් ආදියද පුරවා කාන්තාර මාර්ගයට පිළිපන්නේ කිසියම් කරුණකින් ධනය ලැබුණු කල්හි සියළු උපකරණ ගන්නා ලද්දේ. සිතිවිල්ලක තැති ගැනීමකට නොපැමිණ සැපයෙන් ක්‍ෂේම ස්ථානයට පැමිණෙයි. එසේසම මෙම කම්මස්සකත ඤාණයෙහි සිට බොහෝ දන් දී..... නිවනට පැමිණිය අයගේ ගණන් සීමාවක් නැත. ඨපෙත්‍වා සච්චානු ලොමිකං ඤාණං මාර්ග සත්‍යයේද පරමාර්ථ සත්‍යයේද අනුලෝම වශයෙන් සත්‍යානුලෝමක නය ලද නම් ඇති විපස්සනා ඤාණය හැර අවසේස සියළු ආශ්‍රව සහිත කුසල ප්‍රඥා කම්මස්ස කත ඤාණයම යයි අර්ථයයි.
මග්ගසමංගිස්ස ඤාණං දුක්ඛෙපෙතං ඤාණං මෙහි එකම මග්ග ඤාණය චතුස්සත්‍යයෙහි එකම ප්‍රතිවේධය වශයෙන් ස්ථාන සතරක සංග්‍රහ විය.
ධම්මෙ ඤාණං මෙහි මාර්ග ඤාණය චතුස්සත්‍යවල එකම ප්‍රතිවේධය වශයෙන් ධර්මයෙහි ඤාණය නම් වේ. හේතුඵල ප්‍රඥාව කෙසේ ධර්මයෙහි ඤාණය වේද? නිරෝධ සත්‍ය වශයෙනි. මේ ප්‍රඥාව දෙයාකාරය. අපර ප්‍රත්‍යයෙහි ධර්මය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි ද ආර්ය සත්‍ය ධර්මයෙහි කෘත්‍ය වශයෙන්ද අරමුණු වශයෙන් ද පවත්වන ලද ධර්මයෙහි ඤාණයයි දතයුතුය. සො ඉමිනා ධම්මෙන මෙහි මාර්ග ඤාණය ධර්මයට ගෝචරවන බැවින් ගෝචර ව්‍යවහාරයෙන් ධර්මය යයි කියන ලදි. උපයෝග අර්ථයෙහි හෝ කරණ වචනයයි. මේ ධර්මය දැනගන්නා විසින් යන අර්ථයයි. චතුසත්‍ය දැන සිටින්නා විසින් මාර්ග ඤාණයෙන් යයි කියන ලද්දේ වේ. දිට්ඨෙන දැකීමෙන්, ධර්ම දැක සිටින්නා විසින් යන අර්ථයයි. පත්තෙන චතුරාර්ය සත්‍යයට පැමිණ සිටි බව. ධර්මයට පැමිණි තැනැත්තා විසින්. විදිතෙන මාර්ග ඤාණයෙන් ආර්ය සත්‍ය දැනගන්නා ලද්ද ප්‍රකට කරන ලදි. එහෙයින් එය ධර්ම විදිත නම් වේ. එම දැනගන්නා ලද ධර්මයෙන්. පරියොගාළ්හෙන චතුසත්‍ය ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කොට සපයනු පෙනේ. නයං හොති අතීතයෙහිද අනාගතයෙහිද නය පමුණුවයි ගෙනයයි යවයි. මෙය වනාහි මාර්ග ඤාණයේ කෘත්‍ය නොවේ. ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයේ කෘත්‍යයයි. ශාස්තෲන් වහන්සේ විසින් මාර්ග ඤාණය අතීත අනාගතයෙහි නය ඇස් හා සමාන කරන ලදි. කුමක් හෙයින්ද? මාර්ගය මූලික බැවිනි. භාවිත මාර්ගය ප්‍රත්‍යවේක්‍ෂාව මෙනි. එහෙයින් ශාස්තෲන්වහන්සේ මග්ග ඤාණයව ඇස් හා සමාන කළහ. තවද මේ අර්ථය මෙසේ දතයුතුය. චතුසත්‍ය ගෝචර වේ. අවබෝධ කළ මාර්ග ඤාණය ඒ ඤාණයෙන් අතීත අනාගතයෙහි ප්‍රත්‍යවේක්‍ෂා සංඛ්‍යාත නය පමුණුවයි.
දැන් එයින් යම්සේ නය පමුණුවයිද ඒ ආකාරය දැක්වීමට යෙහි කෙචි අතීත මද්ධානං යනාදිය කීහ. එහි අබ්භඤ්ඤංසු යනු දැනගත්හ. අවබෝධ කළහ. ඉමඤ්ඤෙවා යම් දෙයක් අතීතයෙහි දැනගත්හ. අනාගතයෙහි දැනගන්නේය. එයම දැන් නැත. සමාන අර්ථයෙන් මෙසේ කියන ලදි. අතීතයෙහිද තණ්හාව හැර ත්‍රෛභූමික ස්කන්ධයෙහිම දුක්ඛ සත්‍යය අවබෝධ කළහ. තණ්හාව සමුදය සත්‍යයේ නිබ්බාණය නිරෝධ සත්‍යයයි. ආර්ය මාර්ගයම මාර්ග සත්‍යය අවබෝධ කළහ. අනාගතයෙහිද මෙසේම අවබෝධ කරන්නෝය. දැන්ද මෙසේම අවබෝධ කරති. සමාන අර්ථයෙන් ඉමඤ්ඤො යයි කියන ලදි. ඉදං වුච්චති අන්වයෙ ඤාණං මේ අනුගමන ඤාණය, නයන ඤාණය කරණ ඤාණ යයි කියනු ලැබේ.
පරිච්ඡේද ඤාණං සිතේ පරිච්ඡේද ඤාණයයි. පරසත්තානං තමා හැර සෙසු සත්ත්වයන්ගේ අනික ඊටම සමාන වචනයකි. චෙතසා චෙතො පරිච්ච පජානාති තමාගේ සිතින් ඔවුන්ගේ සිත සරාගාදි වශයෙන් පිරිසිඳ නොයෙක් ආකාරයෙන් දනී. සරාගංවා යනාදියෙහි කිවයුතු දේ සතිපට්ඨාන විභංගයෙහි කියන ලදි. මෙය විශේෂයකි. මෙහි අනුත්තරං වා චිත්තං විමුත්තං වා චිත්තං මෙහි ලෝකෝත්තරයද ලබයි. විපස්සනාවට නොපැමිණද පරසිත් දැනගැනීම ඤාණයේ විෂය වේමය.
අවසේසා පඤ්ඤා යනු ඤාණාදික වූ පඤ්ඤා තුන හැර සෙසු සියළු ප්‍රඥා ඤාණයය. සම්මත හෙයින් සම්මත ඤාණ නම් වේ. මෙහි වචනාර්ථය වනාහි සම්මතයෙහි ඤාණය සම්මති ඤාණය වේ.
කාමාවචර කුසලෙ පඤ්ඤා මෙය ඒකාන්තයෙන් සසරෙහි චුති පටිසන්ධි රැස්කරයි. එහෙයින් ආචයාය නො අපචයාය යයි කියන ලදි. ලෝකෝත්තර මාර්ග ප්‍රඥාව වනාහි චුති පටිසන්ධි යම්සෙයකින් රැස්කරයිද එහෙයින් අපචයාය හෝ ආචයාය යයි කියන ලදි. රූපාවචර අරූපාවචර ප්‍රඥාව චුති පටිසන්ධි රැස්කරයි. විෂ්කම්භන වශයෙන් කෙලෙස්ද කෙලෙස් මූලයද ධර්මයෙහි රැස්කරයි. එහෙයින් ආචයාය චෙව අපචයාය යයි කියන ලදි. සෙස්ස චුති පටිසන්ධි රැස් නොකරත්මය. විනාශ නොකරයි. එහෙයින් නෙව ආචයාය නො අපචයාය යයි කියන ලදි.
න ච අභිඤ්ඤා යො පටිවිජ්ඣති යන මෙය ප්‍රථම ධ්‍යාන සංඥාව සඳහා කියන ලදි. එය කාම විවේකයෙන් පැමිණිය යුතු බැවින් කෙලෙසුන් ගැන කලකිරීම පිණිස පවතී. එයද මේ කාමයන්හි වීතරාග වේ. අභිඤ්ඤාපාද භවයට නොපැමිණි හෙයින් පඤ්චාභිඥා අවබෝධ නොකරයි. නිමිති අරමුණු බැවින් සත්‍ය අවබෝධ නොකරයි. මෙසේ මේ ප්‍රඥාව කළකිරීම පිණිස වේ. ප්‍රතිවේධය පිණිස නොවේ. ස්වෙවා යන ප්‍රථම ධ්‍යානයට පැමිණ සිටියේ කාමෙසු වීතරාගො සමානො එසේ විෂ්කම්භිත කාම වශයෙන්ම වීතරාග වේ. අභිඤ්ඤායො පටිවිජ්ජති අභිඥා පහ අවබෝධ කරයි. මෙය චතුර්ථ ධ්‍යාන ප්‍රඥාව අරභයා කියන ලදි. චතුර්ථධ්‍යාන ප්‍රඥාව අභිඥාපාදක භවයෙන් පඤ්ච අභිඤ්ඤා අවබෝධ කරයි. අභිඥාභාවයට පිවිසීමද අවබෝධ කරයි. එහෙයින් එය ප්‍රතිවේධය පිණිස පවතී. [missing trans]