(5:) පඤ්චකනිද්දෙසවණ්ණනා
පස් ආකාරයකින් ඤාණවස්තු නිද්දේසයෙහි පීතඵරණතා ආදියෙහි ප්‍රීතිය පතුරුවමින් උපදිපි යන ධ්‍යාන දෙකෙහි ප්‍රඥාව පීතිඵරණතා නම් වේ. සැපය පතුරුවමින් උපදියි යන ධ්‍යාන තුනෙහි ප්‍රඥාව සුඛඵරණතා නම් වේ. අන්‍යයන්ගේ සිත පතුරුවමින් උපදියි යන චෙතොපරිය ප්‍රඥාව චෙතො ඵරණතා නම් වේ. ආලෝකය පතුරුවමින් උපදියි යන දිබ්බචක්ඛු ප්‍රඥාව ආලොක ඵරණතා නම් වේ. ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණය පච්චවෙක්ඛණා නිමිත්තං නම් වේ. එහෙයින්ම කියන ලදි. ද්වීසු ඤාණෙසු පඤ්ඤා පීති ඵරණතා යනාදිය. එහි ප්‍රීති පැතිරවී සැපය පැතිරවීම පා දෙක මෙනි. සිත පැතිරවීම ආලෝකය පැතිරවීම දෑත මෙනි. අභිඥාපාදක ධ්‍යානය මධ්‍යම කය මෙනි. ප්‍රත්‍යවේක්‍ෂා නිමිත්ත හිස මෙනි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අංගපසකින් යුත් සම්මා සමාධිය අඟපසඟින් යුත් පුරුෂයකු කොට දැක්වූහ. අයං පඤ්චංගිකො සම්මා සමාධි යයි මෙය අත් පා හිස යන අංග පසකින් යුත් සමාධිය යයි පාදක ධ්‍යානය කීහ.
අයං සමාධි පච්චුප්පන්න සුඛොචෙව යනාදියෙහි අරහත්ත ඵල සමාධිය අභිප්‍රේතය. එය වනාහි අර්පිත අර්පිත ක්‍ෂණයෙහි සැප ඇතිවේ. පච්චුප්පන්න සුඛො පෙර ඒවා පසු සමාධි සැපයට ප්‍රත්‍ය වේ. ආයතිං සුඛ විපාකො සාන්ත වූ සියුම් වූ ඵල හිත ප්‍රණීත වූ මිහිරි රූ උපදවයි. ඵල සමාපත්තියෙන් නැගිටීමෙන් සියළු ශරීරය අනුගත වූ සැප ස්පර්ශය ඵොට්ඨබ්බය නිසා සුඛ සහගත කාය විඤ්ඤාණය උපදවයි. මේ ආකාරයෙන් ආයතිං සුඛ විපාකො කෙලෙසුන්ගෙන් දුරු බැවින් අරියො. කාම ආමිස සසර ආමිස ලෝක ආමිසවලින් අභාවය නිසා නිරාමිසො. බුද්ධාදි මහා පුරුෂයින් සේවනා ලද බැවින් මහා පුරිස සෙවිතො. අංග සාන්ත බැවින්, අරමුණු සාන්ත බැවින් සියළු කෙලෙස් දැවිලි සාන්ත කළ බැවින් සන්තො. තෘප්තිමත් නොව අර්ථයෙන් පණීත කෙලෙස්වලින් සංසිඳීමක් ලත් බැවින් කෙලෙස් සංසිඳීම් ස්වභාවය හෝ ලත් බැවින් පටිප්පස්සද්ධි ලද්ධො පටිප්පස්සද්ධං පටිප්පස්සද්ධි යන මෙය අර්ථ වශයෙන් එකය. සංසිඳුණු කෙලෙසුන්ගෙන් හෝ අරහත්බව ලැබීම වූ පටිප්පස්සද්ධි ලද්ධා වේ. එකඟ බවෙන් අවබෝධ කළ එකඟබවම හෝ අවබෝධ කළ එකොදිභාවාධිගත වේ. අල්ප ගුණ ආසව සහිත සමාධි මෙන් සසංඛාරයෙන් ප්‍රයෝග සහිත සිතින් විරුද්ධ දහම් නිග්‍රහකොට කෙලෙස් වලකා අවබෝධ නොකළ නිසා න සසංඛාර නිග්ගය්හ වාරිතගතො වේ. ඒ සමාධියට සමවදින්නේ එයින් නැගී සිටින්නේ සිහිය මහත්බවට පැමිණ ඇති බැවින් සිහියෙන්ම සමවදියි. සිහියෙන්ම නැගී සිටියි. නියමකරගත් කාල වශයෙන් හෝ සිහියෙන් සමවදියි. සිහියෙන් නැගිටියි. එහෙයින් මෙහි මේ සමාධිය වර්තමාන සැපයද පසුව සැපවිපාකදැයි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට තමාටම අපර ප්‍රත්‍ය වූ ඤාණය උපදී. එය එක් අංගයකි. සෙස්සෙහි ද මෙම නයයි. මෙසේ මේ ප්‍රත්‍යවේක්‍ෂා ඤාණ පහෙන් මේ සමාධිය පඤ්ච ඤාණික සම්මා සමාධි නමැයි කියන ලදි.
පඤ්චකං
(6:) ඡක්කනිද්දෙසවණ්ණනා
සයාකාරයකින් වස්තු නිර්දේශයෙහි ඉද්ධිවිධෙ ඤාණං එකෙක් වී බොහෝ වේයයි ආදි නය පවතින ඉද්ධිවිධ ඤාණයෙහි මේ අවිතක්ක අවිචාර උපෙක්ඛා සහගත රූපාවචර බොහෝ ආකාර භවාදිය සාදන ඒක චිත්තක්‍ෂණික ආදි බේදවලින් යුත් ශබ්ද අරමුණුවල දිවඇස් ඇති ධාතුවේ ඤාණයයි. මෙයද අවිතක්ක අවිචාර උපෙක්ඛා සහගත රූපාවචර ප්‍රකෘති කනේ විෂය ඉක්මවා ගිය ශබ්ද අරමුණු ඇති ඒක චිත්තක්‍ෂණික අර්පණා ප්‍රඥාව යයි කියන ලදි. පරචිත්තෙ ඤාණං අන්‍ය සත්ත්වයන්ගේ සිත පිරිසිඳ දන්නා ඤාණයයි. මෙයද කලින් කී ආකාර අනුන්ගේ රාග සහිත සිතේ අරමුණු දන්නා ඒක චිත්තක්‍ෂණික අර්පණා ප්‍රඥාව යයි කියන ලදි. පුබ්බෙනිවාසානුස්සති ඤාණං පෙර විසීම සිහිකිරීමෙන් යුත් ඤාණයයි. මෙයද කලින් කී ආකාර පෙර විසූ ස්කන්ධ සිහිකරන සිහියෙන් යුත් ඒක චිත්තක්‍ෂණික අර්පණා ප්‍රඥාව යයි කියන ලදි. සත්තානං චුතූපපාතෙ ඤාණං සත්ත්වයින්ගේ චුතියද උත්පත්තියේද ඤාණයයි. මෙයද කලින් කී පරිදි චුතවන උපදින සත්ත්වයින්ගේ වර්ණධාතු අරමුණු ඒක චිත්තක්‍ෂණික අර්පණා ප්‍රඥාව කියන ලදි. ආසවානං ඛයෙ ඤාණං සත්‍ය පිරිසිඳ දන්නා ඤාණය. මෙය ලෝකෝත්තරය. සෙසු ඒවා ලෞකිකය.
ඡක්කය
(7:) සත්තකනිද්දෙසාදිවණ්ණනා
සත් ආකාරයකින් ඤාණවත්‍ථු නිද්දේසයෙහි ජාති පච්චයා ජරාමරණං යනාදි නයින් පැවතීම් නැවතීම් වශයෙන් එකොළොසක් වූ පටිච්ච සමුප්පාද අංගවල එක එකක කාලත්‍රයෙන් යුක්ත වූ ප්‍රත්‍යවේක්‍ෂා ඤාණය කියා නැවත ධර්ම ස්ථිති ඤාණය සංක්‍ෂේපයෙන් ක්‍ෂය ධර්මතා ආකාරයෙන් කියන ලදි. එහි ජාති පච්චයා ජරාමරණං අසති ජාතියා නත්‍ථි ජරාමරණං යයි ඤාණ දෙකක් වර්තමාන කාල වශයෙන් කියන ලදි. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං යයි මෙසේ අතීතයෙහි ඤාණ දෙකක් අනාගතයෙහි ඤාණ දෙකක්යැයි සිය ධර්ම ස්ථිති ඤාණය සමග සතකි. එහි ධම්මට්ඨිති ඤාණං යනු ප්‍රත්‍ය ආකාර ඤාණයයි. ප්‍රත්‍යාකාරව ධර්මයන්ගේ පැවතී සිටීමට කරුණුවන බැවින් ධම්මට්ඨිති යයි කියනු ලැබේ. එහි ඤාණය ධම්මට්ඨිති ඤාණයයි. මෙයම සයාකාර වූ ඤාණයට අධිවචනයකි. මෙසේ එක එක අංගයෙහි මේවා සත බැගින් අංග එකොළහේ සත් සැත්තෑවක් වේ. එහි ඛය ධම්මං යනු ක්‍ෂයවන ස්වභාවයයි. වය ධම්මං වැයවන ස්වභාවයයි. විරාග ධම්මං යනු නොඇලෙන ස්වභාවයයි. නිරොධ ධම්මං යනු නිරුද්ධවන ස්වභාවයයි. මෙයින් කුමක් කියන ලදද? පසු විදර්ශනාවෙන් පෙර විදර්ශනා සිහිකිරීම කියන ලදි. එයින් කුමක් කියන ලදද? සත්වරක් විපස්සනා පටිවිපස්සන කියන ලදි. පළමුවන ඤාණයෙන් සියළු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යයි දැක ඒ ඤාණය දෙවැනි නුවණින් දැකීමට වටී. දෙක තුන්වැනි ඤාණයේ තුන සතරවැනි ඤාණයෙන් සතර පස්වැනි ඤාණයෙන් පහ සවැනි ඤාණයෙන් සය සත්වැනි ඤාණයෙන් මෙසේ සත් විපස්සනා පටිවිපස්සනා කියන ලද්දේ වේ.