අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධර්ම භාජනියෙහි යට චිත්තුප්පාද කාණ්ඩයෙහි ආවා වූ නයින්ම පෙල තබන ලදි. එහෙයින් එහි සියළුම කුසලවිපාක කිරිය වශයෙන් දක්නා ලද ධ්‍යානවල එහි කියන ලද නයින්ම අර්ථය දතයුතුය. සුද්ධි නවක ආදි භේද සියල්ලද එය කියන ලද්දට සමාන වේමය.
අභිධම්ම භාජනියයි.
ප්‍රශ්න විචාරක වර්ණනාව
ප්‍රශ්න විචාරකයෙහි පෙල අනුසාරයෙන්ම ධ්‍යානවල කුසලාදිභාවය දතයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි වනාහි ධ්‍යාන තුනේ නිමිති අරමුණු වන බැවින් පරිත්ත අරමුණු භාවයෙන් නොකිය යුතු බව දතයුතුය. මෙහි ලෝකෝත්තරය වනාහි මාර්ග කාලයෙහි ඵල කාලයෙහි හෝ අප්‍රමාණ අරමුණු වන්නේය. චතුත්‍ථජ්ඣානං සියා පරිත්තාරම්මණං මෙහි කුසල වශයෙන් දහතුන සතරවන ධ්‍යාන සැමතැන පාදක චතුර්ථ වේ. ඉද්ධිවිධ චතුර්ථය දිබ්බසෝත චතුර්ථය, චෙතොපරිය ඤාණ චතුර්ථය පුබ්බෙනිවාස ඤාණ චතුර්ථය දිබ්බචක්ඛු ඤාණ චතුර්ථය යථා කම්මූපග ඤාණ චතුර්ථය අනාගත සඤ්ඤා චතුර්ථය, ආකාසානඤ්චායතන චතුර්ථය, ලෝකුත්තර චතුර්ථයයි
එහි සියළුතැන පාදක චතුර්ථ වේ. නොකිය යුතු අරමුණුම වේ.
ඉද්ධිවිධ චතුර්ථය කාය මේරීමෙන් නොපෙනෙන කාය ප්‍රාතිහාර්යයෙන් කය අරමුණුවන බැවින් පරිත්තාරම්මණය කය වශයෙන් සිත මේරුවහුගේ පෙනෙන කයින් ප්‍රාතිහාර්ය නොව බඹලොවට යන්නහුගේ සමාපත්ති සිත අරමුණ බැවින් මහග්ගත අරමුණ වේ.
දිව කන් නුවණ චතුර්ථය, ශබ්දාරමුණු බැවින් කුඩා අරමුණය.
චේතොපරිය නුවණ චතුර්ථය කාමාවචර සිත් දැනීම ඇතිවිට සුළු අරමුණය. ලෝකෝත්තර සිත් දැනීම ඇතිවිට අප්පමාණ අරමුණුය. රූපාවචර අරූපාවචර සිත් දැනෙනවිට මහග්ගත අරමුණය. චේතෝපරිය නුවණ ලැබූ පෘථග්ජනයා පෘථග්ජන සිතින්ම දනී. ආර්ය සිතින් නොවේ. සෝවාන් පුද්ගලයා ද පෘථග්ජනයාගේද සකෘදාගාමි පුද්ගලයාගේද යට දෙදෙනාගේ, අනාගාමි පුද්ගලයාගේද යට තිදෙනාගේ. ඛීණාසව පුද්ගලයා සියල්ල දනී.
පුබ්බේනිවාසානුස්සති චතුර්ථය කාමාවචර ස්කන්ධ සිහිකරන විට සුළු අරමුණකි. රූපාරූපාවචර ස්කන්ධ සිහිකරන විට මහග්ගත අරමුණකි. අතීත බුදු පසේ බුදු රහත්හු මගවැඩූහ. ඵල සාක්‍ෂාත් කළහැකි සිහිකරනවිට අප්පමාණ අරමුණකි. නම්ගොත් සිහිකරනවිට අරමුණ නොකිව යුතුය.
දිව ඇස් නුවණ චතුර්ථය වර්ණය අරමුණු කරන බැවින් සුළු අරමුණකි.
යථාකම්මූපග ඤාණ චතුර්ථය කාමාවචර කර්ම සිහිකරනවිට සුළු අරමුණකි. රූපරූපාවචර කර්ම සිහිකරනවිට මහග්ගත අරමුණකි.
අනාගතංස ඤාණ චතුර්ථය අනාගතයෙහි කාමධාතුවේ ඉපදීම දන්නා විට සුළු අරමුණකි. රූපාරූප භවවල ඉපදීම දන්නාවිට මහග්ගත අරමුණකි. අනාගතයෙහි බුදු පසේබුදු රහත්හු මාර්ගය වඩන්නෝය. ඵලය සාක්‍ෂාත් කරන්නෝය යයි දන්නාවිට අප්පමාණ අරමුණය. අනාගතයෙහි සංඛ නම් රජෙක් වන්නේයයි නම්ගොත් සිහිකරනවිට නොකිවහැකි අරමුණකි.