නිද්දෙසවණ්ණනා
දැන් තබන ලද මාතෘකා පිළිවෙලින් බෙදා දැක්වීමට ඉධ යන ඉමිස්සා දිට්ඨියා ආදිය අරඹන ලදි. එහි ඉමිස්සා දිට්ඨියා යනාදි පද දහයකින් ශික්ෂාත්රය සංඛ්යාත සර්වඥ බුද්ධශාසනයම කියන ලදි. එහි භගවත් වූ බුදුන්වහන්සේ විසින් දක්නා ලද හෙයින් දිට්ඨි යයි කියනු ලැබේ. ඔහුගේම ඉවසීම් වශයෙන් ඛන්ති වේ. රුචිවීම් වශයෙන් රුචි වේ. ගැනීම් වශයෙන් ආදායො වේ. ස්වභාවය යන අර්ථයෙන් ධම්මො වේ. හික්මිය යුතු අර්ථයෙන් විනයො. ඒ දෙකෙන්ම ධම්මවිනයො. ප්රකාශ කිරීම් වශයෙන් පාවචනං. ශ්රේෂ්ඨ හැසිරීම් අර්ථයෙන් බ්රහ්මචරියං අනුශාසනා දීම් වශයෙන් සත්ථු සාසනං යයි කියනු ලැබේ. එහෙයින් ඉමිස්සා දිට්ඨියා යන ආදියෙහි මේ බුද්ධ දෘෂ්ටිය, මේ බුද්ධ ඉවසීම, මේ බුද්ධරූපය, මෙහි බුද්ධ ගැනීමෙහි. මෙහි බුද්ධ ධර්මයෙහි, මේ බුද්ධ විනයෙහි,
“ගෝතමී ඔබ ධර්මය දන්නෙහිද? මේ ධර්ම රාග සහිතවීම පිණිස පවතී. විරාගය පිණිස නොවේ. සංයෝගය පිණිස පවතී. විසංයෝගය පිණිස නොවේ. රැස්කිරීම පිණිස පවතී. රැස් නොකිරීම පිණිස නොවේ. අත්හැරීම පිණිස නොව අල්ලාගැනීම පිණිස පවතී. ආශාව පිණිස පවතී. අපිස්බව පිණිස නොවේ. අසන්තෝෂය පිණිස පවතී. සන්තෝෂය පිණිස නොවේ. අවිවේකය පිණිස පවතී. විවේකය පිණිස නොවේ. කුසීතකම පිණිස පවතී. විරිය පිණිස නොවේ. දුෂ්පෝෂණය පිණිස පවතී. සුපෝෂණය පිණිස නොවේ. ගෝතමිය එක් අංශයකින් දරන්නෙහි, මෙය ධර්මය නොවේ. මෙය විනය නොවේ. මෙය ශාස්තෲ අනුශාසනය නොවේ. ගෝතමිය, ඔබ ධර්මය දන්නෙහි නම් මේ ධර්මය විරාගය පිණිස පවතී, සරාගය පිණිස නොවේ. මේ ධර්ම සුභරතාව පිණිස පවතී, දුභරතාව පිණිස නොවේ. ගෝතමිය, ඒකාන්තයෙන් මෙය ධර්මය වේ. මෙය විනය වේ. මෙය ශාස්තෲන් අනුශාසනය වේයයි දරන්න.
මෙසේ කියන ලද කල්හි මෙම බුද්ධ ධර්ම විනයෙහි මෙම බුද්ධ ප්රවචනයෙහි මෙම බුද්ධ බ්රහ්ම චරියාවෙහි මෙම ශාස්තෲ අනුශාසනයෙහි මෙසේ අර්ථ දතයුතුය.
තවද මේ ශික්ෂා ත්රය සංඛ්යාත සියළු ශාසනය භාග්යවතුන් වහන්සේ විසින් දක්නා ලද හෙයින් දැකීම සම්මා දිට්ඨියට හේතුවන ලද්දේය. සම්මා දිට්ඨිය පෙරටුවන ලද්දේය. භාග්යවතුන් වහන්සේට ඉවසීම ඛන්ති, කැමතිවීම් වශයෙන් රුචි ගැනීම් වශයෙන් ආදාය වේ. තමාගේ කරන්නා අපායෙහි නොහෙලමින් ධරානුයි ධම්මො වේ. එයම කිලිටි දුරුකරන නිසා විනය වේ. ධර්මය ද විනයද ධර්මවිනය වේ. කුසල ධර්මයෙන් හෝ අකුසල ධර්මයන්ගේ මේ විනොදනය යයි ධම්මවිනය වේ. එහෙයින්ම කියන ලදි. “ගෝතමී ඔබ ධර්මය දන්නෙහි මේ ධර්ම විරාගය පිණිස පවතී, සරාගය පිණිස නොවේ. ගෝතමිය, මේ ධර්මයයි මේ විනය යයි මෙය ශාස්තෲ අනුශාසන යයි ඒකාන්තයෙන් දරන්නෙහි”
ධර්මයෙන් හික්මීම වේ. දඬු ආදියෙන් ධර්ම විනය නොවේ.
කෙනෙක් කස මුගුරෙන් - දමනය කෙරෙත් අකුසෙන්
දඬු සැත් නැතිව මුනි - දමනය කරති සැඬැතැන්
දඬු සැත් නැතිව මුනි - දමනය කරති සැඬැතැන්
එසේම
ධර්මයෙන් මෙහෙයවනු ලබන්නන්ගේ කුමන ඊර්ෂ්යාවදැයි දනියිද
ධර්මයෙන් කරනු ලබන හික්මීම ධර්මවිනයයි. මේ විනය අනවද්ය ධර්මාර්ථය පිණිසයි. භවභෝග ආමිසය සඳහා නොවේ. එයින් කීහ. භගවත්හු “මහණෙනි, මේ බ්රහ්ම චර්යාව ජන කුහකකම සඳහා නොවේ.” පුරාණ තෙරහුද විස්තර කීහ. “ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ බඹසර වසනු ලැබුවේ අනුපාදාය පරිනිර්වාණය සඳහා” වේ. විශිෂ්ඨයේ මෙහෙයවීම විනයයි. ධර්මයෙන්-මෙහෙයවීම ධර්ම විනයයි. සංසාර සදහම් ධර්මයෙන් හා සෝකාදි ධර්මයෙන් මෙය විශිෂ්ට නිවනට පමුණුවයි. ධර්මයේ වූ විනය ආගමක් නොසාදයි යන්න ධම්ම විනයයි. ධර්මභූත වූ භාග්යවතුන් වහන්සේ උන්වහන්සේගේම විනයයි. ධර්මයෙන්ම දතයුතුය. විශේෂයෙන් දැනගත යුතුය. ප්රහාණය කළයුතුය. වැඩිය යුතුය. සාක්ෂාත් කළයුතුය. එහෙයින් මේ ධර්මයෙහි සත්ත්වයන් නැත. ජීවීන් නැතැයි ධම්මවිනය වේ. අර්ථ සහිත ව්යඤ්ජන සහිත අන්ය වචනවලින් ප්රධාන වචනය යයි පවචනං ද පවචම පාවචන වේ. සියලු චර්යාවලින් විශිෂ්ට චර්යාව බැවින් බ්රහ්මචරිය වේ. දෙව්මිනිසුන්ට ශාස්තෲ වූ භාග්යවතුන් වහන්සේගේ ශාස්නය සත්ථු ශාසනය වේ. ශාස්තෲන් ප්රධාන වූ ශාසනයද සත්ථුශාසන වේ. “එයම මගේ ඇවෑමෙන් ශාස්තෲන්” යයි ධර්ම විනයද ශාස්තෲ යයි කියන ලදි. මෙසේ මේ පදවල අර්ථය දතයුතුය.
යම්හෙයකින් මේ ශාසනයෙහිම සියළු ආකාර ධ්යාන උපදවන භික්ෂූන් පෙනේ. අන්තැන්වල එසේ නැත. එහෙයින් එය මෙහිම යයි නියම කරන ලදැයි දතයුතුය. මේ මෙහි මාතෘකා පද විස්තරයෙහි අර්ථ වේ.
භික්ෂු නිර්දේශයෙහි සමඤ්ඤාය යනු ප්රඥප්තියෙන්-ව්යවහාරයෙන් යයි අර්ථ වේ. ව්යවහාරයෙන්ම සමහරු භික්ෂූන් යයි හඳුන්වති. එසේම ආරාධනාදියෙන් ගණනය කරනුයේ සාමණේරයන්ද ගෙන භික්ෂු සියයක් භික්ෂු දහසක් යයි කියති. පටිඤ්ඤාය යනු තමාගේ දැනීමෙන්, දැනීමෙන්ද සමහරු භික්ෂූන් යයි හඳුන්වති. ඔහුට “මෙහි කවරෙක්දැයි” ඇසූවිට “ඇවැත්නි, මම භික්ෂු” යයි සම්භවය දතයුතුය. මෙය වනාහි ආනන්ද ස්ථවිරයන් කියන ලද නිසා ධාර්මික දැනීමකි. රාත්රී භාගයෙක දුස්සීලයෝද මාර්ගයට එන්නේ “මෙහි කවරෙක්දැ”යි කී කල්හි අධාර්මික වූ දැනීමෙන් අභූතය පිණිස “අපි භික්ෂු” යයි කියති.