අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධර්ම භජනියෙහි සත්ත බොජ්ඣංග එකට ප්‍රශ්නකොට විසඳීමද වෙන වෙනම ප්‍රශ්නකොට විසඳීමද වශයෙන් නය දෙකකි. ඒවායෙහි අර්ථ වර්ණනාව යට කියන ලද නයින්ම දතයුතුය.
උපෙක්ඛා සම්බොජ්ඣංග නිර්දේශයෙහි වනාහි මධ්‍යස්ථ වීම් වශයෙන් උපෙක්ඛා වේ. උපේක්‍ෂණා ආකරය උපෙක්ඛනා වේ. උපේක්‍ෂා විය යුත්තෙහි පවතින ධර්ම කැමති වේ චෝදනා නොකෙරේ යනු උපේක්ඛා වේ. පුද්ගලයා උපේක්‍ෂා කරවයි යනු උපෙක්ඛනා වේ. බොජ්ඣංග වැඩීමට පැමිණීමෙන් ලෞකික උපේක්‍ෂාවට වැඩි උපෙක්ඛනාව අජ්ඣුපෙක්ඛනා වේ. ව්‍යාපාරයකට නොපැමිණීමෙන් වන මධ්‍යස්ථභාවය මජ්ඣත්තතා වේ. එය වනාහි සිතේ ගමන්කිරීමක් නැතැයි දැක්වීමට මජ්ඣත්තතා මිත්තස්ස යයි කියති. මේ අනුපූර්ව පද වර්ණනාවයි.
මෙහි නය ගිණිය යුතුය. බොජ්ඣංග සත එකට ප්‍රශ්නකොට විසඳීමෙහි එක එක මාර්ගයෙහි නය දහස බැගින් නය හාරදහසක් බෙදන ලදි. වෙන වෙනම විචාරා විසඳීමෙහි එක එක බොජ්ඣංග වශයෙන් සතර බැගින් හත්වරක් සතරෙහි විසිඅටක් වේ. ඒවා පෙර සතර සමග තිස් දෙකක් යයි සියළු අභිධර්ම භාජනියෙහි නය තිස් දෙදහසක් කුසලම බෙදන ලදි. යම්හෙයකින් ඵල ක්‍ෂණයෙහිද බොජ්ඣංග ලැබේ. සාමඤ්ඤ (මහණ) ඵල කුසලහේතුකද වේ. එහෙයින් ඒවායෙහිද බොජ්ඣංග දැක්වීමට කුසල නිර්දේශය පෙරටුවම පෙලෙහි විපාක නය අරඹන ලදි. එයද එකට විචාරා විසඳීමද වෙනම විචාරා විසඳීමද වශයෙන් දෙයාකාර වේ. මෙහි සෙස්ස කියන ලද නයින් දතයුතුය. විපාකයෙහි කුසල වශයෙන් නය තුන්ගුණයක් කළයුතුය.
අභිධම්ම භාජනියයි.
ප්‍රශ්න විචාරක වර්ණනාව
ප්‍රශ්න විචාරීමෙහි පෙල ඇසුරෙන්ම බොජ්ඣංගවල කුසලාදි භාවය දතයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි මේ සියල්ලද අප්‍රමාණ වූ නිවන අරබයා පවතින අප්‍රමාණ අරමුණමය. මාර්ග අරමුණ නොවේ. සහජාත හේතු වශයෙන් මෙහි කුසල මග්ග හේතු වේ. විරිය හෝ වීමංසය හෝ දෙටුකොට මාර්ග භාවනා කාලයෙහි මාර්ග අධිපති වේ. ඡන්‍ද චිත්ත දෙටු වූ විට මාර්ග භාවනාවෙන් නොකිව යුතුය. මග්ගාධිපතියයි ඵල කාලයෙහි ද නොකිව යුතුමය.
අතීතාදියෙහි එක් අරමුණ කැපද නොකිව යුතුය. නිවන වනාහි බාහිර ධර්මතා බැවින් බාහිර අරමුණක් වේ. මෙසේ ප්‍රශ්න විචාරයෙහිද ඉපදුණු ලෝකෝත්තරයට බොජ්ඣංග යයි කියන ලදි. සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් සුත්තනිපාත භාජනියෙහිම පළමුවන නයෙහි ලෞකිකයද දෙවන තුන්වන නයවල ලෞකික ලෝකෝත්තර මිශ්‍රවද බොජ්ඣංග කියන ලදි. අභිධර්ම භාජනියෙහි නය සතරෙහි ද මේ ප්‍රශ්න විචාරයෙහිද ලෝකෝත්තරයයි කියන ලදි. මෙසේ මේ බොජ්ඣංගයෙහිද තිපරිවෘත්තය ගෙනහැර දක්වාම බෙදා දක්වන ලදි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ දසවන බොජ්ඣංග විභංග නිර්දේශයයි.
11. මග්ග විභංගය
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
දැන් ඊට අනතුරුව මාර්ග විභංගයෙහි අරියො අට්ඨංගිකො මග්ගො යනාදි සියල්ල සච්ච විභංගයෙහි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නිද්දේසයෙහි කියන ලද නයින්ම දතයුතුය. භාවනා වශයෙන් වෙනම දක්වන ලද දෙවන නයෙහිද සම්මා දිට්ඨිං භාවෙති විවේක නිස්සිතං ආදි සියල්ල බොජ්ඣංග විභංගයෙහි කියනලද නයින්ම දතයුතුය. මෙසේ මෙය නය දෙකේම වශයෙන් සුත්තනත්ත භාජනියෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියන ලදි.
අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධම්ම භාජනියෙහි අරියො යයි නොකියා අට්ඨංගිකො මග්ගො යයි කියන ලදි. එසේ නොකියන ලද වුවද මෙය ආර්යම වේ. යම්සේ අභිෂේක කළ රජතුමාගේ අභිෂේක කළ දේවියගේ කුසින් බිහිවූ පුතා රජ පුතා යයි නොකියන ලද නමුත් රජපුතාම වේ. එසේ මෙයද නොකියන ලද නමුත් ආර්යම වේයයි දතයුතුය. මෙහි සෙස්ස සච්ච විභංගයෙහි කියනලද නයින්ම දතයුතුය.
පංචංගික වාරයෙහිද අට්ඨංගිකා යයි නොකියන ලද නමුත් අට්ඨංගික යයි දතයුතු. ලෝකෝත්තර මාර්ගයෙහි පංචංගික නම් නැත. මෙහි මේ ආචාර්යවරයන්ගේ විතණ්ඩවාදී සමාන අර්ථකථාවය. විතණ්ඩවාදීහු කීහ. “ලෝකෝත්තර මාර්ගයෙහි අට්ඨංගිකයෙක් නම් නැත. පංචංගිකයක්ම ඇත.” සූත්‍රය ගෙනහැර දක්වයි කියන ලද්දේ අනිකක් නොදත්තේ මහා සළායතනයෙන් සූත්‍ර ප්‍රදේශයක් ගෙනහැර දක්වන්නේය. යම් එබඳු වූ දෘෂ්ටියක්? මොහුට සම්මා දිට්ඨිය වේ. යමක් එබඳු වූ සංකප්ප වායාම සති යමෙක් එබඳු වූ සමාධිය? මොහුට සමාධිය ඇත. මොහුට මුලින් කාය කර්ම වචී කර්ම මගින් ආජීවය පිරිසිදු වේ.