10. බොජ්ඣංග විභංග නිද්දේසය
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
ඉන් අනතුරුව දැන් බොජ්ඣංග විභංගයෙහි සත්ත යනු ගණන වෙන් කිරීමය. බොජ්ඣංගා යනු බෝධියේ අංගය. මෙය කියන ලද්දේ වේ. මේ ධර්ම එකතුවීමෙන් ලෝකෝත්තර මාර්ග ක්‍ෂණයෙහි උපදින, සැඟවුණු උද්ධච්ච පිහිටීම රැස්කරන කම්සැප අත්තකිලමථානුයෝග උච්ඡේද සාස්වත අභිනිවේසාදි නොයෙක් උවදුරුවලට ප්‍රතිපක්‍ෂ වූ සිහිය ධර්මය විමසීම පිණිස පස්සද්ධිය සමාධිය උපේක්ඛා සංඛ්‍යාත වූ ධර්ම එකතුවීමෙන් ආර්ය ශ්‍රාවකයා අවබෝධ කිරීම බෝධියයි කියනු ලැබේ. සිතේ නිදාසිටි කෙලෙස් නැගිටීම අවබෝධ කරයි. සතර ආර්ය සත්‍යයන් අවබෝධ කරයි. නිවන හෝ සාක්‍ෂාත් කරයි යනු බෝධි වේ. ඒ ධර්ම සාමග්‍රි සංඛ්‍යාත බෝධියේ අංගද බොජ්ඣංග වේ. ඣානංග මග්ගංග ආදිය මෙනි. යමෙක් කියන ලද ආකාරයෙන් මේ ධර්ම සාමග්‍රියෙන් ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරයි යන අර්ථයෙන් බෝධිය යයි කියනු ලැබේ. ඒ බෝධියේ අංගද බොජ්ඣංග වේ. සෙනංග රථංග ආදිය මෙනි. එයින් කීහ, අටුවා ඇදුරෝ - අවබෝධ කරන පුද්ගලයාගේ අංග හෝ බොජ්ඣංග වේ” යයිද
තවද කුමන අර්ථයකින් බොජ්ඣංග වේද? අවබෝධය පිණිස පවතීනුයි බොජ්ඣංග වේ. අවබෝධ කෙරේනුයි බොජ්ඣංග අනුව අවබෝධ කෙරේනුයි බොජ්ඣංගා. සම්පූර්ණයෙන් අවබෝධ කෙරේනුයි බොජ්ඣංගා” යයි මේ පටිසම්භිදා- නයින්ද බොජ්ඣංග අර්ථය දතයුතුයි.
සති සම්බොජ්ඣංග ආදියෙහි ප්‍රශස්ත වූ සුන්දර වූ බොජ්ඣංගය සම්බොජ්ඣංග වේ. සිහියම සතිසම්බොජ්ඣංග වේ. එහි වැටහීම ලක්‍ෂණ කොට ඇත්තේ සතිසම්බොජ්ඣංග වේ. විශේෂයෙන් පරීක්‍ෂා කිරීම ලක්‍ෂණකොට ඇත්තේ ධම්මවිචය සම්බොජ්ඣංග වේ. උදව්දීම ලක්‍ෂණකොට ඇත්තේ විරිය සම්බොජ්ඣංග වේ. පැතිරීම ලක්‍ෂණකොට ඇත්තේ පීතිසම්බොජ්ඣංග වේ. සංසිඳීම ලක්‍ෂණකොට ඇත්තේ පස්සද්ධි සම්බොජ්ඣංග වේ. එකඟබව ලක්‍ෂණ කොට ඇත්තේ උපේක්ඛා සම්බොජ්ඣංග වේ. ඒවා අතරෙන් “මහණෙනි, සිහිය වනාහි සියළු අර්ථය යයි මම කියමි” යන වචනයෙන් සියළු බොජ්ඣංගයන්ට උපකාර වන බැවින් සතිසම්බොජ්ඣංගය පළමුව දේශනා කරන ලදි. ඉන්පසුව එසේ සිහියෙන් වාසය කරන්නේ ප්‍රඥාවෙන් විශේෂයෙන් විමසයි යනාදි නයින් මෙසේ අනුක්‍රමයෙන් බහා තැබීමේ ප්‍රයෝජන පෙලෙහි ආවේමය.
කුමක් හෙයින් අඩුවැඩි නැතිව සතක්ම කියන ලද්දේද? සැඟවුණු උද්ධච්චයට ප්‍රතිපක්‍ෂ බැවින් හැමතැනටම ප්‍රයෝජනවත් බැවින්ද මෙහි බොජ්ඣංග තුනක් අප්‍රකටයව ප්‍රතිපක්‍ෂ වේ. යම්සේ කීහ. “මහණෙනි, යම් අවස්ථාවක සිත මැලිවූයේද සැඟවුනේ වේද ඒ අවස්ථාවේ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලයයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලයයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලයයි. උද්ධච්චයට තුනක් ප්‍රතිපක්‍ෂ වේ කීහ. මහණෙනි, යම්කලක සිත විසිරී ඇතිද ඒ කාලයෙහි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සුදුසුය. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට, උපේක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලයයි. එකක් වනාහි සියළු ව්‍යඤ්ජනවල ලුනු ධූපයක් මෙන් (ලොණ ධූප) සියළු රාජ කෘත්‍යවල සියළු කටයුතු කරන ඇමතිවරයකු මෙන් සියළු බොජ්ඣංගවල කැමතිවිය යුතු හෙයින් සබ්බත්‍ථික ස්ථාන:- “මහණෙනි, සිහිය වනාහි සියල්ලටම කැමති වේ.” පෙලෙහි සබ්බත්‍ථක යනුවෙන්ද ඇත. දෙදෙනාම (සබ්බත්‍ථ) කැමති වෙති යන අර්ථය වේ. සබ්බත්‍ථික වශයෙන්ද සතක්ම කියන ලදැයි දතයුතුය.
දැන් මේවායේ එකම අරමුණේ තම තමාගේ කෘත්‍යය වශයෙන් නා නා කටයුතු දැක්වීමට තත්‍ථ කතමො සති සම්බොජ්ඣංගො යනාදිය ආරම්භ කළහ. එහි ඉධ භික්ඛූ යනු මේ සාසනයෙහි භික්‍ෂුවය. සතිමා හොති පුග්ගල පඤ්ඤාවද යසසෙන් යසවාද ධනයෙන් ධනවාද මෙන් සිහියෙන් සතිමා වේ. සිහියෙන් යුක්තය යන අර්ථයයි. පරමෙන - උතුම් හෙයින්, එහි පරමාර්ථ සත්‍ය වූ නිවන ද මාර්ගයද අනුලෝම වශයෙන් පරම නම් වේ. සතිනෙපක්කෙන මෙහි නෙපක්ක යනු ප්‍රඥාවය. උත්තම ශ්‍රේෂ්ඨ යන අර්ථයෙන්. සිහියද නුවණද යන අර්ථයයි.
මෙම සිහිය බෙදා දක්වන අවස්ථාවෙහි පඤ්ඤා එකතු කෙළේ කුමක් හෙයින්ද? සිහියේ බලවත් බව දැක්වීම සඳහාය. සිහිය ප්‍රඥාව සමගද නැතිවද උපදී. ප්‍රඥාව සමග උපදිනවිට බලවත් වේ. නැතිව උපදිනවිට දුබලය. එහෙයින් බලවත් බව දැක්වීම සඳහා පඤ්ඤා සංග්‍රහ කරන ලදි. දිසා දෙකක රාජමහාමාත්‍යවරු සිටිනාහ. ඔවුනතුරෙන් එක්කෙනෙක් රාජපුත්‍රයා ගෙන සිටියි. තමාගේ තේජසින්ද රාජපුත්‍රයාගේ තේජසින්ද තේජවන්ත වේ. තමාගේ ස්වභාවයෙන් සිටියේ නම් එපමණ තේජසක් ඇති නොවේ. මෙසේ රාජපුත්‍රයා ගෙන සිටි මහාමාත්‍යයා මෙන් පඤ්ඤාව සමග උපන් සිහිය, තමාගේ ස්වභාවයෙන් සිටියා මෙනි. ප්‍රඥාව නැතිව උපන් සිහිය, එහි රාජපුත්‍රයා ගෙන සිටි තම තේජසින් හා රාජපුත්‍රයාත් තේජසින් තේජස් වන්නේද? යම්සේ පඤ්ඤාව සමග උපන් සිහිය බලවත් වෙයි. තමාගේ ස්වභාවයෙන් සිටියේ ඒ හා ස්වභාවයෙන් නොවේද? මෙසේ පඤ්ඤාව නැතිව උපන් සිහිය දුබල වේ. බලවත් බව දැක්වීමට පඤ්ඤාව ගන්නා ලදි.
චිරකතම්පි තමාගේ හෝ අනුන්ගේ හෝ කයින් වතාවත් හෝ කසිණ හෝ පරිකර්ම හෝ බොහෝ කලක් කරන ලද. චිරභාසිතං තමාගේ හෝ අනුන්ගේ හෝ වචනයෙන් වතාවත්වල සිට ධර්ම කථාවක් හෝ කමටහන් විනිසක් හෝ බොහෝ කලක් කියන ලදි. සරිතා හොති එය කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්තියද උපදවා පවත්වන අරූප ධර්ම කොටසක් මෙසේ ඉපදී මෙසේ නිරුද්ධ වීයයි සිහි කිරීම වේ. අනුස්සරිතා නැවත නැවත සිහිකිරීම. අයං වුච්චති සතිසම්බොජ්ඣංගා හොති මෙය මෙසේ උපන්නා වූ සෙසු බොජ්ඣංග උපදවන විදර්ශනා සම්ප්‍රයුක්ත සිහිය සතිසම්බොජ්ඣංග යයි කියනු ලැබේ.