ප්‍රශ්න විචාරක වර්ණනාව
ප්‍රශ්න විචාරීමෙහි පෙල ඇසුරෙන්ම බොජ්ඣංගවල කුසලාදි භාවය දතයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි මේ සියල්ලද අප්‍රමාණ වූ නිවන අරබයා පවතින අප්‍රමාණ අරමුණමය. මාර්ග අරමුණ නොවේ. සහජාත හේතු වශයෙන් මෙහි කුසල මග්ග හේතු වේ. විරිය හෝ වීමංසය හෝ දෙටුකොට මාර්ග භාවනා කාලයෙහි මාර්ග අධිපති වේ. ඡන්‍ද චිත්ත දෙටු වූ විට මාර්ග භාවනාවෙන් නොකිව යුතුය. මග්ගාධිපතියයි ඵල කාලයෙහි ද නොකිව යුතුමය.
අතීතාදියෙහි එක් අරමුණ කැපද නොකිව යුතුය. නිවන වනාහි බාහිර ධර්මතා බැවින් බාහිර අරමුණක් වේ. මෙසේ ප්‍රශ්න විචාරයෙහිද ඉපදුණු ලෝකෝත්තරයට බොජ්ඣංග යයි කියන ලදි. සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් සුත්තනිපාත භාජනියෙහිම පළමුවන නයෙහි ලෞකිකයද දෙවන තුන්වන නයවල ලෞකික ලෝකෝත්තර මිශ්‍රවද බොජ්ඣංග කියන ලදි. අභිධර්ම භාජනියෙහි නය සතරෙහි ද මේ ප්‍රශ්න විචාරයෙහිද ලෝකෝත්තරයයි කියන ලදි. මෙසේ මේ බොජ්ඣංගයෙහිද තිපරිවෘත්තය ගෙනහැර දක්වාම බෙදා දක්වන ලදි.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ දසවන බොජ්ඣංග විභංග නිර්දේශයයි.
11. මග්ග විභංගය
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
දැන් ඊට අනතුරුව මාර්ග විභංගයෙහි අරියො අට්ඨංගිකො මග්ගො යනාදි සියල්ල සච්ච විභංගයෙහි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නිද්දේසයෙහි කියන ලද නයින්ම දතයුතුය. භාවනා වශයෙන් වෙනම දක්වන ලද දෙවන නයෙහිද සම්මා දිට්ඨිං භාවෙති විවේක නිස්සිතං ආදි සියල්ල බොජ්ඣංග විභංගයෙහි කියනලද නයින්ම දතයුතුය. මෙසේ මෙය නය දෙකේම වශයෙන් සුත්තනත්ත භාජනියෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියන ලදි.
අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධම්ම භාජනියෙහි අරියො යයි නොකියා අට්ඨංගිකො මග්ගො යයි කියන ලදි. එසේ නොකියන ලද වුවද මෙය ආර්යම වේ. යම්සේ අභිෂේක කළ රජතුමාගේ අභිෂේක කළ දේවියගේ කුසින් බිහිවූ පුතා රජ පුතා යයි නොකියන ලද නමුත් රජපුතාම වේ. එසේ මෙයද නොකියන ලද නමුත් ආර්යම වේයයි දතයුතුය. මෙහි සෙස්ස සච්ච විභංගයෙහි කියනලද නයින්ම දතයුතුය.
පංචංගික වාරයෙහිද අට්ඨංගිකා යයි නොකියන ලද නමුත් අට්ඨංගික යයි දතයුතු. ලෝකෝත්තර මාර්ගයෙහි පංචංගික නම් නැත. මෙහි මේ ආචාර්යවරයන්ගේ විතණ්ඩවාදී සමාන අර්ථකථාවය. විතණ්ඩවාදීහු කීහ. “ලෝකෝත්තර මාර්ගයෙහි අට්ඨංගිකයෙක් නම් නැත. පංචංගිකයක්ම ඇත.” සූත්‍රය ගෙනහැර දක්වයි කියන ලද්දේ අනිකක් නොදත්තේ මහා සළායතනයෙන් සූත්‍ර ප්‍රදේශයක් ගෙනහැර දක්වන්නේය. යම් එබඳු වූ දෘෂ්ටියක්? මොහුට සම්මා දිට්ඨිය වේ. යමක් එබඳු වූ සංකප්ප වායාම සති යමෙක් එබඳු වූ සමාධිය? මොහුට සමාධිය ඇත. මොහුට මුලින් කාය කර්ම වචී කර්ම මගින් ආජීවය පිරිසිදු වේ.
ඉන්පසුව සූත්‍රපදය ගෙන එවයි කිවයුතුය. ඉදින් ගෙන එන්නේ නම් එය යහපති. නොගෙනෙන්නේ නම් තමන් ගෙනහැර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනාවෙන් සම්පූර්ණ වන බවද මෙයින් ඔබ ශාස්තෘ ශාසනයෙන් වාද්‍ය බිඳුනේය. ලෝකෝත්තර මාර්ගයෙහි පංචංගිකයන් නම් නැත. අෂ්ටාංගිකයන් වේ යයි කිවයුතුය.
මේ අංග තුන මුලින් පිරිසිදුව පවතී. ලෝකෝත්තර මාර්ග ක්‍ෂණයෙහි ඉතාමත් පිරිසිදු වේ. පංචංගික මාර්ගය යයි මෙය කුමන අර්ථයක් සඳහා ගන්නා ලද්දේද? අතිරේක කෘත්‍ය දැක්වීම සඳහාය. යම් සමයක වැරදි වචන දුරුකරයි. හරි වචන කථාකරයි. එසමයෙහි සම්මා කම්මන්ත සම්මා ආජීව නැත. මේ පස්ආකාර අංගයෙන්ම වැරදි වචන දුරුකරයි. සම්මා වාචා තමාම විරති වශයෙන් සම්පූර්ණ කරයි. යම් සමයක වැරදි කර්මාන්ත දුරුකරයි. එසමයෙහි නිවැරදි කර්මාන්ත කරයි. එසමයෙහි සම්මා වාචා සම්මා ආජීව නැත. මේ පංච ආකාර අංගයෙන්ම වැරදි කම්මන්ත දුරුකරයි. සම්මා කම්මන්ත තමා විරති වශයෙන් පුරයි. යම් සමයක වැරදි ආජීවය දුරුකරයි. නිවැරදි ආජීවය පුරයි. එසමයෙහි සම්මා වාචා සම්මා කම්මන්ත නැත. මේ පස්ආකාර අංගයෙන්ම වැරදි ආජීවය දුරුකරයි. සම්මා ආජීවය තමා විරති වශයෙන් පුරවයි. මේ පංචාකාර අංග අතිරේක කෘත්‍ය වශයෙන් දැක්වීමට පඤ්චංගිකො මග්ගො යයි ගන්නා ලදි. ලෝකෝත්තර මාර්ගය වනාහි අට්ඨංගිකව වේ. පංචංගිකයත් නම් නැත.
ඉතින් නිවැරදි වචන ආදිය සමග අට්ඨංගික සය කියව්ද? සම්මා වාචා චේතනා සතර සම්මා කම්මන්ත චේතනා තුන සම්මා ආජීව චේතනා සත යයි මේ වේ බොහෝ චේතනා කෙසේ මුදන්නහුද? එහෙයින් ලෝකෝත්තර මාර්ගය පංචංගිකයයි කියවු. ඔබ මහා චත්තාරීසක භාණක වූයේද නැද්දැයි ඇසිය යුතුය. නොවූයෙම් කියයිද නොදන්නෙහි යයි කිවයුතුය. භාණක වූයෙමියි කියයිද සූත්‍රය ගෙනහැර දක්වන්නැයි කිවයුතුය. සූත්‍රය ගෙනහැර දැක්වුවහොත් යෙහෙකි. ගෙනහැර නෙදැක්වුවහොත් තමා උපරි පණ්ණාසකය ගෙන දැක්විය යුතුය.
මහණෙනි, සම්මා වාචා කුමක්ද? මහණෙනි, නිවැරදි වචන දෙකක් මම කියමි. මහණෙනි, ආශ්‍රව සහිත වූ පිනට අයත් වූ උපධි විපාක ඇති නිවැරදි වචනයක් ඇත. මහණෙනි, ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ නිවැරදි වචනයක් ඇත.