4. අනන්තර පච්චය නිද්දේසය
අනන්තර පච්චය නිද්දේසයෙහි මනොධාතුයා - විපාක මනෝධාතුව වේ. මනො විඤ්ඤාණධාතුයා සන්තීරණ කෘත්‍යය පිණිස අහේතුක විපාක මනෝවිඤ්ඤාණ ධාතුව. ඉන්පසුව වනාහි වොත්‍ථපන ජවන තදාරම්මණ භංග කෘත්‍යය මනෝවිඤ්ඤාණ ධාතු කිවයුතු වේ. ඒවා නොකියා ද මෙම නයෙන්ම දතයුතුයයි නය දක්වා දේශනාව සංක්‍ෂේප කරන ලදි. ‘පුරිමා පුරිමා කුසලං ධම්මා’ යයි ආදිකයෙහි ද සවැනි නයෙහි ඒවා සංග්‍රහ කරන ලද බැවින් මෙහි නොකියන ලදැයි දතයුතුය. එහි පුරිමා පුරිමා යයි දොරවල් සයෙහිද අනන්තර අතීත කුසල ජවන ධර්ම දැකිය යුතුය. පච්ඡිමානං පච්ඡිමානං යයි අනන්තර උපදින්නා වූම වේ. කුසලානං සමාන කුසල. අබ්‍යාකතානං මෙය වනාහි කුසල අනන්තර තදාරම්මණ භවාංග ඵලසමාපත්ති වශයෙන් කියන ලදි. අකුසල මූලකයෙහි. අබ්‍යාකතානං තදාරම්මණ භවංග නියමයෙන්ම. අබ්‍යාකත මූලකයෙහි. අබ්‍යාකතානං ආවර්ජන ජවන වශයෙන් හෝ භවංග වශයෙන් හෝ පවත්වන කිරිය විපාක අබ්‍යාකතයන්ගේ කිරිය මනෝධාතුවේ සිට වොත්‍ථපන කෘත්‍ය දක්වා මනෝවිඤ්ඤාණ ධාතු එතෙක් පවතින වීථි සිත්වලද මේ නය ලැබේමය. කුසලානං පංචද්වාරයෙහි වොත්‍ථපනයට අනතුරුව මනෝ ද්වාරයෙහි ආවර්ජනයට අනතුරුව පළමු ජවන කුසලයන්ගේ. අකුසලානං පදයෙහි ද මෙම නයමය. යෙසං යෙසං මෙය සියළුම අනන්තර පච්චය ධර්මයන්ගේ සංක්‍ෂෙප ලක්‍ෂණ වේ. මෙය මෙහි පෙළෙහි වර්ණනාවය.
මේ අනන්තර පච්චය නම් නිවන හැර චතුභූමක අරූප ධම්ම රාශියම යයි දතයුතුය. එය ජාති වශයෙන් කුසල අකුසල විපාක කිරිය වශයෙන් සතරාකාරයට බෙදේ. එහි කුසලය කාමාවචරාදි භේදයෙන් සතර අයුරුය. අකුසලය කාමාවචරම වේ. විපාකය චතුභූමකය. කිරිය අනන්තර පච්චය වනාහි ත්‍රෛභූමකය. මෙසේ මෙහි නානා ප්‍රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණුවිට වනාහි මෙහි කාමාවචර කුසලය අනන්තර පච්චය තමා සමානවම කාමාවචර කුසලයට අනන්තර පච්චය වේ. ඤාණ සම්ප්‍රයුක්ත කාමාවචර කුසලය වනාහි රූපාවචර කුසලයට අරූපාවචර කුසලයට ලෝකෝත්තර කුසලයට යයි මේ රාසි තුනට අනන්තර පච්චය වේ. කාමාවචර කුසලයද කාමාවචර විපාකයට රූපාවචර අරූපාවචර විපාකයට ඤාණ සම්පයුත්ත ලෝකෝත්තර විපාකයටදැයි මේ රාශි සතරට අනන්තර පච්චය වේ. රූපාවචර කුසලය රූපාවචර කුසලයට ඤාණ සම්පයුත්ත කාමාවචර විපාකයට රූපාවචර විපාකයටදැයි මේ රාශි තුනට අනන්තර පච්චය වේ. අරූපාවචර කුසලය ඒ දෙකේ විපාකවලට තමාගේ කුසලයේ විපාකයටදැයි අවිශේෂයෙන් රාශි හතරට අනන්තර පච්චය වේ. මෙහි විශේෂයෙන් වනාහි නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසලය අනාගාමි ඵලයට ද ලෝකෝත්තර විපාකයටද අනන්තර පච්චය වේ. අකුසලය අවිශේෂයෙන් අකුසලයට මෙන්ම කුසල අකුසල විපාකයට ද විශේෂයෙන් වනාහි මෙහි සැප මැදහත් වේදනා යුත් අකුසලය රූපාවචර අරූපාවචර විපාකයටදැයි මේ රාසි සතරට අනන්තර පච්චය වේ.
කාමාවචර විපාකය කාමාවචර විපාකයටද ඤාණ සම්පයුත්ත හෝ ඤාණ විප්පයුත්ත විපාකය කාමාවචර කිරිය ආවර්ජනයට ඤාණ සම්පයුත්ත විපාකය වනාහි මෙහි ප්‍රතිසන්ධි වශයෙන් උපදින්නාට රූපාවචර අරූපාවචරන විපාකයටදැයි මේ රාසි සතරට අනන්තර පච්චය වේ. රූපාවචර විපාකය සහේතුක කාමාවචර විපාකයට රූපාවචර අරූපාවචර විපාකයට කාමාවචර කිරිය ආවර්ජනයටදැයි මේ රාසි සතරට අනන්තර පච්චය වේ. අරූපාවචර විපාකය ත්‍රිහේතුක කාමාවචර විපාකයට අරූපාවචර විපාකයට කාමාවචර කිරිය ආවර්ජනයටදැයි රාසි තුනට අනන්තර පච්චය වේ. ලෝකෝත්තර විපාකය ත්‍රිහේතුක කාමාවචර විපාකයට රූපාවචර අරූපාවචර ලෝකෝත්තර විපාකයටදැයි රාසි සතරට අනන්තර පච්චය වේ.