1. තිකපට්ඨාන වර්ණනාව
පච්චය උද්දේස වර්ණනාව
සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් අනුලෝම පට්ඨානයෙහි දෙවිස්ස නිසා තික පට්ඨානය නම් නිර්දේශ කරන ලදි. සියළු දුක නිසා දුක පට්ඨානය නම් නිර්දේශ කරන ලදි. ඊට පසුව දෙවිස්ස ගෙන දුක සියයෙහි බහා දුකතික පට්ඨානය නම් දක්වන ලදි. ඉන්පසු දුක සියය ගෙන දෙවිස්ස තිකයෙහි බහා තික දුක පට්ඨානය නම් දක්වන ලදි. තිකයෙහි වනාහි තිකයෙහිම බහා තික තික පට්ඨානය නම් දක්වන ලදි. දුකය ද දුකයෙහිම බහා දුක දුක පට්ඨානය නම් දක්වන ලදි. මෙසේය:-
පට්ඨාන ‘තුම් තික - ‘තුම්දුක දුකතික ද යන
තික දුකද තික තික - දුක දුක ද යන මේ සය
අනුලොම්හි වන මෙම - සුගැඹුරු නයයි දන්නේ
ප්‍රත්‍යනීය පට්ඨානයෙහි ද දෙවිස්ස නිසා තික පට්ඨාන නම් වේ. දුක සියය නිසා දුක පට්ඨාන නම් වේ. දෙවිස්සෙහි දුක සියයෙහි බහා දුක තික පට්ඨාන නම් වේ. දුක සියය දෙවිස්සෙහි ම බහා තික දුක පට්ඨාන නම් වේ. තිකයෙහි තිකයෙහි ම බහා තික තික පට්ඨාන නම් වේ. දුකයෙහි දුකයෙහිම බහා දුක දුක පට්ඨාන නම් වේ. මෙසේ ප්‍රත්‍යනියෙහි නය සයෙහි පට්ඨානය දක්වන ලදි. එයින් කියන ලදි:-
‘පට්ඨාන’ තික’තුම් - දුක’තුම් දුකතික ද යන
තිකදුකද තික තික - දුක දුකද යන මේ සය
සුගැඹුරු නයයි මේ - අනුලොම් විරුදු පසනියෙ
ඉන්පසුව අනුලෝම පච්චනියෙහි ද මෙම උපායෙන් නය සයක් දක්වන ලදි. එයින් කීහ:-
‘පට්ඨාන’ තික’තුම් - දුක’තුම් දුකතිකද යන
තික දුක ද තිකතික - දුක දුක ද යන මේ සය
අනුලොම් පසනියෙහි - සුගැඹුරු නයයි දන්නේ
ඉන් අනතුරුව පච්චනිය අනුලෝමයෙහි එයින්ම නය සයකින් දක්වන ලදි. එයින් කීහ :-
‘පට්ඨාන තික’තුම් - දුක’තුම් දුකතික ද යන
තික දුක ද තිකතික - දුක දුක ද යන මේ සය
පසනිය අනුලොම්හි - සුගැඹුරු නයයි දන්නේ
මෙසේ අනුලෝම පට්ඨාන සයකි පච්චනියෙහි සයකි. අනුලොම් පච්චනියේ සයකි. පච්චනිය අනුලොම්හි සයකියි මෙය සූවිසි සමන්ත පට්ඨාන සමොධාන පට්ඨාන මහා පකරණය නමැයි කියන ලදි.
එහි සූවිසි සමන්ත පට්ඨානයන්ගේ සමෝධාන වශයෙන් මෙය සූවිසි සමන්ත පට්ඨාන සමෝධානය පට්ඨාන මහා ප්‍රකරණ මැයි කියන ලදි. එහිම මේ ප්‍රකරණයේ නාමයේ අර්ථය පළමුව දැනගත යුතුය. කුමන අර්ථයකින් පට්ඨාන වේද? නානාප්‍රකාර වූ ප්‍රත්‍යයන් ගේ අර්ථයෙන් ‘ප’ කාරය විවිධ ප්‍රකාර අර්ථ දක්වයි. ‘ඨාන’ ශබ්දය ප්‍රත්‍යය අර්ථය. ඨානා ඨාන කුසලතා ආදියෙහි පච්චය, ඨාන යයි කියන ලදි. මෙසේ නානාප්‍රකාර වූ ප්‍රත්‍යයන්ගේ වශයෙන් දේශනා කරන ලද බැවින් මේ සූවිසි පට්ඨාන අතුරෙහි එක එකක් පට්ඨාන නම් වේ. මේ පට්ඨානයන්ගේ සමූහයෙන් මේ සියළු ප්‍රකරණය පට්ඨානයයි දතයුතුය.
තවද නයක්:- කුමන අර්ථයකින් පට්ඨාන වේද? බෙදීම් අර්ථයෙන්. ‘පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තතානීකම්මං’ යන ආ තැන්වල බෙදීම් අර්ථයෙන් පට්ඨානය පෙනී යයි. මෙසේ කුසලාදි ධර්මයන් හේතුප්‍රත්‍ය වශයෙන් බෙදන ලද බැවින් මෙම සූවිසි පට්ඨානවල එක එකක් පට්ඨාන නම් වේ. මෙම පට්ඨානවල සමූහ වශයෙන් මේ සියළු ප්‍රකරණය පට්ඨාන නම් යයි දතයුතුය.
තවද නයක්:- කුමන අර්ථයකින් පට්ඨාන වේද? පට්ඨිතත්‍ථෙන = ගමනාර්ථයෙනි. ගොට්ඨාපට්ඨිත ගාවො (ගාලෙන් පිටට යන ගවයා) ආ තැන්වල යම් පට්ඨානයකින් ‘පට්ඨිත ගාවො’ යයි කියන ලදි. එය අර්ථ වශයෙන් ගමන වේ යයි විස්තර නැති නයවල ධම්මසංගනී ආදියෙහි ඇලීම් ගමනේ සර්වඥතා ඥානයේ හේතුප්‍රත්‍යාදි වශයෙන් බෙදුණු කුසල්වල විස්තර කරන ලද නය ලැබීමෙන් ඇලීම් නැතිව පවත්වන ගමන බව මේ සූවිසි පට්ඨානවල එක එකක් පට්ඨාන නම් යයි දතයුතුය.
එහි අනුලෝමයෙහි පළමුව තික වශයෙන් දේශනා කරන ලද බැවින් තික පට්ඨාන නම් වේ. එහි පද බිඳීම :- තිකානං පට්ඨානං එත්‍ථ අත්‍ථීති = තිකයන්ගේ පට්ඨානය මෙහි ඇතැයි යනු = තිකපට්ඨානං. තිකයින්ගේ නානාප්‍රකාරක ප්‍රත්‍ය මේ දේශනාවේ ඇතැයි අර්ථයයි. දෙවන විකල්පයෙහි ද තිකයින්ගේ පට්ඨානය එයින් තික පට්ඨානය හේතුප්‍රත්‍යාදි වශයෙන් තිකයින්ගේ බෙදීම යයි අර්ථ වේ. තුන්වන විකල්පයෙහි හේතුප්‍රත්‍යාදි භේදයෙන් බෙදීමෙන් ලද විස්තර තිකවලම පට්ඨානය තික පට්ඨානය වේ. සර්වඥ ඥානයේ ඇලීම් රහිත ගමන භූමියයි (ගමන් බිමන්) අර්ථ වේ. දුක පට්ඨානයෙහි ද මෙම නයම වේ. මෙසේ අනුලෝමයෙහි පට්ඨාන සයකැයි දැන පච්චනියාදියෙහි ද මෙම උපායෙන් දතයුතුය.