21. අරියන්ති කථා
දැන් අරියන්ති කථා නම් වේ. එහි යමෙකුගේ කේවල වූ ආසවක්‍ඛය ඤාණයම අරිය වේ. ඉක්බිතිව පෙර නව බලය ද අරියා යයි ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා අරියං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. නැවත ඉදින් ආර්ය මාර්ගයෙහි එයින් වෙනත් දෙයක් විය යුතු යයි මාර්ගාදි වශයෙන් විචාරීම සකවාදියාටය. ප්‍රතික්‍ෂේපය පරවාදියාටය.
නැවත ශුන්‍යතා අරමුණු වශයෙන් විචාරීම සකවාදියාටය. එහි ශූන්‍යතා දෙකකි. සත්ත්ව ශුන්‍යතා සහ සංස්කාර ශුන්‍යතා වශයෙනි. සියළු සංස්කාරවලින් ශූන්‍ය වූ වෙන්වූ ඉවත්වූ නිවණ. එහි පරවාදියා නිවන් අරමුණු සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සංස්කාර අරමුණ සඳහා පිළිගනී. මනසි කරොති යයි විචාරණ ලද්දේ ද නිවනම සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සංස්කාරයන් සඳහා පිළිගනී. එයින් සකවාදියා විසින් සමාන අසමාන මෙනෙහි කිරිම සංස්කාර අරමුණය. ශුන්‍යතා මෙනෙහි කිරීම නිවන් අරමුණ යයි මෙම නය ගෙන ද්වින්නං ඵස්සානං ද්වින්නං චිත්තානං සමොධානං හොති යයි විචාරණ ලද්දේ මඳ අවසරයක්වත් නොලබන්නේ ප්‍රතික්‍ෂේප කරයි. අනිමිත්ත අප්පණිහිතවලද මෙම නයම වේ. සත්ත්ව නිමිති අභාවයෙන් ස්කන්‍ධ අනිමිත්ත වේ. සංස්කාර නිමිති අභාවයෙන් නිවන එක් ධර්මයකට ආරෝපනය කර තැබිය යුතු සංඛ්‍යාවෙන් ද ප්‍රණිහිත අර්ථයෙන් ද ප්‍රණිහිත සංඛ්‍යාවට ගිය සත්ත්ව ප්‍රණිධානයද අපණිහිත වූ ස්කන්‍ධ වේ. තෘෂ්ණා ප්‍රාර්ථනාවෙන් තෘෂ්ණාවෙන් හෝ අරමුණු වීමෙන් සියළු සංස්කාර ප්‍රණිධියෙන් අපණිහිත වූ නිවන. එහෙයින් මෙහිද ප්‍රතික්‍ෂේපය ද පිළිගැනීම ද පෙර නයින්ම දතයුතුය.
එයින් යම්සේ සතිපට්ඨානාදි ලෝකෝත්තර ධර්ම අරියා මෙන්ද ශුන්‍යතාදි අරමුණු ද කිම? ඔබගේ මෙසේ ස්ථාන අස්ථාන ඤාණයද? යයි අනුලෝම ප්‍රතිලෝම විචාරය වේ. එහි සියළු ප්‍රතිඥා සියළු ප්‍රතික්‍ෂේප පරවාදියාටමය. මේ උපායෙන් සෙසු ඤාණවලද ප්‍රශ්න හා විසදීම් දතයුතුය. පෙළෙහි වනාහි සෙස්ස හකුළුවා අවසානයෙහි චුතූපපාත ඤාණයම බෙදන ලදී. එයින් පසු ස්ව සමයෙහි ද අරිය යයි සිද්ධ වූ ආශ්‍රවයන්ගේ ක්‍ෂය ඤාණය සමග සසඳා සෙසු ඤාණවල අනුලෝම වශයෙන්ද ප්‍රතිලෝම වශයෙන්ද අරියභාව විචාරය වේ. ඒ සියල්ල පරවාදියාටය. ප්‍රතිඥාව ද ප්‍රතික්‍ෂේපය ද සකවාදියාටය. ඒවා පැහැදිලිය. මෙහි පෙළෙහි වනාහි පළමු නව මානයම දක්වා සත්ත ඤාණ කෙටිකරන ලදී.
අරියත්ති කථා වර්ණනා නිමි.
22. විමුත්ති කථා
දැන් විමුත්ති කථා නම් වේ. එහි යමෙකුගේ වීතරාග සිත්වල විමුක්ති ප්‍රයෝජනයක් නම් නැත. යම්සේ වනාහි කිලිටි වස්ත්‍රයක් සෝදන ලබන්නේ කිලුටු මිදේ ද එසේ රාග සහිත සිත රාගයෙන් මිදේ යයි යන ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා සරාගා යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනිකාටය. එයින් රාගං සහගතං ආදි නයින් විචාරණ ලද්දේ මාර්ග ක්‍ෂණයෙහි සිත මිදේ නම් වේ. එකල එබඳු වූ සිතක් නැතැයි ප්‍රතික්‍ෂේප කරයි.
සඵස්සං යනාදි නයින් විචාරණ ලද්දේ ද යම්සේ ස්පර්ශය ද සිත ද යන දෙක රාගයෙන් මිදේ. මෙසේ රාගියාගේ මිදීම නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. සදොසාදියෙහි ද මෙම උපායෙන් අර්ථය දතයුතුය.
23. විමුච්චමාන කථා
දැන් විමුච්චමාන කථා නම් වේ. එහි යමෙකුගේ ධ්‍යානයෙන් විෂ්කම්භනය වන විමුක්තියෙන් මිදුණු සිත මාර්ග ක්‍ෂණයෙහි සමුච්ඡේද විමුක්තියෙන් මිදෙන්නේ යයි ලබ්ධිය, ඔවුන් සඳහා විමුත්තං විමුච්චමානං යන විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය.
නැවත එකදෙසං යයි විචාරීම සකවාදියාටය. එහි එකදෙසං යන භාව නපුංසක යයි. යම්සේ විමුක්තිය ඒක දේශයකින් හෝ ඒක දේසයකින් අවිමුක්තිය හෝ වේ කිම මෙසේ ඒකදේස විමුක්තිය, ඒකදේස අවිමුක්තිය යයි විචාරයි. මෙසේ විචාරීමට කරුණු කිම? විමුත්තං විමුච්චමානං අඩාල කළ බැවින් කියන ලදී. යම්සේ කරනු ලබන පැදුරු ආදිය අඩාල කරන ලද බැවින් ඒක දේශයකින් කළ, ඒක දේශයකින් නොකළා වේ. එසේම මෙයද ඒක දේශයකින් විමුක්තියට ඒක දේශයකින් අවිමුක්තියට පැමිණේ. එයින් පරවාදියා පැදුරු ආදිය මෙන් සිතේ ඒකදේශයක භාවයක් පළමු ප්‍රශ්න ප්‍රතික්‍ෂේප කොට දෙවන මිදෙන්නහුගේ අසරණ වූ විමුක්තිය පිළිගනී. එහි එකල සමුච්ඡෙද විමුක්තියෙන් ඒකදේස විමුක්තියෙන් මිදේය යන ලබ්ධියයි. එයින් සකවාදියා ඉදින් ඔබගේ එකම සිත ඒකදේස විමුත්ත ඒකදේස අවිමුත්ත වේනම් ඔබගේ ඒ සෝතාපන්නයා ද ඒකදේසයකින් සෝවාන් ද ඒක දේසයකින් සෝවාන් නොවේද වන්නේය. චෝදනාව පිණිස එකදෙසං සොතාපන්නො යනාදිය කීය. පරවාදියා ඒ විධානය නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. සෙසු වාරවලද මෙම නයයි.