කථාවත්ථු අටුවාව
දෙව්ගණ පෙරටුකොට - වැඩහිඳ පඬු ඇඹුලෙහී
අසම පුඟුලා වන - දෙවියන් සහිත ලොවෙහී
කුසල වූ සියළු පැණ - වුම් සහ විතර දෙසුමෙහි
දෙසා පුඟුල් පැණ - වුම ලොවැ උතුම් පුඟුලා
පුද්ගල කතාදී - කතාහි වත්බාවයෙන්
සැකවින් දෙසී මුනි - කතාවක් නම් පකරණ
මෑ පෙළ පමණක් ම - තබන ලද දෙව්ලොවෙහී
මොග්ගලිපුත් සමිදු - බෙදූ එය මිහිතලෙහී
පැමිණැ’ත දැන් එහී - අරුත් වැනුම පිළිවෙලින්
එහෙයින් වනමි මම - එය’සනු සන්සුන් සිතින්
නිදාන කථා
භාග්‍යවතුන් වහන්සේ යමක ප්‍රාතිහාර්ය අවසානයෙහි තිදෙස් පුරයෙහි පාරිජාත රුක්මුල්හි පණ්ඩුකම්බල සල’සුන්හි වස් එළඹ, මව කාය සාක්‍ෂිකොට දෙව්පිරිසට අභිධර්ම කථාව දේශනා කරන්නේ ධම්ම සංගණී, විභංග, ධාතුකථා, පුග්ගල පඤ්ඤත්ති, ප්‍රකරණ දේශනා කොට, කථාවත්‍ථු දේශනාවට වාරය පැමිණි කල්හි, ‘අනාගතයෙහි මාගේ ශ්‍රාවක වූ මහා ප්‍රාඥ මොග්ගලීපුත්තතිස්ස ස්ථවිරයන් වහන්සේ, උපන් සසුන් කිලුට පිරිසිදුකොට, තුන්වන ධර්ම සංගීතිය පවත්වන්නේ බික්සඟන මැද වැඩහිඳ සකවාදයෙන් සූත්‍ර පන්සියක් සහ පරවාදයෙන් පන්සියයක්දැයි සූත්‍ර දහසක් කැටිකොට මේ ප්‍රකරණය බෙදන්නාහ’යි උන්වහන්සේට ඉඩ තබා, පුද්ගල වාදයෙහි සතර ප්‍රශ්නවල දෙපස් වශයෙන් වාද මුඛ අට, ආදිකොට සියළු කථා මාර්ගයේ අසම්පූර්ණ බණවරකින් පාළි භාෂාවෙන් මාතෘකා තැබූහ. ඉක්බිති අවසේස අභිධර්ම කථාව විස්තර නයින්ම දේශනා කොට වස් අවසානයෙහි රන් රිදී සෝපාන දෙකට මැද වූ මැණික්මය සෝපානයෙන් දෙව්ලොවින් සංකස්ස පුරයට බැස, සත්ත්ව දියුණුව සලසමින් ආයු තෙක් වැඩසිට අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පා වදාළ සේක.
ඉක්බිති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා අජාසත් රජතුමාගේ සහායෙන් ධර්ම විනය සංගායනා කළහ. එයින් වසර සියයකට පසු වජ්ජිපුත්තක භික්‍ෂූහු දස වස්තුව දැක්වූහ. එය අසා කාකණ්ඩ බමුණු පුත් යස ස්ථවිරයන් වහන්සේ සුසුනාග පුත් කාලාශෝක රජතුමාගේ සහාය ලබාගෙන දොලොස් දහසක් භික්‍ෂූන් අතරෙන් සත්සියයක් තෝරාගෙන ඒ දස වස්තුව මැඩ ධර්ම විනය සංගායනා කළහ.
ඒ ධර්ම සංගීතිකාරක භික්‍ෂූන් වහන්සේලා නිග්‍රහ කරනු ලැබූ දස දහසක් වජ්ජික පුත්තක භික්ෂූහු මහා සංඝික ආචාර්ය කුලය ඇති කළහ. එයින් බිඳී ඇදුරු කුල දෙකක් විය. එනම් ගොකුලික හා එකබ්බොහාරිකය වේ. ගොකූලික නිකායෙන් බිඳී, පණ්ණාත්ති වාද බාහුලික යයි ඇදුරු කුල දෙකක් ඇතිවිය. බාහුලිකයන් බහුස්සුතිකා යනු ද නාමයක් වේ. ඔවුන් අතරෙහිම චෙතියවාද නම් ආචාර්ය වාදයක් පහළවිය. මෙසේ මහා සංඝික ඇදුරු කුලයෙන් දෙවන සියවස ඇතුළත ආචරිය කුල පහක් උපණ. ඒවා මහා සංඝිකය සමග හයක් වේ.
ඒ දෙවන වස් සියයෙහිම ස්ථවිර වාදයෙන් බිඳී මහිංසාසික වජ්ජිපුත්තක යයි ඇදුරුවාද දෙකක් ඇතිවිය. එහි වජ්ජිපුත්තක වාදයෙන් බිඳී ධම්මුත්තරිය, භද්‍රයානික, ඡන්නාගාරික, සම්මිතිය යයි ආචාර්ය වාද සතරක් ඇතිවිය. නැවත ඒ දෙවන වස් සියය ඇතුළතම මහා සංඝික වාදයෙන් බිඳී සබ්බත්‍ථිවාද ධම්මගුත්තික යයි ආචාර්ය වාද දෙකක් උපන්නේය. සබ්බත්‍ථිවාදයෙන් බිඳී කස්සපිකා යයි වාදයක් ඇතිවිය. කස්සපිකයෙන් බිඳී සංකන්තික නම් වාදයක් ඇතිවිය. එයින් බිඳී සුත්තවාද නම් වාදයක්දැයි ථේරවාදයෙන් බිඳී වාද එකොළහක් ඇතිවිය. ඒවා ථේරවාදය සමග දොළහක් විය. මෙසේ මෙම දොළහ ද මහා සංඝික වාද හයදැයි ආචරියවාද දහඅටක් දෙවන වස් සියය ඇතුළත දී ඇතිවිය. අටළොස් නිකාය යයි ද අටළොස් ආචරිය කුල යයි ද ඒවාටම නම් වේ. මේවායින් වාද දාහතක් භින්නක වන අතර ථේරවාදය අසම්භින්නක යයි දතයුතුය. දීපවංසයෙහි මෙය කියන ලදී.
තෙරුන්ගෙන් නෙරපුණු - වැදිරට පවිටු බිකුගණැ
ලැබගෙන වෙන පසක් - අදහම් වූ බොහොදෙනා
කළන දම් සඟනා - දස දහසක් එකතු වී
එනිසා එයට මහ - ‘සංගීති’ යයි කියැවේ
මහ සඟිති බිකුගණ - කළහ විලොම් සසුනෙහී
මුල් සඟන බිඳලා - කළහ වෙතමම සඟ හක්
එක් තැන සඟහ සුත් - අන්තැන කළහ විලොමෙන්
දහමරුන් බින්දහ - විනයෙහි පස් නිකායේ
පරියා දෙසුම් සහ - නිප්පරියා දෙසුමෙහි ද
පත් සහ පමුණුවන - අරුත් නොදැනම බිකුවෝ
බිණූ අන් සඳහා - අන්තැන තැබූ ඔව්හූ
සේයා පිණිස වන - වැනසූ නෙක අරුත්දම්
සුත් විනය ගැඹුරූ - හැර එක්දෙසක් සඳහා
පිළිරූ සුත්විනය - කළහ එහි ඔහු අනිකක්
අබිදම් සපකරණ - උදුරා අරුත් පිරිවරැ
නිදෙසය පිළිසුඹුහි - ජාතක එක් දෙසෙක්හි ද
මෙපමණ හැරදමා - වෙනකක් කළහ ඔව්හූ
නම් ලිඟු පිරිකර ද - කළයුතු දෙය ද පැවතුම්
මුල්සැටි හැරදමා - එහි ද අනිකක් කළහූ
මුලින් ම බෙදුනාහු - මහ ‘සංගීති’ කරුවෝ
ඔවුන් අනුකරණෙන් - බිඳුණු මත ම විය බොහෝ
ඉන්පසු කාලයෙහි - එහි බේදය පහළවිය
ගෝකුලික එක්වහර - දෙකට බුන්හයැ බිකුවෝ
ගෝකුලිකයෙත් බේද - පසුකාලයෙහි ඇතිවිය