22. විමුත්ති කථා
දැන් විමුත්ති කථා නම් වේ. එහි යමෙකුගේ වීතරාග සිත්වල විමුක්ති ප්රයෝජනයක් නම් නැත. යම්සේ වනාහි කිලිටි වස්ත්රයක් සෝදන ලබන්නේ කිලුටු මිදේ ද එසේ රාග සහිත සිත රාගයෙන් මිදේ යයි යන ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා සරාගා යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනිකාටය. එයින් රාගං සහගතං ආදි නයින් විචාරණ ලද්දේ මාර්ග ක්ෂණයෙහි සිත මිදේ නම් වේ. එකල එබඳු වූ සිතක් නැතැයි ප්රතික්ෂේප කරයි.
සඵස්සං යනාදි නයින් විචාරණ ලද්දේ ද යම්සේ ස්පර්ශය ද සිත ද යන දෙක රාගයෙන් මිදේ. මෙසේ රාගියාගේ මිදීම නොදක්නේ ප්රතික්ෂේප කරයි. සදොසාදියෙහි ද මෙම උපායෙන් අර්ථය දතයුතුය.
23. විමුච්චමාන කථා
දැන් විමුච්චමාන කථා නම් වේ. එහි යමෙකුගේ ධ්යානයෙන් විෂ්කම්භනය වන විමුක්තියෙන් මිදුණු සිත මාර්ග ක්ෂණයෙහි සමුච්ඡේද විමුක්තියෙන් මිදෙන්නේ යයි ලබ්ධිය, ඔවුන් සඳහා විමුත්තං විමුච්චමානං යන විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය.
නැවත එකදෙසං යයි විචාරීම සකවාදියාටය. එහි එකදෙසං යන භාව නපුංසක යයි. යම්සේ විමුක්තිය ඒක දේශයකින් හෝ ඒක දේසයකින් අවිමුක්තිය හෝ වේ කිම මෙසේ ඒකදේස විමුක්තිය, ඒකදේස අවිමුක්තිය යයි විචාරයි. මෙසේ විචාරීමට කරුණු කිම? විමුත්තං විමුච්චමානං අඩාල කළ බැවින් කියන ලදී. යම්සේ කරනු ලබන පැදුරු ආදිය අඩාල කරන ලද බැවින් ඒක දේශයකින් කළ, ඒක දේශයකින් නොකළා වේ. එසේම මෙයද ඒක දේශයකින් විමුක්තියට ඒක දේශයකින් අවිමුක්තියට පැමිණේ. එයින් පරවාදියා පැදුරු ආදිය මෙන් සිතේ ඒකදේශයක භාවයක් පළමු ප්රශ්න ප්රතික්ෂේප කොට දෙවන මිදෙන්නහුගේ අසරණ වූ විමුක්තිය පිළිගනී. එහි එකල සමුච්ඡෙද විමුක්තියෙන් ඒකදේස විමුක්තියෙන් මිදේය යන ලබ්ධියයි. එයින් සකවාදියා ඉදින් ඔබගේ එකම සිත ඒකදේස විමුත්ත ඒකදේස අවිමුත්ත වේනම් ඔබගේ ඒ සෝතාපන්නයා ද ඒකදේසයකින් සෝවාන් ද ඒක දේසයකින් සෝවාන් නොවේද වන්නේය. චෝදනාව පිණිස එකදෙසං සොතාපන්නො යනාදිය කීය. පරවාදියා ඒ විධානය නොදක්නේ ප්රතික්ෂේප කරයි. සෙසු වාරවලද මෙම නයයි.
උත්පාද ක්ෂණ ප්රශ්නයෙහි ඉදින් එකම හිත මිදීමද මිදෙමින් පැවතීම ද එක් ක්ෂණයකදී මිදීම මිදෙමින් පැවතීමට ද පැමිණේ. ඔබේ එබඳු වූ සිතේ තේරුම කුමක්ද?
සූත්ර සාධනයෙහි ප්රථම සූත්රය පරවාදියාටය. එහි ඔහුගේ අදහස මෙසේය. විමුච්චති යන අඩාල නිර්දේශයයි. එනිසා ඒ යෝගියා මෙසේ දැනීමෙන් මෙසේ බැලීමෙන් ඒ ආශ්රවයන්ගෙන් සිත මිදුනේ යයි, මිදෙමින් පවතින්නේය. දෙවන සූත්රය සකවාදියාටය. එහි අදහස මෙසේය. ඉදින් බොහෝ මිදුනේය යන වචනයෙන් මිදෙන ලදී. මිදෙමින් සිටියේ යන්නෙහි මිදුණා යන අදහස නොමැති හෙයින් මිදුනේ වන්නේය. මිදෙමින් සිටියේ නොවේ.
දැන් යම්සේ ඔබගේ අඩාළව පවතින විමුක්තිය විමුච්චමාන වේද? මෙසේ අඩාළව පවතින රාගාදියෙන් ඇලීම් ආදිය ද ඇතැයි චෝදනාව පිණිස නැවත අත්ථි චිත්තං යනාදිය අරඹන ලදී. පරවාදියා විසින්ද එබඳු සිතක් නොදක්නේ සියල්ල ප්රතික්ෂේප කරන ලදී. ඉක්බිති ඔහුට සකවාදියා කෙළවරවල් දෙකක තුනක් නැතැයි අවබෝධ කරවන්නේ තනු රත්තඤ්චෙව අරහත්තඤ්ච යනාදිය කීය. එහි අර්ථය සොඳුරු තැනැත්ත, රාග සම්ප්රයුක්ත සිත රත් වූයේ නොවේද? රාග විප්රයුක්ත සිත රත් නොවූයේ නොවේද යන කෙළවර දෙක නොවේද? රජස්මාන යයි තුන්වන කෙළවරක් නැත. දුට්ඨාදියෙහි ද මෙම නයයි. ඉක්බිති ඔහු ආමන්තා යයි පිළිගෙන සිටී. විමුක්ති පක්ෂයෙහි ද කෙළවර දෙකක්ම දැක්වීමට හඤ්චි රත්තඤ්චෙව යනාදිය කීය. එහි අර්ථය ඉදින් මේ කෙළවර දෙක පිළිගන්නෙහිද? අධිමුක්තිය මෙන්ම විමුක්තියද මෙයින්ම පිළිගන්න. විමුච්චමාන නම් පරමාර්ථ වශයෙන් තුන්වන කෙළවරක් නැත.
24. අට්ඨමක කථා
දැන් අට්ඨමක කථා නම් වේ. එහි යමෙකුගේ අනුලෝම ගෝත්රභූ මාර්ග ක්ෂණයෙහි කෙලෙසුන්ගේ හැසිරීම් නැති හෙයින් අෂ්ටමක සෝතාපත්ති මාර්ගස්ථ පුද්ගලයාගේ පරියුට්ඨාන (කෙලෙස් නැගිටීම්) දෙකක් ප්රහීන වූයේ යයි ලබ්ධිය යම්සේ දැන අන්ධකයන්ගේ සහ සම්මිතියන්ගේ මෙනි. ඔවුන්ගේ එක්තරා එකක්හු සඳහා විචාරය සකවාදියාටය. මාර්ගක්ෂණයේ සිට දෘෂ්ටිය නොඉපදීම සඳහා ප්රතිඥාව පරවාදියාටය. එයින් යම්හෙයකින් දෘෂ්ටි නම් මෙය සෝතාපන්නයාගේ ප්රහීනය. මාර්ගස්ථයාගේ නොවේ. එහෙයින් අට්ඨමකො පුග්ගලො සොතාපන්නො යන අනුයෝගය සකවාදියාගේය. විචිකිච්ඡා ප්රශ්නයෙහිද මෙම නයම වේ. අනුසය ප්රශ්නයෙහි පරියුට්ඨානයෙන් අන්ය වූවක් අනුසය යයි ඔවුන්ගේ ලබ්ධිය වේ. එහෙයින් න හෙවං යයි ප්රතික්ෂේප කරන ලදී.