210. අපරිනිප්ඵන්න කථා
දැන් අපරිනිප්ඵන්න කථා නම් වේ. එහි -
‘දුක්‍ඛමෙවහි සම්භොන්ති දුක්‍ඛං තිට්ඨති චෙති ච, නාඤ්ඤත්‍ර දුක්‍ඛා සම්භොති නාඤ්ඤං දුක්‍ඛා නිරුජ්ඣති’
යන වචනය නිසා දුකම පරිනිෂ්පන්නය. සෙසු ස්කන්‍ධ. ආයතන, ධාතු, ඉන්‍ද්‍රිය දහම් අපරිනිෂ්පන්න යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ ද හේතුවාදීන්ගේ ද මෙනි. ඔවුන් සඳහා රූපං අපරිනිප්ඵන්නං යයි විචාරීම සකවාදියාගේය. ප්‍රතිඥාව පරවාදියාගේය. ඉක්බිති ඔහුට ඉදින් රූපය අපරිනිෂ්පන්න වේ නම් අනිත්‍යාදි ස්වභාවය නොවන්නේ යයි චෝදනා කිරීමට රූපං න අනිච්චං යනාදිය කීය. අනිකා එබඳු රූප වූ රූපයක් නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. සකවාදියා නනු රූපං අනිච්චං යනාදි වචනයෙන් ඔහුගේ එක් ලබ්ධියක් ප්‍රතික්‍ෂේප කර දෙවැන්න විචාරන්නේ දුක්‍ඛඤ්ඤෙව පරිනිප්ඵන්නං යනාදිය කීය. ඉක්බිති ඔහුගේ ඒ ලබ්ධිය ද ප්‍රතික්‍ෂේප කිරීමට නනු යදනිච්චං යනාදිය කීය. එහි අදහස මෙසේය. හුදෙක් නොව පළමු සත්‍ය දුක්මය. යම්කිසිවක් අනිත්‍ය නම් එය දුක්ම වේ. රූපය ද අනිත්‍යය, එහෙයින් එයද පරිනිෂ්පන්න (හේතුවලින්) ය. මෙසේ ඔබ යම් රූපයක් අපරිනිෂ්පන්න යයි දුකම පරිනිෂ්පන්න යයි ද දන්නෙහිද එය නො වත රෙ වත්තබ්බෙ දුක්‍ඛඤ්ඤෙව පරිනිප්ඵන්නං යයි. වේදනාදි මූලික යෝජනාදියෙහි මෙම නයම වේ. ධම්මායතන ධම්ම ධාතුවල වනාහි නිවන හැර සෙසු දහම්වල වශයෙන් අනිත්‍යතාව දතයුතුය. ඉන්‍ද්‍රියන් අනිත්‍යම වේ.
නිගමන කථා
මෙපමණකින්..........
පණ්ණාසක සතර - යුත්වන තෙ විසි වගකින්
සඟ හා සව්කතා - දහයෙන් උපරි දෙ සියෙන්
කතාවත් පකරණ - කතා මගැ තෙරපත් වූ
දෙසී මුනිසඳ එහි - අරුත් වැනුමද නිමවී
තෙළෙසින් පමණ වූ - බණවර විසින් පෙළෙහී
සැකසූ මවිසින් එය - තිර පැවතුමට දහමේ
පැමිණි යම් පින ඉන් - සතරාමර ලෝකයා
දම්රදුන් සදහම් - රසය විඳගනු මැනවී
කථාවත්‍ථුප්පකරණ අත්‍ථවණ්ණනාව නිමි.