23. විසිතුන් වැනි වර්ගය
206. එකාධිප්පාය කථා
දැන් එකාධිප්පාය කථා නම් වේ. එහි කරුණාවෙන් එකම අභිප්‍රාය වේවයි සසරදී එක්වන්නෙමුයි ස්ත්‍රිය සමග බුද්ධ පූජාදිය කොට ප්‍රාර්ථනා වශයෙන් එකම අභිප්‍රාය වේවයි මෙබඳු වූ ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම අභිප්‍රාය ඇති මෛථුන ධර්ම සේවන කටයුතු යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ ද වෛතුල්‍යයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුවම පමුණුවා ගතයුතුය.
207. අරහන්ත වණ්ණ කථා
දැන් අරහන්ත වණ්ණ කථා නම් වේ. එහි යහපත් ඉරියව් සහ ආකල්ප ඇති පාප භික්‍ෂූන් දැක, අමනුෂ්‍යයෝ රහත් වෙසින් මෛථුන ධර්ම සේවනය කරතියි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරා පථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පැහැදිලිය.
208. ඉස්සරියකාමකාරිතා කථා
දැන් ඓශ්වර්ය කාමකාරි බව කථා නම් වේ. බෝධිසත්ත්වයා ඡද්දන්ත ජාතකාදියෙහි ඓශ්වර්ය කාමකාරි බව නිසා විනිපාතයට යයි. ගර්භ සයනයට බැසගනී. දුෂ්කර ක්‍රියා කළේය. අනුන් නොතැවීය. අන්‍ය ශාස්තෲන් කෙනෙකුන් උදෙසා යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙස්ස පළමු කථාවෙහි පැහැදිලි අරුත් වේ. දෙවන කථාවෙහි ඉද්ධිමා යයි ඉදින් ඓශ්වර්ය කාමකාරි හේතුබවට යන්නේ නම් ඍද්ධියෙන් යන්නේය. කර්ම වශයෙන් නොවේ යයි චෝදනා කිරීමට කියන ලදී. අනෙකා වනාහි පළමුවන ප්‍රශ්නයෙහි භාවනාමය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. දෙවන ප්‍රශ්නයෙහි පුන්‍ය සෘද්ධි සඳහා පිළිගනී. තුන්වන කථාවේ ඓශ්වර්ය කාමකාරි හේතුබව නම් දුශ්කර කාර්යයන් මිථ්‍යා දෘෂ්ටියෙන් කරනු ලැබීමය. ඉදින් හේ එය කරන්නේ නම් ශාස්වතාදියට ද ගන්නේ යයි චෝදනා කිරීමට සස්සතො ලොකො යනාදිය කියන ලදී. සතරවන කථාවද මෙම නයම වේ.
209. රාගපතිරූපකාදි කථා
දැන් රාගපතිරූපකාදි කථා නම් වේ. එහි මෛත්‍රී කරුණා මුදිතා සඳහා රාගය නොව රාග ප්‍රතිරූපකයක් ඇතැයිද ඊර්ෂ්‍යා, මසුරු කුකුස සඳහා ද්වේශය නොව දේශ ප්‍රතිරූපයක් ඇතැයිද හස්තුප්පාද සිත සඳහා මෝහය නොව මෝහ ප්‍රතිරූපකයක් ඇතැයිද දුශ්ශීල පුද්ගලයාට නිග්‍රහයත් ප්‍රියශීලි භික්‍ෂූන්ට අනුග්‍රහයත් පාපයට ගැරහීමත් යහපතට ස්තුතියත් ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරුන්ගේ වසල වාදයත් භාග්‍යවතුන්ගේ කෙලතොල් වාදයත් මොඝපුරිස වාදයත් සඳහා කෙලෙස් නොව කෙලෙස් ප්‍රතිරූපක වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සදහා සියළු කථාවල විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්හෙයකින් ඵස්සාදි ප්‍රතිරූපකයාගේ ඵස්සාදියෝ නම් නැත. එහෙයින් රාගාදි ප්‍රතිරූපක රාගාදියද නැතැයි චෝදනා කිරීමට අත්‍ථි න ඵස්සො යනාදිය කීය. අනික් ඒවායේ අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. සෙසු සියළු තැන නොගැඹුරු අරුත් වේමය.
210. අපරිනිප්ඵන්න කථා
දැන් අපරිනිප්ඵන්න කථා නම් වේ. එහි -
‘දුක්‍ඛමෙවහි සම්භොන්ති දුක්‍ඛං තිට්ඨති චෙති ච, නාඤ්ඤත්‍ර දුක්‍ඛා සම්භොති නාඤ්ඤං දුක්‍ඛා නිරුජ්ඣති’
යන වචනය නිසා දුකම පරිනිෂ්පන්නය. සෙසු ස්කන්‍ධ. ආයතන, ධාතු, ඉන්‍ද්‍රිය දහම් අපරිනිෂ්පන්න යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ ද හේතුවාදීන්ගේ ද මෙනි. ඔවුන් සඳහා රූපං අපරිනිප්ඵන්නං යයි විචාරීම සකවාදියාගේය. ප්‍රතිඥාව පරවාදියාගේය. ඉක්බිති ඔහුට ඉදින් රූපය අපරිනිෂ්පන්න වේ නම් අනිත්‍යාදි ස්වභාවය නොවන්නේ යයි චෝදනා කිරීමට රූපං න අනිච්චං යනාදිය කීය. අනිකා එබඳු රූප වූ රූපයක් නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. සකවාදියා නනු රූපං අනිච්චං යනාදි වචනයෙන් ඔහුගේ එක් ලබ්ධියක් ප්‍රතික්‍ෂේප කර දෙවැන්න විචාරන්නේ දුක්‍ඛඤ්ඤෙව පරිනිප්ඵන්නං යනාදිය කීය. ඉක්බිති ඔහුගේ ඒ ලබ්ධිය ද ප්‍රතික්‍ෂේප කිරීමට නනු යදනිච්චං යනාදිය කීය. එහි අදහස මෙසේය. හුදෙක් නොව පළමු සත්‍ය දුක්මය. යම්කිසිවක් අනිත්‍ය නම් එය දුක්ම වේ. රූපය ද අනිත්‍යය, එහෙයින් එයද පරිනිෂ්පන්න (හේතුවලින්) ය. මෙසේ ඔබ යම් රූපයක් අපරිනිෂ්පන්න යයි දුකම පරිනිෂ්පන්න යයි ද දන්නෙහිද එය නො වත රෙ වත්තබ්බෙ දුක්‍ඛඤ්ඤෙව පරිනිප්ඵන්නං යයි. වේදනාදි මූලික යෝජනාදියෙහි මෙම නයම වේ. ධම්මායතන ධම්ම ධාතුවල වනාහි නිවන හැර සෙසු දහම්වල වශයෙන් අනිත්‍යතාව දතයුතුය. ඉන්‍ද්‍රියන් අනිත්‍යම වේ.