මූලරාසිවණ්ණනා
මෙයින් ආශා නොකෙරෙත්. තමා හෝ ලෝභ නො කෙරේ. එය ආශා නො කිරීම් මාත්රයමය හෝ නුයි = අලෝභයයි. අදෝෂ අමෝහයන්හි ද මේ නයමය. ඔවුනතුරෙන් අලෝභය අරමුණෙහි සිත ගිජු නොකරන ලක්ෂණ ඇත්තේය. නො ලැගෙන බව හෝ ලක්ෂණ කොට ඇත්තේය. පියුම්පතෙහි දියබිඳු මෙනි. අල්වා නොගැනීම රසය කොට ඇත්තේ (කෙලෙසුන්ගෙන්) මිදුණු භික්ෂුව මෙනි. නොඇලෙන බව එළඹ සිටි කාරණයයි. අසූචියෙහි වැටුණු පුරුෂයකු මෙනි. අදෝෂය චණ්ඩි නොවන බව ලක්ෂණ කොට ඇත්තේය. අනුකූල මිත්රයකු මෙන් විරුද්ධ නොවීම හෝ ලක්ෂණකොට ඇත්තේය. ක්රෝධය යටපත් කිරිම රසයයි. පරිළාහය (මානසික දැවිල්ල) දුරුකිරීම හෝ රසයයි. සඳුන් මෙනි. සෞම්යභාවය එළඹ සිටි කාරණයයි. පුන්සඳ මෙනි. අමෝහ ලක්ෂණාදිය යට පඤ්ඤිහුය පදයෙහි ප්රකට කරන ලද්දේමය.
මෙසේ මේ තුනෙහි අලෝභය මසුරුමලට ප්රතිපක්ෂය, අද්වේෂය අද්වේෂය දුසිල්මලට ද අමෝහය කුශලධර්මයන් නොවැඩීමට ප්රතිපක්ෂය. මෙහි අලෝභය දානයට හේතුය. අද්වේෂය සීලයට හේතුය. අමෝහය භාවනාවට හේතුය. ඔවුනතුරෙන් අලෝභී පුද්ගලයා විසින් ලෝභියාගේ අධික ග්රහණයට වඩා අධික නොවූවක් ගනු ලැබේ. අද්වේෂී පුද්ගලයා විසින් ද්වේෂී පුද්ගලයාගේ ඌන ග්රහණයට වඩා අනූන වූවක් ගනු ලැබේ. අමෝහී පුද්ගලයා විසින් මෝහී පුද්ගලයාගේ විපරීතග්රහණයට වඩා අවිපරීතයක් ගනු ලැබේ.
මෙහිදී ද අලෝභී පුද්ගලයා විසින් පවත්නා වූ ද්වේෂය ද්වේෂය වශයෙන්ම දරමින් ද්වේෂය ලෙසින් පවත්වනු ලැබේ. ලෝහී පුද්ගලයා වනාහි ද්වේෂය වසයි. අද්වේෂී පුද්ගලයා විසින් පවත්නා ගුණය ගුණය වශයෙන් දරමින් ගුණයෙහිලා පවත්වනු ලැබේ. ද්වේෂී පුද්ගලයා වනාහි ගුණය මකාදමයි. අමෝහී පුද්ගලයා විසින් යථා ස්වභාවය යථා ස්වභාවයෙන් දරමින් යථා ස්වභාවයෙහි පවත්වනු ලැබේ. මුළා වූ පුද්ගලයා වනාහි සත්යය අසත්යයැයි ද අසත්යය සත්යයැයි ද ගනී. අලෝභයෙන් ප්රිය විප්රයෝග දුක ඇති නොවේ. ලෝභියාගේ ප්රිය ස්වභාවයෙන් ප්රිය විප්රයෝගය මනා ඉවසන නිසා (ප්රිය විප්රයෝග දුක ඇතිවේ. අද්වේෂයෙන් අප්රිය සම්ප්රයෝග දුක ඇති නොවේ. ද්වේෂී පුද්ගලයාට විනාහි අප්රිය ස්වභාවය නිසා අප්රිය සම්ප්රයෝගය නොඉවසන හෙයින් අප්රිය සම්ප්රයෝග දුක ඇතිවේ.) අමෝහයෙන් කැමති දේ නොලැබීමෙන් දුක ඇති නොවේ. මුළා නොවූ පුද්ගලයාට වනාහි එය මෙහිදී කොයින් ලැබේදැයි යන මේ ආදිය ප්රත්යවේක්ෂා කරන ස්වභාවය ඇති හෙයිනි.
මෙහිදී අලෝභයෙන් ජාති දුක ද ඇති නොවේ. අලෝභය තෘෂ්ණාවට ප්රතිපක්ෂ නිසා හා ජාති දුකට තෘෂ්ණාව මුල්වන නිසාත්ය. අද්වේෂයෙන් ජරාදුක ඇති නොවේ. තියුණු ද්වේෂී පුද්ගලයාට වහා ජරාව ඇතිවන හෙයිනි. අමෝහයෙන් මරණ දුක ඇති නොවේ. සම්මෝහ මරණය වනාහි දුකකි. මුළා නොවූවහුට මෙය නොවෙයි. අලෝභයෙන් ගිහියන්ටත් අමෝහයෙන් පැවිද්දන්ටත් අද්වේෂයෙන් වනාහි සියලුම දෙනාටත් සුඛ සංවාසයක් ඇතිවෙයි.
මෙහිදී විශේෂයෙන් අලෝභයෙන් ප්රේත විෂයෙහි උත්පත්තිය නොවේ. සත්ත්වයෝ වනාහි බොහෝසෙයින් තෘෂ්ණා හේතුවෙන් ප්රේත විෂයෙහි උපදිත්. අලෝභය තෘෂ්ණාවට ද ප්රතිපක්ෂය. අද්වේෂයෙන් නිරයෙහි උත්පත්තිය නොවේ. ද්වේෂයෙන් වනාහි චණ්ඩජාතික බැවින් ද්වේෂය හා සමාන වූ නිරයෙහි උපදිත්. අද්වේෂය ද්වේෂයට ප්රතිපක්ෂය. අමෝහයෙන් තිරිසන් යෝනියෙහි උපැත්ම නොවේ. මෝහයෙන් වනාහි නිතර මුළාවන තිරිසන් යෝනියෙහි උපදිත්. මෝහයට ප්රතිපක්ෂ වූයේ අමෝහයයි. මොවුනතුරෙන් ද අලෝභය රාග වශයෙන් එළඹීමට අභාවතරය. අද්වේෂය ද්වේෂ වශයෙන් පහව යාමට අභාවතරය. අමෝහය මෝහ වශයෙන් මධ්යස්ථවීමට අභාවතරය.
මේ තුනෙන්ම පිළිවෙළින් නෛෂ්ක්රම්ය සංඥාව, අව්යාපාද සංඥාව අවිහිංසා සංඥාව යන මේ තුන ද අශුභ සංඥාව අප්රමාණ සංඥාව, ධාතු සංඥාව යන මේ තුන ද සංඥාවෝ වෙත්. අලෝභයෙන් වනාහි කාමසුඛල්ලිකානු යෝග අන්තයේ ද, අද්වේෂයෙන් අත්තකිලමථානුයෝග අන්තයේ ද දුරුකිරීම වෙයි. අමෝහයෙන් මධ්යම ප්රතිපදාව පිළිපැදීම වෙයි. එසේම අලෝභයෙන් අභිධ්යා කායග්රන්ථයාගේ බිඳීම වෙයි. අද්වේෂයෙන් ව්යාපාද කාය ග්රන්ථයාගේ ද අමෝහයෙන් සෙසු ග්රන්ථද්වයේ ද බිඳීම වෙයි. පළමු සතිපට්ඨාන දෙක පළමු දෙකෙහි ආනුභාවයෙන් ද පශ්චිම සතිපට්ඨාන දෙක පශ්චිමයේ (අමෝහයේ) ආනුභාවයෙන් ද ඉෂ්ට වෙයි.
මෙහිදී අලෝභය ආරෝග්යයට හේතු වෙයි. නිර්ලෝභී පුද්ගලයා වනාහි ලෝභ කටයුතු වූද අයෝග්ය ආහාරදිය සේවනය නොකරයි. එහෙයින් වනාහි රෝග නැත්තෙක් වෙයි. අද්වේෂය යෞවන බවට හේතුවෙයි. අද්වේෂී පුද්ගලයා වනාහි රැළි වැටීම පැසීම ගෙනදෙන ද්වේෂාග්නියෙන් නොදැවෙන්නේ බොහෝ කලක් තරුණයෙක් වෙයි. අමෝහය දීර්ඝායුෂ බවට හේතුවෙයි. මුළා නොවූ පුද්ගලයා වනාහි හිතහිත දෙය දැන අහිත දෙය වර්ජනය කරමින් හිත දෙය සේවනය කරන්නේ දීර්ඝායුෂ ඇත්තේ වෙයි.
මෙහිදී අලෝභය ද භෝග සම්පත්තියට හේතුවෙයි. ත්යාගයෙන් භෝග ප්රතිලාභය වන බැවිනි. අද්වේෂය මිත්ර සම්පත්තියට හේතුවෙයි. මෛත්රියෙන් චිත්ර ප්රතිලාභය මෙන්ම අපරිහානීය බව ද වෙයි. අමෝහය ආත්ම සම්පත්තිය පිණිස වේ. මුළා නොවූයේ වනාහි තමාට හිතයක්ම කරනුයේ ආත්මය සම්පාදනය කරයි. අලෝභය ද දිව්ය විහරණයට හේතු වෙයි. අද්වේෂය බ්රහ්ම විහරණයට හේතු වෙයි. අමෝහය ආර්ය විහරණයට හේතුවෙයි.