කාමාවචරකුසල වර්ණනාව
කාමාවචරකුසලපදභාජනීයං
දැන් පිළිවෙළින් තබන ලද මාතෘකාවෙහි සංග්‍රහ කරන ලද ධර්මයන් ප්‍රභේද වශයෙන් දක්වන්නට ‘කතමෙ ධම්මා කුසලා’ යන මේ පදභාජනීය ආරම්භ කරන ලදී. එහි ‘යම් සමයෙක්හි කාමාවචර කුසල සිත උපන්නේ වේද, යන මේ ප්‍රථම කාමාවචර කුශල සිත දක්වන ලදී. එහි නිර්දේශයෙහි වනාහි ධර්ම ව්‍යවස්ථාන වාරය, සංග්‍රහ වාරය ශුන්‍ය වාරය යැයි මහාවාර තුනක් වෙයි. ඔවුනතුරෙන් ධර්ම ව්‍යවස්ථාන වාරය උද්දේස නිද්දේස වශයෙන් දෙයාකාරයකින් සිටියේය. ඔවුනතුරෙන් උද්දේස වාරයෙහි පුච්ඡා, සමය නිද්දේස, ධම්මුද්දේස අප්පණා යැයි පරිච්ඡේද සතරෙකි. ඔවුනතුරෙන් ‘කවර ධර්මයෝ කුශලයෝ ද, යන මෙය පුච්ඡා නමි. ‘යම් සමයෙක්හි කාමාවචර -පෙ- එසමයෙහි’ යන මෙය සමය නිද්දේසය නමි. ‘ස්පර්ශය වෙයි.’ -පෙ- අවික්‍ෂේපය වෙයි.’ යන මෙය සමුද්දේස නමි. ‘එසමයෙහි වෙනත් යම් ප්‍රතීත්‍ය සමුත්පන්න අරූපී ධර්මයෝ ඇත් ද, මේ ධර්මයෝ කුශලයෝ ය’ යන මෙය අර්පණා නමි.
මෙසේ සතර පරිච්ඡේදයකින් සිටි උද්දේස වාරයාගේ මේ ප්‍රථම පෘච්ඡා පරිච්ඡේදයයි. එහි ‘කතමෙ ධම්මා කුසලා’ යන මෙය කථෙතුකම්‍යතා පුච්ඡාවයි. පෘච්ඡාව පංචවිධය. අදිට්ඨජොතනා පුච්ඡා, දිට්ඨි සංසන්දනා පුච්ඡා, විමතිච්ඡෙදනා පුච්ඡා, කථෙතුකම්‍යතා පුච්ඡා යනුවෙනි. මේ ඔවුන්ගේ නානත්වයයි.
‘අදිට්ඨජොතනා පුච්ඡාව’ කුමක්ද? ප්‍රකෘතියේ ලක්‍ෂණය නොදන්නා ලද්දේ ද, නොදක්නා ලදද, තුලනය නො කරන ලදද, තීරණය නො කරන ලද ද, ප්‍රකට නොවී ද, භාවනා වශයෙන් නො වඩනා ලද ද, එය දැනගැනීම පිණිස, දැකීම පිණිස, තුලනය කිරිම පිණිස, තීරණය පිණිස, ප්‍රකට කිරිම පිණිස, විශේෂයෙන් වැඩීම පිණිස ප්‍රශ්න අසයි ද මේ අදිට්ඨජොතනා පුච්ඡාවයි.
දිට්ඨ සංසන්දනා පුච්ඡාව කවරේද? ප්‍රකෘතියේ ලක්‍ෂණය දන්නා ලද්දේ වේ ද, දක්නා ලද ද, තුලනය කරන ලද ද, තීරණය කරන ලද ද, ප්‍රකට කරන ලද ද, භාවනා වශයෙන් වඩනා ලද ද, හෙතෙම එය අන් පණ්ඩිතයන් සමග සංසන්දනය කිරීම පිණිස ප්‍රශ්න අසා ද මේ දිට්ඨ සංසන්දනා පුච්ඡාවයි.
විමතිච්ඡෙදනා පුච්ඡාව කවරේ ද? ප්‍රකෘතිය පිළිබඳ සැකයට වැටුණෝ වේ ද, විමතියට වැටුණෝ සැක ඇතිවූයේ මෙසේ ද, මෙසේ නොවේ ද, කිමෙක් ද, කෙසේදැයි හෙතෙම විමතිය සිඳීම පිණිස ප්‍රශ්න විචාරයි ද මේ විමතිච්ඡේදන පුච්ඡාවයි.
අනුමති පුච්ඡාව කවරේ ද? භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ගේ අනුමැතිය පිණිස ප්‍රශ්න විචාරණ සේක. ‘මහණෙනි, මෙය කෙසේ හඟිමු ද? රූපය නිත්‍ය ද, අනිත්‍ය ද, ‘ස්වාමීනි, අනිත්‍යය’ යමක් අනිත්‍යය නම් එය දුක ද සැප ද’, ‘ස්වාමීනි දුකය’, ‘යමක් දුක ද අනිත්‍ය ද වෙනස්වන ස්වභාවය ඇත්තේ ද එය මේ මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි දැකීම සුදුසු ද? ‘ස්වාමීනි, එය එසේ නොවේ යනුවෙනි’. මේ අනුමති පුච්ඡාවයි.
කථෙතුකම්‍යතා පුච්ඡාව කවරේ ද? භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට දේශනා කිරිමේ (කීවේ) කැමැත්තෙන් ප්‍රශ්න විචාරන සේක. ‘චත්තාරො මෙ භික්‍ඛවෙ’ සතිපට්ඨානා, කතමෙ චත්තාරො? යනුවෙනි. මේ කථෙතුකම්‍යතා පුච්ඡාවයි.
එහි බුදුවරුන්ට පළමු පෘච්ඡා තුන නැත. කවර හෙයින් ද, බුදුවරුන්ට වනාහි තුන් කල් පිළිබඳ කිසිත් සකස්කරන ලද්දක්, කාලවිමුක්ත වූවක් හෝ අසංඛතයක් නොදුටු දෙයක් නොදත් දෙයක් නො පැහැදිලි දෙයක් අතුලිතයක් තීරණය නොවූ දෙයක්, ප්‍රකට නො වූවක්, භාවනා වශයෙන් නොවඩන ලද්දක් නම් නැත. එහෙයින් ඒවා පිළිබඳ නොදුටු දේ පැහැදිලි කිරීම පිළිබඳ පෘච්ඡාවක් (විචාරීමක්) නැත. යමක් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් තමාගේ ඥානයෙන් ප්‍රතිවේධ කරන ලද ද ඒ පිළිබඳව අන්‍ය ශ්‍රමණයකු සමග හෝ බ්‍රාහ්මණයකු සමග හෝ සංසන්දනය කිරිමක් නැත. එහෙයින් උන්වහන්සේට දෘෂ්ටි සංසන්දනා පෘච්ඡාවක් නැත. යම්හෙයකින් උන්වහන්සේ අකථං කථි - කෙසේ ද කෙසේදැයි අසන්නෙක් නොවූ සේක් ද, සියලු ධර්මයන්හි සැකයෙන් තොර වූ සේක් ද, විගතසංසය ඇතිසේක් ද එහෙයින් උන්වහන්සේට විමතිච්ඡේදන පෘච්ඡාවක් නැත. අනෙක් පෘච්ඡා දෙක භාග්‍යවතුන් වහන්සේට ඇත. ඒවා අතුරෙන් මෙය කථෙතුකම්‍යතා පෘච්ඡාව යැයි දතයුතුයි.
එහි ‘කතමෙ’ යන පදයෙහි විස්තර කරන ලද ධර්මයන් විචාරයි. ‘ධම්මෙ කුසලා’ යන වචන මාත්‍රයෙන් කුමක් කරන ලද්දාහු ද, කුමක් හෝ කරත්දැයි දැනගන්නට නොහැකිය. ‘කතමෙ’ යැයි කී කල්හි වනාහි ඒ ධර්මයන් පිළිබඳ විචාළ බව පැනෙයි. එහෙයින් කතමෙ යන පදයෙන් විස්තර කළයුතු ධර්මයන් විචාරයි යැයි කියන ලදී. ‘ධම්මා කුසලා’ යන පද දෙකින් පෘච්ඡාවෙහි විචාළ ධර්මයන් දක්වයි. ඒවා පිළිබඳ අර්ථය යට ප්‍රකාශ කරන ලද්දේමය.
මෙහිදී කවර හෙයකින් වනාහි මෘතෘකාවෙහි මෙන් ‘කුසලා ධම්මා’ යැයි නො කියා ‘ධම්ම කුසලා’ යනුවෙන් පද පිළිබඳ කරන ලද ද? ප්‍රභේද වශයෙන් ධර්මයන්ගේ දේශනය දක්වා ප්‍රභේදවන්තයා දැක්වීම පිණිසයි. මේ අභිධර්මයෙහි වනාහි ධර්මයෝ ම දෙසිය යුත්තාහ. ඒ ධර්මයෝ ද කුශලාදී ප්‍රභේද වශයෙන් අන්ක ප්‍රභේද ඇත්තාහ. එහෙයින් මෙහිදී ධර්මයෝම දෙසිය යුත්තාහ. මේ ව්‍යාවහාර දේශනා නොවේ. ඒ දේශනාවෝ ද අනේකප්‍රභේද වශයෙන් ඝන බව වෙන්කරන ප්‍රතිසම්භිදා ඥානය ගෙන දෙන්නාහ. ‘කුසලා ධම්මා’ යැයි මෙසේ ප්‍රභේද වශයෙන් ධර්මයන්ගේ දේශනය නො දක්වා දැන් ඒ ප්‍රභේදයෙන් දෙසිය යුතු යම් ධර්මයෝ වෙත් ද ඒ ධර්මයන් දැක්වීමට ‘කතමෙ ධම්මා කුසලා’ යන මේ පද පිළිබඳ කරන ලදැයි දතයුතුයි. ප්‍රභේද ලත් ධර්මයන් දැක්වූ කල්හි ප්‍රභේද දැක්වීම යෙදේ. මනාව දතයුත්තේ ද වෙයි යනුයි.
දැන් ‘යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං’ යි මෙහි:
මුනීන්ද්‍රයන් වහන්සේ අර්ථ ප්‍රභේද වශයෙන් ධර්මයෙන් නියමකොට දක්වන්නට සමයෙහි සිත ද (සමය නියමිත) සිත සමග සමය ද විස්තර කළ සේක.