ධම්මුද්දෙසවාරො
ඣානඞ්ගරාසිවණ්ණනා
විතර්කනය (කල්පනා කිරිම) කෙරේනුයි = විතර්කයයි. විතර්කනය හෝ විතර්කයයි. කල්පනා කිරීම යැයි කියනු ලද්දේ වෙයි. ඒ මේ විතර්කය සිත අරමුණට යොමු කිරීම ලක්‍ෂණ කොට ඇත්තේය. එය වනාහි සිත අරමුණෙහි ආරෝපණය කරයි. යම්සේ කිසිවෙක් රාජවල්ලභ වූ ඥාතියකු හෝ මිත්‍රයකු නිසා රජගෙට නගීද, මෙසේ විතර්කය නිසා සිත අරමුණට නගී. එහෙයින් එය අරමුණේදි සිතට ආරෝපණය කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැයි කියන ලදී. නාගසේන ස්ථවිරයන් වහන්සේ වනාහි මෙසේ වදාළහ. ‘විතර්කය ආකෝටන (තට්ටු කිරිම) ලක්‍ෂණ කොට ඇත. මහරජ, යම්සේ තට්ටු කරන ලද බෙරය පසුව ඒ අනුව හැසිරේද, අනුව ශබ්ද කෙරේද, මහරජ. එපරිද්දෙන් තට්ටුකාරිව යම්සේද විතර්කය ද එසේයැයි දතයුතුයි. පසුව අනුරාවය වීම අනුව ශබ්දවීම යම්සේද විචාරය එසේයැයි දතයුතුයි යනුයි. ඒ මේ විතර්කය හැප්පීම හාත්පසින් හැප්පීම රසය කොට ඇත්තේය. යම්සේ වනාහි යෝගාවචර තෙම එයින් අරමුණට විතර්කයෙන් පහර දෙන ලද්දක් විතර්කයෙන් විශේෂයෙන් පහරදෙන ලද්දක් කෙරේයැයි කියනු ලැබේ. අරමුණෙහි සිත ගෙනයාම වැටහීම කොට ඇත්තේය.
(අරමුණෙහි එය සමග සිත) හැසිරේනුයි = විචාරයයි. විචාරණය හෝ විචාරණය හෝ විචාරයයි. අනුව සංඛාරය කිරීමයැයි කියන ලද්දේ වෙයි. ඒ මේ විචාරය අරමුණ පිරිමැදීම ලක්‍ෂණ කොට ඇත්තේය. එහිදී සහජාතයන් අනුව යෙදීම රසය කොට ඇත්තේය. සිතට අනුව බැඳීම වැටහීම කොට ඇත්තේය. කිසියම් තැනෙක එක්වීමක් ඇති කල්හි ද ඕලාරිකාර්ථයෙන් පූර්වාංගමාර්ථයෙන් ඝණ්ඨාව ගැසීමක් මෙන් විශේෂයෙන් ආරෝපණය කිරීම් අර්ථයෙන් ද සිතට පළමුවැටීම විතර්කයයි. සියුම් අර්ථයෙන් ද පිරිමැදීම් ස්වභාවාර්ථයෙන් ද ඝණ්ඨා අනුරාවය මෙන් අනුව බැඳෙනුයේ විචාරයයි. මෙහිදී විචාරය පැතිරවීම ඇත්තේය. පළමු උපන් කල්හි සිත ස්ඵන්දනය කරන සුලුය. අහසෙහි උඩ නගිනු කැමති පක්‍ෂිකයෙකුගේ පියාපත් වික්‍ෂේපය (කලබලය) මෙන් ද සුවඳ අනුව බැඳුණු සිත් ඇති බඹරාගේ පියුමට අභිමුඛව වැටීම මෙන් ද වෙයි. ශාන්ත පැවතුම් ඇති විචාරය සිත අතිශයින් ස්ඵන්දනය කරන ස්වභාවය ඇත්තේ නොවේ. අහසට නැගුණු පක්‍ෂියාගේ පියාපත් ගැසීම මෙන්ද පියුමට අභිමුඛව බස්නා බඹරාගේ පියුමට මතු භාගයෙහි පරිභ්‍රමණය මෙන් ද වෙයි.
අට්ඨකථාවෙහි වනාහි, අරමුණෙහි සිත ආරෝපණය කිරීම් වශයෙන් පවත්නා විතර්කය අහසෙහි යන මහා පක්‍ෂියෙකු දෙපියාපතින් වාතය ගෙන පියා සන්සිඳුවාගෙන ගමන්කිරිම මෙනි. එය වාතය ගැනීම පිණිස පියාසලන්නහුගේ ගමන මෙන් එකඟව පැමිණෙයි. පිරිමැදීම් වශයෙන් පවත්නේ විචාරයයි. එය වනාහි අරමුණ පිරිමදී යැයි කියන ලදී. එය අනුව බැඳීමෙන් පැවැත්මෙහි අතිශයින්ම යෙදේ. ඔවුන්ගේ මේ විශේෂය වනාහි ප්‍රථම ද්විතීය ධ්‍යානයන්හි ප්‍රකට වෙයි. තවද විතර්කය යම්සේ මලබැඳුණ රන්බඳුන එක් අතකින් දැඩිව ගෙන අනික් අතින් චූර්ණ තෙල් (සහිත) බුරුසුවකින් පිරිමදින්නාගේ දැඩිව ගත් අතරෙහි, විචාරය පිරිමදිනා අත මෙනි. එසේම විතර්කය දඬුපහරින් සක කරකවා භාජනයත් සාදන කුඹල්කරුගේ පෙළන අත මෙනි. විචාරය ඔබ මොබ හසුරුවන අත මෙනි. එසේම සිත අරමුණට නංවන විතර්කය, මණ්ඩලයක් කරන්නාගේ මැද නතරකිරිමට සිටි කටුව (කූඤ්ඤං) මෙනි. පිරිමදිනාසුලු විචාරය පිටත කරකවන කටුව (කූඤ්ඤය) මෙන්.
පිණවානුයි = ප්‍රීතියය. එය ප්‍රිය කිරිම ලක්‍ෂණ කොට ඇත්තේය. කය සිත පිනවීම හෝ එරණය (පැතිරීම) රසය කොට ඇත්තේ ය. ඔදවැඩි බව එළඹ සිටි කාරණ කොට ඇත්තේ ය. ඒ මේ ප්‍රීතිය වනාහි ඛුද්දකාපීති, ඛණිකාපීති, ඔක්කන්තිකාපීති, උබ්බේගාපීති, ඵරණාපීති යනුවෙන් පස්වැදෑරුම් වෙයි.
එහි ඛුද්දිකා පීතිය ශරීරයෙහි ලොමුදැහැ ගැනීමට පමණක් කරන්ට හැකිවෙයි. ඛණිකාපීතිය ක්‍ෂණයෙන් ක්‍ෂණය විදුලි කෙටීම සමාන වෙයි. ඔක්කන්තිකා පීතිය සමුද්‍ර තීරයෙහි රළ මෙන් වැදි වැදි බිඳෙයි. ශරීරය අග උඩට කොට අහසෙහි නැංවීමට තරම් උද්වේග ප්‍රීතිය බලවත් වෙයි. ඒ එසේමැයි:- පුණ්ණවල්ලික වැසි මහාතිස්ස ස්ථවිරයන් වහන්සේ පසළොස්වක දිනයෙහි සවස සෑමළුවට ගොස් සඳඑළිය දැක මහසෑයට අභිමුඛව මේ වේලාවෙහි වනාහි සිව්වනක් පිරිස මහසෑය වඳිත්යැයි ප්‍රකෘතියෙන් දුටු අරමුණු වශයෙන් බුද්ධාලම්භන උද්වේග ප්‍රීතිය උපදවාගෙන සුණුතලයෙක්හි ගසන ලද පන්දුවක් මෙන් අහසෙහි පැනනැගී මහසෑමළුයෙහිම පිහිටියහ.