කම්මපථරාසිවණ්ණනා
දැඩි ලෝභය නො කෙරේනුයි = අනභිජ්ඣාවයි. කායික චෛතසික සැපයයි. මෙලොවට පරලොවට හිත දෑද ගුණානුභාවයෙන් ලද කීර්ති ශබ්දය ද විපතට පත් නො කෙරේනුයි අව්යාපාදයයි. මනාව දකී. ශෝභන වූ හෝ දෘෂ්ටියයි නුයි = සම්යක් දෘෂ්ටියයි. මේවා අලෝභාදීන්ටම නම්ය. යටදී වනාහි මේවා මූල වශයෙන් ගන්නා ලදී. මෙහිදී කර්මපථ වශයෙන් යැයි දතයුතුයි.
ලොකපාලදුකවණ්ණනා
හිරි ඔතප් ද යට බල වශයෙන් ගන්නා ලදී. මෙහිදී ලෝකපාලන (ධර්ම) වශයෙන් (ගන්නා ලදී.) මේ ධර්ම දෙක වනාහි ලෝකය පාලනය කරයි. මෙසේ ද වදාළහ.
‘මහණෙනි, මේ කුශල ධර්මයෝ දෙදෙනෙක් ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක්ද යත්? ලජ්ජාව ද බිය ද යන මේ ධර්මයෝ ය. මහණෙනි, මේ කුශල ධර්මයෝ දෙදෙන ලොව පාලනය කෙරෙති. මහණෙනි, මේ කුශල ධර්මයෝ දෙදෙන ලොව පාලනය නො කෙරෙත් නම් මේ ලෝකයෙහි මවය කියා හෝ මවගේ සහෝදරිය කියා හෝ නැන්දා කියා හෝ ආචාර්යවරයාගේ භාර්යාව කියා හෝ ගරුකළයුත්තාගේ භාර්යාව කියා හෝ (වෙනසක්) නො පෙනෙන්නේය. එළුවෝ බැටළුවෝ කුකුළා ඌරෝ බල්ලෝ සිවල්ලු යම්සේ වෙත් ද, එපරිද්දෙන් ලෝකය (ආචාර ධර්ම) බිඳීමට පැමිණෙන්නේය. මහණෙනි, යම්හෙයකින් වනාහි මේ කුශල ධර්මයෝ දෙදෙන ලොව පාලනය කෙරෙත් ද එහෙයින්ම මවය කියා හෝ මවගේ සහෝදරිය කියා හෝ නැන්දා කියා හෝ ආචාර්යවරයාගේ භාර්යාව කියා හෝ ගරුකළ යුත්තාගේ භාර්යාව කියා හෝ (වෙනස) පෙනෙන්නේය. යනුයි.
පස්සද්ධාදියුගලවණ්ණනා
කය සංසිඳුවීම = කාය පස්සද්ධියයි. සිත සංසිඳුවීම චිත්ත පස්සද්ධියයි. මෙහි කාය යනු වේදනාදී ස්කන්ධත්රයයි. මේ දෙදෙනාම එක්කොට කාය චිත්ත දාහයන් සංසිඳුවීම ලක්ෂණ කොට ඇත්තේ කාය චිත්ත පස්සද්ධීහුය. කාය චිත්ත දාහයන් මර්දනය කිරිම රසය කොට ඇත්තාහ. කායචිත්තයන් කම්පා නොකරන සිහිල් බව එළඹ සිටි කාරණය කොට ඇත්තාහ. කායචිත්ත දෙක ආසන්න කාරණය, කය සිත නොසන්සිදුවන උද්ධච්ච ආදී ක්ලේශයන්ට ප්රතිපක්ෂ වූවාහු යැයි දතයුත්තාහ.
කයෙහි සැහැල්ලු බව = කාය ලහුතාවයි. සිතෙහි සැහැල්ලු බව = චිත්ත ලහුතාවයි. ඒ දෙදෙන කාය චිත්තයන්ගේ බර බව සංසිඳුවීම ලක්ෂණ කොට ඇත්තාහ. කාය චින්තයන්ගේ බර බව මර්දනය කිරිම රසය කොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ දක්ෂ බව එළඹ සිටි කාරණාකොට ඇත්තාහ. කායචිත්ත ආසන්න කාරණා කොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ බර බව තද බව ඇතිකරන ථීන මිද්ධාදී ක්ලේශයන්ට ප්රතිපක්ෂ වූවෝ යැයි දතයුතුයි.
කයෙහි මෘදුබව = කායමුදුතාය, සිතෙහි මෘදු බව = චිත්ත මුදුතාය, කාය චිත්තයන්ගේ තදබව සිදුවීම ලක්ෂණකොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ තදබව මර්දනය කිරීම රසයකොට ඇත්තාහ. නොහැපීම එළඹ සිටි කාරණය කොට ඇත්තාහ. කාය චිත්තයෝ ආසන්න කාරණ කොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ තදබව ඇතිකරන දිට්ඨිමානාදී ක්ලේශයන්ට ප්රතිපක්ෂ වූවාහුයැයි දතයුතුයි.
කයෙහි වැඩට සුදුසු බව = කාය කම්මඤ්ඤතාවයි. සිතෙහි වැඩට සුදුසු බව = චිත්ත කම්මඤ්ඤතාවයි. ඒ දෙදෙන කාය චිත්තයන්ගේ අකර්මණ්යතාව, සංසිඳුවීම ලක්ෂණ කොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ අකර්මණ්යභාවය මර්දනය කිරීම රසයකොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ ආරම්මණකරණ සම්පත්තිය එළඹසිටි කාරණය කොට ඇත්තාහ. කායචිත්ත ආසන්න කාරණය කොට ඇත්තාහ. කාය චිත්තයන් අකර්මණයභාවයට පත්කරන අවශේෂ නීවරණයන්ට ප්රතිපක්ෂ වූවෝ යැයි දතයුතුයි. ඔව්හු ප්රසාදනීය වස්තූන් කෙරෙහි ප්රසාදය ගෙනදෙන්නේය. හිතක්රියාවන්හි යෙදීමේ දක්ෂ බව ගෙන දෙන්නාහ. ස්වර්ණයෙන් විශුද්ධිය මෙනැයි දතයුතුයි.
කයෙහි ප්රගුණ බව = කාය පාගුඤ්ඤතාවයි. සිතෙහි ප්රගුණ බව = චිත්ත පාගුඤ්ඤතාවයි. ඒ දෙදෙන කාය චිත්තයන්ගේ නොගිලන්බව ලක්ෂණකොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ ගිලන්බව මර්දනය කිරිම රසය කොට ඇත්තාහ. ආදීනවයන්ගෙන් තොර බව එළඹ සිටි කාරණය කොට ඇත්තාහ. කාය චිත්තයන් ගිලන් කරන අශ්රද්ධා බව වැනි ක්ලේශයන්ට ප්රතිපක්ෂ වූවාහු යැයි දතයුතුයි.
කයෙහි ඍජු බව = කායුජ්ජුකතාවයි. සිතෙහි සෘජුබව = චිත්තජ්ජුකතාවයි. ඒ දෙදෙන කායචිත්තයන්ගේ සෘජුබව ලක්ෂණ කොට ඇත්තාහ. කාය චිත්තයන්ගේ කුටිල බව මර්දනය කිරීම රසයකොට ඇත්තාහ. ඇදැහැති බව එළඹ සිටි කාරණය කොට ඇත්තාහ. කායචිත්ත ආසන්න කාරණා කොට ඇත්තාහ. කායචිත්තයන්ගේ කුටිලබව ඇතිකරන මායාව කෛරාටික බව ආදී (ක්ලේශයන්)ට ප්රතිපක්ෂ වූවාහුයැයි දතයුතුයි.
සිහි කෙරේනුයි = සතියයි., මනාව දැනගනීනුයි = සම්පජඤ්ඤයයි. හාත්පසින් පිළිවෙළින් දැනගනී යන අර්ථයි. සාත්ථක සම්පජඤ්ඤය සප්පායසම්පජඤ්ඤය ගොචර සම්පජඤ්ඤය අසම්මොහ සම්පජඤ්ඤය මේ සතරදෙනාගේ වශයෙන් මෙහි ප්රභේද දතයුතුයි. මොවුන්ගේ ලක්ෂණාදිය වනාහි සතින්ද්රිය පඤ්ඤින්ද්රියන්හි කියන ලද නයින්ම දතයුතුයි. මෙසේ යට කියන ලද්දා වූ මේ ධර්මද්වය නැවත මෙතැනදී උපකාර වශයෙන් ගන්නා ලදී.
කාමච්ඡන්දාදී ප්රතිවිරුද්ධ ධර්මයන් සමනය කෙරේනුයි = සමථයයි. අනිත්යාදී වශයෙන් විවිධාකාරයෙන් ධර්මයන් දකීනුයි = විපස්සනාය. මෙය ප්රඥාවමය. අර්ථ වශයෙන් මේ දෙදෙනාගේ ලක්ෂණාදිය යට කියන ලදමය, මෙහිදී වනාහි මේ දෙදෙන එකට බැඳී සිටිනවුන් වශයෙන් ගන්නා ලදහ.