බලරාසිවණ්ණනා
ශ්රද්ධා බල ආදියෙහි ද ශ්රද්ධා ආදිය කියන ලදමය. කම්පා නොවන අර්ථයෙන් වනාහි බලය දතයුතුයි. මෙසේ මොවුනතුරෙහි නො ඇදහිය යුත්තෙහි කම්පා නොවේ නුයි = සද්ධා බලයයි. කුසීත බවෙහි කම්පා නොවේ නුයි = විරිය බලයයි. සිහි මුළා බවෙහි කම්පා නොවේනුයි = සති බලයයි. නොසන්සුන් බවෙහි කම්පා නොවේනුයි = සමාධි බලයයි. අවිද්යාවෙහි කම්පා නොවේනුයි = පඤ්ඤා බලයයි. අලජ්ජාවෙහි කම්පා නොවේනුයි = හිරි බලයයි. පවට බිය නොවීමෙහි කම්පා නොවීම = ඔත්තප්ප බලයැයි මේ උභයපද වශයෙන් අර්ථ වර්ණනාව වෙයි.
එහි පළමු පස යට ලක්ෂණාදියෙන් ප්රකාශ කරන ලද්දේමය. පශ්චිම ද්වයෙහි කාය දුශ්චරිතාදියෙන් ලජ්ජා වේනුයි = හිරි යයි. මෙය ලජ්ජාවට නමකි. ඒවායින්ම බියවේනුයි = ඔත්තප්පයි. පවින් උද්වේගයට පත්වීමට මෙය නමකි. ඔවුන්ගේම නානත්වය දැක්වීමට සමුට්ඨාන අධිපති ලජ්ජා භය ලක්ෂණ යන මේ මාතෘකාව තබා මේ විස්තර කථාව කියන ලදී.
ආධ්යාත්මයෙහි හටගනුයේ හිරි නමි. පිටත හටගනුයේ ඔත්තප්ප නමි. ආත්මාධිපති වූයේ හිරි නමි. ලෝකය අධිපති කොට ඇත්තේ ඔත්තප්ප නමි. සස්වාමික බව ලක්ෂණ කොට ඇත්තේ හිරි නමි. වරදෙහි බිය බව බය දක්නා බව ලක්ෂණ කොට ඇත්තේ ඔත්තප්ප නමි.
එහි ආධ්යාත්මයෙහි උපදනා ලජ්ජාව කාරණා සතරකින් උපදවයි. ජාතිය ප්රත්යවේක්ෂා කොට වයස ප්රත්යවේක්ෂා කොට ‘ශූරභාවය ප්රත්යවේක්ෂා කොට බහුශ්රැත බව ප්රත්යවේක්ෂා කොට (යනුවෙනි.) කෙසේද යත්? මේ පව්කිරීම නම් ජාති සම්පන්නයන්ගේ කර්මයක් නොවේ. මෙය හීන ජාති ඇති කෙවුල් ආදීන්ගේ කර්මයකි. මා වැනි ජාති සම්පන්නයකු මේ කර්මය කිරීම යුතු නොවේ යැයි මෙසේ වනාහි ජාතිය ප්රත්යවේක්ෂා කොට ප්රාණඝාතාදී පව් නොකරනුයේ ලජ්ජාව උපදවයි. එසේම මේ පව් කිරීම නම් ළදරුවන් විසින් කළයුතු කර්මයකි, මා වැනි (වැඩිහිටි) වයසෙහි සිටියකු මේ කර්මය කිරීම යුතු නොවේ යැයි මෙසේ වයස ප්රත්යවේක්ෂා කොට ප්රාණඝාතාදී පව් නො කරනුයේ ලජ්ජාව උපදවයි. එසේ පව්කම් නම් දුබල ජාතීන්ගේ කර්මයකි. (ශූරභාවය ඇති අයගේ ක්රියාවක් නොවේ) මා වැනි ශූරභාවයෙන් යුත් අයකු මේ කර්මය කරනු යුතු නොවේ යැයි මෙසේ ශූරභාවය ප්රත්යවේක්ෂා කොට ප්රාණඝාතාදී පව් නොකරනුයේ ලජ්ජාව උපදවයි. එසේම මේ මේ පාපකර්මය නම් අන්ධ බාලයින්ගේ කර්මයකි. පණ්ඩිතයන්ගේ කර්මයක් නොවේ. මා වැනි පණ්ඩිතයකු බහුශ්රැතයකු මේ කර්මය කිරිම යුතු නොවේයැයි මෙසේ බහුශ්රැත බව ප්රත්යවේක්ෂා කොට ප්රාණඝාතාදී පව් නොකරනුයේ ලජ්ජාව උපදවයි. උපදවා ද වනාහි තම සිතෙහි ලජ්ජාව පිවිසුවා පව්කම් නො කරයි. මෙසේ ආධ්යාත්මයෙහි උපදිනුයේ හිරි නම් වෙයි.
පිටත උපදිනුයේ ඔත්තප්ප නම් වනුයේ කෙසේද? යත්, ඔබ පව්කම් කරන්නේ නම් සිවුපිරිසෙහි ගර්හාවට පත්වන්නේය.
ගරහිස්සන්ති තං විඤ්ඤූ අසූචිං නාගරිකො යථා
වජ්ජිතො සීලවග්ගෙහි කථං භික්ඛු කරිස්ස සී’ති
වජ්ජිතො සීලවග්ගෙහි කථං භික්ඛු කරිස්ස සී’ති
‘නාගරිකයකු අශුචියක් මෙන් නුවණැත්තෝ ඔබට ගර්හා කරත්. සිල්වතුන් විසින් වර්ජනය කරන ලද්දේය. මහණ කෙසේ නම්, (මහණකම) කරන්නෙහි ද?’
මෙසේ ප්රත්යවේක්ෂා කරන්නා වනාහි බාහිරව උපන් ඔත්තප්පය නසා පව්කම් නො කරයි. මෙසේ බාහිරව උපන්නේ ඔත්තප්ප නම් වෙයි.
හිරිය ආත්මාධිපති නම් වූයේ කෙසේ ද? මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්රයෙක් තමා අධිපති කොට තමා ජ්යෙෂ්ඨ කොට ශ්රද්ධාවෙන් පැවිදි වූ බහුශ්රැත වූ ධුතාංගධර වූ මා වැනි අයෙකුට පව්කිරීම යුතු නොවේ යැයි පව් නොකරයි. මෙසේ ලජ්ජාව ආත්මාධිපති නම් වෙයි. එහෙයින් භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ‘හෙතෙම තමාම අධිපති කොට ජ්යෙෂ්ඨ කොට අකුසල් දුරු කරයි. කුසල් වඩයි. සාවද්ය දුරුකරයි. නිරවද්ය වඩයි. පිරිසිදු වූ ආත්මය පවත්වාගෙන යයි’ යනුයි.
ඔත්තප්පය කෙසේ නම් ලෝකාධිපති වේද, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්රයෙක් ලෝකය අධිපති කොට ලෝකය ජ්යෙෂ්ඨ කොට පව්කම් නොකරයි. මෙසේ ද කීහ. ‘මේ ලෝක සන්නිවාසය (ලෝක සමාජය වනාහි) විශාලය. මහත් වූ ලෝක සන්නිවාසයෙහි වනාහි ඍද්ධිමත් දිවැස් ඇති පරසිත් දන්නා මහණ බමුණෝ ඇත. ඔව්හු දුර සිටම දකිත්. ආසන්නයේ දී නො පෙනෙත්. (තමන්ගේ) සිතින් (අන්යයන්ගේ) සිත දැනගනිත්. ඔව්හු ද මා මෙපරිද්දෙන් දැනගනිත්. පින්වත, ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදිව ලාමක වූ අකුශල ධර්මයන්ගෙන් ගැවසී ගෙන වාසය කරයි බලව් කියායි. ඍද්ධිමත් දිවැස් ඇති පරසිත් දන්නා දේවතාවෝ ඇත. ඔව්හු දුරදී දකිත්. ආසන්න වූවෝ නොපෙනෙත්. සිතින් සිත දනිත් ඔව්හු ද පින්වත, ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදිව ලාමක වූ අකුශල ධර්මයන්ගෙන් ගැවසී වාසය කරන මේ කුලපුත්රයා බලව් මා දැනගනිත් යැයි හෙතෙම ලෝකයම අධිපති කොට ජ්යෙෂ්ඨ කොට අකුසල් දුරු කරයි. කුසල් වඩයි. සාවද්ය දුරලයි. නිවරද්ය වඩයි. පිරිසිදු තමා පරිහරණය කරයි’ යනුයි. මෙසේ ඔත්තප්පය ලෝකාධිපති නම් වෙයි.
ලජ්ජා ස්වභාවයෙන් සිටියේ හිරියයි. භය ස්වභාවයෙන් සිටියේ ඔත්තප්පයයි. මෙහි වනාහි ලජ්ජා යනු ලජ්ජාවන ආකාරයයි. ඒ ස්වභාවයෙන් සිටියේ හිරියයි. බිය යනු අපාය බියයි. ඒ ස්වභාවයෙන් සිටියේ ඔත්තප්පයයි. ඒ දෙකම පවින් තොරවීමේදී ප්රකට වේ. ඇතැමෙක් වනාහි (මෙසේ ද කියයි.) එක් කුලපුත්රයෙක් මලමූත්ර පහකිරීම් ආදිය කරනුයේ ලජ්ජා විය යුතු එකකු දැක ලජ්ජාවන ආකාරයට පත්වූයේ යම්සේ ලජ්ජා වූයේ වෙයිද, මෙපරිද්දෙන් තමා ලජ්ජා ධර්මයට බැසගෙන පව්කම් නොකෙරේ. ඇතැමෙක් අපායබයින් බිය වූයේ පව්කම් නොකෙරේ.