මග්ගඞ්ගරාසිවණ්ණනා
සම්මා දිට්ඨි ආදියෙහි දර්ශනාර්ථයෙන් = සම්මා දිට්ඨියයි. සිත අරමුණට යොමුකිරිම් අර්ථයෙන් සම්මා සංකල්පයයි. වැටහීම් අර්ථයෙන් සම්මා සතියයි. චංචල නොවන අර්ථයෙන් = සම්මා සමාධි යැයි දතයුතුයි. වචනාර්ථ වශයෙන් වනාහි මනාව දකී හෝ එයින් මනාව දකිත්නුයි = සම්මා දිට්ඨියයි. මනාව සංකල්පනය කෙරෙයි හෝ එයින් මනාව සංකල්පනා කරත්නුයි = සම්මා සංකප්ප යි. මනාව උත්සාහ කෙරෙයි හෝ එයින් මනාව උත්සාහ කරත්නුයි - සම්මා වායාමයි. මනාව සිහිකරයි හෝ එයින් මනාව සිහි කරත්නුයි = සම්මා සතියයි. මනාව සමාධියට පත්වෙයි හෝ එයින් මනාව සමාධියට පත්වෙත්නුයි = සම්මා සමාධියි. තවද ප්‍රශස්ත වූ හෝ සුන්දර වූ දෘෂ්ටිය සම්මා දිට්ඨි යැයි. මේ නයින්ද ඔවුන්ගේ වචනාර්ථය දතයුතුයි. ලක්‍ෂණාදිය වනාහි යට කියන ලදමය.
බලරාසිවණ්ණනා
ශ්‍රද්ධා බල ආදියෙහි ද ශ්‍රද්ධා ආදිය කියන ලදමය. කම්පා නොවන අර්ථයෙන් වනාහි බලය දතයුතුයි. මෙසේ මොවුනතුරෙහි නො ඇදහිය යුත්තෙහි කම්පා නොවේ නුයි = සද්ධා බලයයි. කුසීත බවෙහි කම්පා නොවේ නුයි = විරිය බලයයි. සිහි මුළා බවෙහි කම්පා නොවේනුයි = සති බලයයි. නොසන්සුන් බවෙහි කම්පා නොවේනුයි = සමාධි බලයයි. අවිද්‍යාවෙහි කම්පා නොවේනුයි = පඤ්ඤා බලයයි. අලජ්ජාවෙහි කම්පා නොවේනුයි = හිරි බලයයි. පවට බිය නොවීමෙහි කම්පා නොවීම = ඔත්තප්ප බලයැයි මේ උභයපද වශයෙන් අර්ථ වර්ණනාව වෙයි.
එහි පළමු පස යට ලක්‍ෂණාදියෙන් ප්‍රකාශ කරන ලද්දේමය. පශ්චිම ද්වයෙහි කාය දුශ්චරිතාදියෙන් ලජ්ජා වේනුයි = හිරි යයි. මෙය ලජ්ජාවට නමකි. ඒවායින්ම බියවේනුයි = ඔත්තප්පයි. පවින් උද්වේගයට පත්වීමට මෙය නමකි. ඔවුන්ගේම නානත්වය දැක්වීමට සමුට්ඨාන අධිපති ලජ්ජා භය ලක්‍ෂණ යන මේ මාතෘකාව තබා මේ විස්තර කථාව කියන ලදී.
ආධ්‍යාත්මයෙහි හටගනුයේ හිරි නමි. පිටත හටගනුයේ ඔත්තප්ප නමි. ආත්මාධිපති වූයේ හිරි නමි. ලෝකය අධිපති කොට ඇත්තේ ඔත්තප්ප නමි. සස්වාමික බව ලක්‍ෂණ කොට ඇත්තේ හිරි නමි. වරදෙහි බිය බව බය දක්නා බව ලක්‍ෂණ කොට ඇත්තේ ඔත්තප්ප නමි.
එහි ආධ්‍යාත්මයෙහි උපදනා ලජ්ජාව කාරණා සතරකින් උපදවයි. ජාතිය ප්‍රත්‍යවේක්‍ෂා කොට වයස ප්‍රත්‍යවේක්‍ෂා කොට ‘ශූරභාවය ප්‍රත්‍යවේක්‍ෂා කොට බහුශ්‍රැත බව ප්‍රත්‍යවේක්‍ෂා කොට (යනුවෙනි.) කෙසේද යත්? මේ පව්කිරීම නම් ජාති සම්පන්නයන්ගේ කර්මයක් නොවේ. මෙය හීන ජාති ඇති කෙවුල් ආදීන්ගේ කර්මයකි. මා වැනි ජාති සම්පන්නයකු මේ කර්මය කිරීම යුතු නොවේ යැයි මෙසේ වනාහි ජාතිය ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රාණඝාතාදී පව් නොකරනුයේ ලජ්ජාව උපදවයි. එසේම මේ පව් කිරීම නම් ළදරුවන් විසින් කළයුතු කර්මයකි, මා වැනි (වැඩිහිටි) වයසෙහි සිටියකු මේ කර්මය කිරීම යුතු නොවේ යැයි මෙසේ වයස ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රාණඝාතාදී පව් නො කරනුයේ ලජ්ජාව උපදවයි. එසේ පව්කම් නම් දුබල ජාතීන්ගේ කර්මයකි. (ශූරභාවය ඇති අයගේ ක්‍රියාවක් නොවේ) මා වැනි ශූරභාවයෙන් යුත් අයකු මේ කර්මය කරනු යුතු නොවේ යැයි මෙසේ ශූරභාවය ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රාණඝාතාදී පව් නොකරනුයේ ලජ්ජාව උපදවයි. එසේම මේ මේ පාපකර්මය නම් අන්‍ධ බාලයින්ගේ කර්මයකි. පණ්ඩිතයන්ගේ කර්මයක් නොවේ. මා වැනි පණ්ඩිතයකු බහුශ්‍රැතයකු මේ කර්මය කිරිම යුතු නොවේයැයි මෙසේ බහුශ්‍රැත බව ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රාණඝාතාදී පව් නොකරනුයේ ලජ්ජාව උපදවයි. උපදවා ද වනාහි තම සිතෙහි ලජ්ජාව පිවිසුවා පව්කම් නො කරයි. මෙසේ ආධ්‍යාත්මයෙහි උපදිනුයේ හිරි නම් වෙයි.