ඉන්ද්රියරාසිවණ්ණනා
මෙයින් අදහති. තෙමේ හෝ අදහයි. මෙය ඇදහීම් මාත්‍රයෙහි යනු හෝ = ශ්‍රද්ධාවයි. එය ද ශ්‍රද්ධා නැත්හු අභිභවනය කරන හෙයින් අධිපති අර්ථයෙන් ඉන්‍ද්‍රිය වෙයි. නිශ්චය ලක්‍ෂණයෙන් හෝ ප්‍රධානත්වය කෙරේනුයි හෝ = ඉන්‍ද්‍රියයි. ශ්‍රද්ධාවම ඉන්‍ද්‍රිය වූයේ = සද්ධින්‍ද්‍රියයි. ඒ මේ ශ්‍රද්ධාව වනාහි විශේෂයෙන් පහදවන ලක්‍ෂණය ද ජනිත ලක්‍ෂණය ද ඇත්තේය.
යම්සේ වනාහි සක්විති රජුගේ උදක ප්‍රසාදක මාණික්‍යය දියෙහි දමන ලද්දේ ගොහොරු මඩ සෙවෙල් පහකර මඩ කිඳා බස්වයිද, ජලය පිරිසිදු කරයි. පැහැදිලි කෙරේ ද, නොකැළඹුණු බවට පත්කෙරේ ද, එපරිද්දෙන් ශ්‍රද්ධාව උපදිනුයේ නීවරණයන් යටපත් කෙරෙයි. කෙලෙස් යටපත් කෙරෙයි. සිත පහදවයි. නොකැළඹුණු බවට පත් කෙරෙයි. මෙපරිද්දෙන් ශ්‍රද්ධාව උපදිනුයේ නීවරණයන් යටපත් කෙරෙයි. කෙලෙස් සංසිඳුවයි. සිත පහදවයි. නොකැළඹුණු බවට පත් කෙරෙයි. යෝගාවචර කුලපුත්‍ර තෙමේ දන් දෙයි. සිල් සමාදන් වෙයි. පෙහෙවස් රකියි. භාවනාව ආරම්භ කරයි. මෙසේ වනාහි ශ්‍රද්ධාව විශේෂයෙන් පහදවන ලක්‍ෂණ ඇත්තේයැයි දතයුතුයි. එහෙයින් නාගසේන ආයුෂ්මතුන් වහන්සේ මෙසේ වදාළහ.
‘යම්සේ මහරජ! සක්විති රජ සිවුරඟ සෙනග (සමග දීර්ඝ මාර්ගයට පිළිපන්නේ) ස්වල්ප වූ දියපාරකින් එතර වෙයිද, එහි ජලය ඇතුන්ගෙන්ද අසුන්ගෙන් ද රථවලින් ද පාබල සෙනගින් ද කැළඹුණේ වෙයි ද, මඩවූයේ වෙයිද, එතරමුණු රජ ‘බොලව්, බීමට පැන් ගෙනෙව්’ යැයි මිනිසුන්ට අණ කරන්නේ ය. රජුටද උදකප්‍රසාදන මාණික්‍යයක් ඇත්තේය. ඒ මිනිස්සු ‘එසේය දේවයන් වහන්ස’යි රජුට පිළිතුරු දී ඒ උදක ප්‍රසාදක මාණික්‍යය ජලයෙහි බහාලන්නාහුය. (එය) දියෙහි බහාලූ පමණින් වහාම මඩසෙවෙල් යටපත් වේද, පිරිසිදු වේද, ජලය පැහැදිලි වේද, නොකැළඹුණේ වෙයිද, ඉන්පසු දේවයන් වහන්ස, පැන් පානය කරන්නැයි රජුට පැන් පිරිනමන්නාහුය.
මහරජ, ජලය යම්සේ ද සිත එසේයැයි දතයුතුයි. ඒ මිනිස්සු යම්සේද, යෝගාවචරයා එසේයැයි දතයුතුයි. ගොහොරු මඩ සෙවෙල් නොකර මඩ යම්සේද කෙලෙස් එසේයැයි දතයුතුයි. උදක ප්‍රසාදක මාණික්‍යය යම්සේ ද ශ්‍රද්ධාව එසේයැයි දතයුතුයි. උදක ප්‍රසාදක මාණික්‍යය බහාලූ කල්හි ගොහොරුව සෙවෙල් නොකර මඩ ද පහවෙයි ද ජලය පිරිසිදු වෙයි ද, ජලය පැහැදුණේ නො කැළඹුණේ වෙයි ද, මහරජ, මෙපරිද්දෙන් වනාහි ශ්‍රද්ධාව උපදිනුයේ තීරණයන් පහකරයි. සිත නීවරණයන්ගෙන් තොර වෙයි. පිරිසිදු වූයේ පැහැදිලි වූයේ නොකැළඹුණේ වෙයි යනුයි.
යම්සේ වනාහි කිඹුල් මකර ආදීන්ගෙන් ගහණ රාක්‍ෂසාදීන්ගෙන් සංකීර්ණ වූ පිරුණු මහනදියක් වෙත පැමිණ බියට පත් මහජනයා දෙතෙර සිටිත්ද, සංග්‍රාම සූර වූ මහා යෝධයෙක් අවුත් කවර හෙයින් සිටින්නහුදැයි විචාර ප්‍රතිභය සහිත බැවින් තරණය කරන්නට අසමර්ථයයි කී කල්හි ඉතා සියුම් කඩුවක් ගෙන මා පස්සෙන් එව්. බිය නොවව් යැයි කියා නදියට බැස ආ කිඹුල් ආදීන් වළක්වා මෙතෙර මිනිසුන් සුවපත් කෙරෙමින් එතෙරට පමුණුවයි ද, එතෙරින් ද සුවසේ මෙතෙරට පමුණුවයි ද මෙපරිද්දෙන් දන් දෙන්නාගේ සිල් රකින්නාගේ පෙහෙවස් රකින්නාගේ භාවනාව අරඹන්නාගේ ශ්‍රද්ධාව පූර්වාංගම වෙයි. ඉදිරියෙන් හැසිරෙන්නා වෙයි. එහෙයින් ‘ශ්‍රද්ධා පන්න ලක්‍ෂණ ඇත්තේ යැයි’ කියන ලදී.
තවත් නයක් (එනම්) ශ්‍රද්ධාව ඇදහීම ලක්‍ෂණකොට ඇත්තේ හෝ පවට බියබව ලක්‍ෂණකොට ඇත්තේ වෙයි. උදක ප්‍රසාදක මැණික මෙන් පැහැදවීම රසකොට ඇත්තේය. ඕඝතරණය මෙන් පැනීම රසකොට ඇත්තේය. නොකිලිටි බව එළඹ සිටින ආකාරයයි. අධිෂ්ඨානය හෝ එළඹ සිටින ආකාරයයි. ඇදහිය යුතු වස්තුව හෝ සෝතාපත්තියංගය ආසන්න කාරණයයි. සියතින් දමන ලද බීජ මෙනැයි දතයුතුයි.
වීරයාගේ භාවය = වීර්යයයි. වීරයාගේ කර්මය හෝ = වීර්යයයි. ක්‍රමයෙන් හෝ නයින් හෝ උපායෙන් සෙලවිය යුතුයි. පැවැත්විය යුතුයි නුයි = වීර්යයයි. එයම කුසීතබව මඩනා හෙයින් අධිපති අර්ථයෙන් ඉන්‍ද්‍රියයි. උත්සාහ කිරිම් ලක්‍ෂණයෙහි හෝ අධිපති බව කරවානුයි = ඉන්‍ද්‍රියයි. වීර්යයම ඉන්‍ද්‍රිය වූයේ = විරියින්‍ද්‍රියයි. ඒ මේ වීර්යය උපකාරවීම් ලක්‍ෂණය ද උත්සාහවත් කිරිමේ ලක්‍ෂණය ද ඇත්තේ ය. යම්සේ දිරූ ගෙයක් ආගන්තුක වූ ටැඹක උපකාරයෙන් සිටී ද, මෙපරිද්දෙන් යෝගාවචර තෙමේ වීර්යයේ උපකාරයෙන් රුකුල් ලැබ සියලු කුශල ධර්මයන්ගෙන් නොපිරිහේ ද, වෙසෙසින් නො පිරිහේද මෙපරිද්දෙන් වනාහි එහි උපත්‍ථම්භන ලක්‍ෂණය දතයුතුයි. එහෙයින් නාගසේන ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ.
‘මහරජ, යම්සේ ගෙයක් වැටෙද්දී වෙනත් දැවයකින් රුකුල් දෙනුයේ ද, රුකුල් දෙනු ලැබුවා වූ ම ඒ ගෙය නො වැටේද, මහරජ, එපරිද්දෙන් වනාහි වීර්යය උපකාර වන ලක්‍ෂණ ඇත්තේය. වීර්යයෙන් උපස්ථම්භිත සියලු කුශල ධර්මයෝ (නො පිරිහෙත්) වෙසෙසින් නො පිරිහෙත්’ යනුයි.