9. අක්ඛණ සූත්ර වර්ණනාව
නවවැන්නෙහි ක්ෂණයෙහි කටයුතු කරයිනුයි ඛණකිච්චො නමි, අවකාශ ලබාම කටයුතු කරයි යන අරුතයි. ධම්මො යනු සිවුසස් දහම්ය. ඔපසමිකො යනු කෙලෙස් සංසිඳීම ගෙන එන්නාවූයි. පරිනිබ්බායිකො යනු කෙලෙස් පිරිනිවම කරන්නාවූයි, සිවුමග නුවණ නම්වූ සම්බෝධියට යයි, සැපැමිණෙයි යන්නෙන් සම්බොධගාමි නමි. දීඝායුකං දෙවනිකායං යනු මෙය අසංඥී දේවනිකාය සඳහා කියන ලදි. අවිඤ්ඤාතාරෙසු යනු බෙහෙවින්ම නොදන්නවුන් අතුරෙහියි,
සුප්පවෙදිතෙ යනු මනාව කියන ලද්දෙහියි. අන්තරායිකා යනු අන්තරාය ඇතිකරන්නාවූයි. ඛණො වෙ මා උපච්චගා මේ ලබන ලද අවස්ථාව නොඉක්මේවායි. ඉධචෙව නං විරොධෙති යනු ඉදින් පමාව හැසිරෙන කිසිවෙක් මෙහි මේ අවස්ථාව ලබා සද්ධර්මයාගේ සහතිකභාවය වූ ආර්ය්යමාර්ගය වළක්වයිද නොසපයයි ද යනුයි, අතීතත්ථො යනු අත්හළ අරුත් ඇත්තේයි, චිරත්තං අනුතපෙස්සති යනු බොහෝ කලක් තැවෙයි. යම්සේ නම් අසුවල තැන බඩු සම අගයක් (සාධාරණ අගයක්) ඇත්තේයයි අසා එක් වෙළෙන්දෙක් නොයෙන්නේද අන් අය ගොස් ගන්නාහුද ඔවුනට එය අට ගුණයක් ද දසගුණයක් ද (ලාභ) වන්නේය. ඉක්බිති සෙසු (නොගිය) පුද්ගලයා මගේ අර්ත්ථය ඉක්මුනේ යයි තැවෙන්නේද එසේ යමෙක් මෙහි අවකාශයක් ලැබ නොපිළිපදින්නේ සද්ධර්මයාගේ සහතිකභාවය වළහයි. හෙතෙම මේ වෙළෙන්දා මෙන් පහවූ අර්ත්ථ ඇත්තේ තැවෙයි, වැඩිදුරටත් ශෝකකරයි. අවිද්යාවෙන් ගැළුණු පුද්ගලයා ද එසේය. පච්චවිදුං යනු අවබෝධ කළාහුය. සංවරා යනු සීලසංවරයෙනි, මාරධෙය්යසරානුගෙ යනු මාරයාට අයත්දෙය නම් වූ සසරට අනුගතවූයි. පාරගතා යනු නිවනට ගියෝයි, යෙ පත්තා ආසවක්ඛයං යනු යමෙක් රහත් බවට පත්වූවාහුද ඔවුහුයි, මෙසේ මෙහි ගාථාවන්හි සසර හා නිවන කියන ලදි.
10. අනුරුද්ධ සූත්ර වර්ණනාව
දසවැන්නෙහි චෙතීසු යනු චෙති නම් රජුන්ගේ නිවාසස්ථානය බැවින් එසේ ලබන ලද ව්යවහාරය ඇති රටෙහියි, පාචීනවංසදායෙ යනු බුදුරජාණන් වහන්සේ නිවසන තැනින් පෙරදිගෙහි සිටි උණවනයෙහි, නිලෙන් බබළන උණවලින් ගැවසුණු අරණෙහියි, එවං චෙතසො පරිවිතක්කො උදපාදී යනු හෙතෙම පැවිදිව පළමු ඇතුළු වසෙහිම සමවත් ලැබූවෙක් වී දහසක් ලොව දැකීමට සමත් දිවැස් නැණ ඉපදවීය. හෙතෙම සැරියුත් තෙරුන් සමීපයට ගොස් මෙසේ කීවේය. “ඇවැත් සාරිපුත්තයිනි, මෙහි මෙම පිරිසුදු වූ මානුෂිකත්වය ඉක්මවූ දිවැසින් දහසක් ලොව බලමි. මගේ වීර්යය ඇරඹිණි. හුදෙකලාව පිහිටියේයි. එළඹසිටි සිහිය නොමුළාය. කය සැහැල්ලුය. සන්සුන්ය. සිත සමාහිතය, එකඟව තිබේ. එතකුදු වුවත් මගේ සිත ආශ්රවයන්ගෙන් උපාදානයෙන් තොරව නොමිදෙයි.” ඉක්බිති ඔහුට තෙරුන් වහන්සේ මෙසේ කීහ. “ඇවැත් අනුරුද්ධයිනි, මම දිවැසින් - පෙ- ලොව බලමියි යන යමක් වේද මෙය ඔබගේ මානයෙහි (මානය නිසා) සිදුවන්නකි. ඇවැත් අනුරුද්ධයිනි, මගේ වීර්යය ඇරඹිණ. - පෙ- සිත එකඟ විණැයි මෙසේ ඔබගේ යමක් වේද එය ඔබගේ උද්ධච්චයෙහි සිදුවන්නකි. ඇවැත් අනුරුද්ධයිනි, එතකුදු වුවත් මගේ සිත ආශ්රවයන්ගෙන් උපාදාන විරහිතව නොමිදෙයි යන මෙසේ යමක් වේද එය ඔබගේ කුකුසෙහි (කුක්කුච්චයෙහි) සිදුවෙයි. ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ මේ ධර්ම තුන අතහැර මේ ධර්මතුන මෙනෙහි නොකොට නිර්වාණධාතුවට සිත යොමු කරන්නේ මැනවැ”යි මෙසේ ඔහුට තෙරණුවෝ කමටහන් කීහ. හෙතෙම කමටහන් ගෙන ප්රත්යයෙහි ශාස්තෲන් වහන්සේට දන්වා චෙති රටට ගොස් මහණදම් කරමින් අඩමසක් සක්මණින් කල්යැවීය. හෙතෙම වීර්ය්ය වේගයෙන් වැඩුණු බැවින් වෙහෙසට පත් සිරුර ඇත්තේ එක් උණු පඳුරක් යට හුන්නේය. ඉක්බිති ඔහුට එවං චෙතසො පරිචිතක්කො උදපාදි යනු මේ මහා පුරුෂ විතර්කය උපන්නේ යයි අරුත්ය.
අප්පිච්ඡස්ස යනු මෙහි අපිස්බව ඇත්තේ, ධුතඞ්ගයෙහි අපිස් බව ඇත්තේ යයි අපිස් බව ඇත්තෝ සතර දෙනෙකි. එහි ප්රත්යයෙහි අපිස් බව ඇත්තා බොහෝ දෙනවිට ටිකක් ගනියි, ටිකක් දෙනවිට ඉතා ටිකක් ගනියි. ඉතුරු නොවීමට සතුරුවන්නෙක් නොවේ. අධිගමයෙහි අපිස් ඇත්තා මජ්ඣන්තික තෙරුන් මෙන් තමන්ගේ අධිගමය අනුන්ට දැනීමට (ඉඩ) නොදෙයි. පර්ය්යායෙහි අපිස් තැනැත්තේ ත්රිපිටකධරයෙක් වුවද බොහෝ දත්බව නොදන්වනු කැමැත්තේ වෙයි. සාකෙතක තිස්ස තෙරුන් මෙනි. ධුතඞ්ගයෙහි අපිස් ඇත්තා ධුතඞ්ගයන් පරිහරණය කරන බව අනුන්ට දැනීමට නොදෙයි. ද්වෙභාතික තෙරුන්ගෙන් දෙටු තෙරුන් මෙනි. කථාවස්තුව විසුද්ධිමග්ගයෙහි කියනලදි. අයං ධම්මො යනු මෙසේ ලැබූ ගුණ සැඟවීමෙන් ද පිළිගැනීමෙහි පමණ දැනීමෙන් ද අපිස් පුද්ගලයාට මේ නවලොවුතුරු දහම සපැමිණෙයි. බොහෝ දේ කැමැත්තාට නොවේ. මෙසේ සියලු තැන්හි යෙදියයුතුය.