1. ප්‍රථම පණ්ණාසකය
1. මෙත්තා වර්ගය
1. මෙත්තානිසංස සූත්‍ර වර්ණනාව
අට්ඨක නිපාතයෙහි පළමුවැන්නෙහි ආසෙචිතාය යනු අදරින් ඇසුරු කරන ලද්දාවූයි, භාවිතාය යනු වඩන ලද්දාවූයි, බහුලීකතාය යනු යළියළිත් කරන ලද්දාවූයි, යානිකතාය යනු සුදුසු ස්ථානයකට සමානව කරන ලද්දාවූයි, වත්‍ථුකතාය යනු දැඩිව පිහිටීම් අරුතින් ඉඩමක් වෙන් කරන ලද්දාවූයි, අනුට්ඨිතාය යනු එළඹ සිටියාවූයි, පරිචිතාය යනු හාත්පසින් රැස්කරන ලද්දාවූ, එකතුකරන ලද්දා වූයි, සුසමාරද්ධාය යනු මනාව අරඹන ලද්දාවූ, මානව කරන ලද්දාවූයි, ආනිසංසා යනු ගුණයෝයි, සුඛං සුපති යනාදියෙහි යමක් කිවයුතුද එය එකොළොස්වන නිපාතයෙහි කියමු.
අප්පමාණං යනු පැතිරීම් වශයෙන් අපමණ වූයේයි, තනු සංයොජනා හොන්ති පස්සතො උපධික්ඛයං යනු මෛත්‍රිය අනන්තර හේතුව වූ විදර්‍ශනාවෙන් අනුක්‍රමයෙන් උපධික්ෂය සංඛ්‍යාත වූ රහත්බවට පත්වූවහුගේ දසසංයෝජනයෝ ප්‍රහීන වෙත්යැයි අරුත්ය. නැතහොත් තනු සංයොජනා හොන්ති යනු ප්‍රතිඝය ද ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ සංයෝජනය ද තුනී බවට යයි, පස්සතො උපධික්ඛයං යනු ඒ කෙලෙස් උපධීන්ගේම විනාශය සංඛ්‍යාත මෛත්‍රිය අධිගම වශයෙන් බලන්නාගේයි, කුසලී තෙන හොති යනු ඒ මෛත්‍රී කිරීමෙන් දක්‍ෂ වෙයි, සත්තසණ්ඩං යනු සත්ත්ව සංඛ්‍යාත වූ ලැහැබෙන් යුක්ත වූ, සත්ත්වයාගෙන් බර වූ යන අරුත්ය, ජිනිත්වා යනු දඬු නැතිව අවිනැතිව දැහැමින්ම දිනායි, රාජිසයො යනු සෘෂිවරුන් සමාන දැහැමි රජවරුයි, යජමානා යනු දන් දෙන්නාවූයි, අනුපරියගා යනු සැරිසැරූහ.
අස්සමෙධං යනාදියෙහි පැරණි රජුන්ගේ කාලයෙහි සස්සමෙධ, පුරිසමෙධ, සම්මාපාස, වාචපෙය්‍ය යන සතර සංග්‍රහ වස්තු විය. ඒවායින් රජවරු ලොවට සංග්‍රහ කළාහුය. එහි නිපන් ශශ්‍යයෙන් දහයෙන් කොටසක් ගැනීම සස්සමෙධ නමි. ශශ්‍ය සම්පාදනයෙහි නුවණැති බවයි අරුත්ය, මහායොධයන්ට සමසක බත්වැටුප් දීම පුරිසමෙධය නමි, පුරුෂයන්ට සංග්‍රහ කිරීමෙහි නුවණැති බව යන අරුත්ය. දිළිඳු මිනිසුන්ගේ අතින් රේඛාවක් ගෙන වසර තුනක් පොලී රහිතව දහසක් දෙදහසක් පමණ වූ ධනය දීම සම්මාපාසය නමි. එය වනාහි මනාව මිනිසුන් බඳියි හදවතෙහි බැඳ මෙන් තබයි. එහෙයින් සම්මපාසයයි කියනු ලැබේ. දරුව මයිළනුවනි ආදී ක්‍රමයෙන් සිනිඳු වදන් කීම වාචපෙය්‍ය නමි. ප්‍රියවචනයයි අරුත්ය. මෙසේ සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන ද රට සමෘද්ධ වූයේත් සපිරුණේත් විය. බොහෝ කෑමබීම ඇත්තේය, ක්ෂෙමය, නිරවුල්ය, මිනිස්සු සතුටින් තුටු පහටු වූවාහු උරයෙහි පුතුන් නටවමින් නොවැසූගෙවල් ඇත්තෝව හැසිරෙති. ගෙවල්වල අගුල් නැති බැවින් මෙය නිරග්ගළ යයි කියනු ලැබේ. මෙය පෞරාණික වූ ප්‍රවේණියයි.
මෑත කාලයෙහි ඔක්කාක රජුගේ කාලයෙහි බමුණෝ මේ සතර සංග්‍රහ වස්තු හා රටෙහි සම්පත් පෙරළා ඉගුලූ මුල් ඇති කොට අශ්වමෙධ පුරුෂමෙධ ආදී වූ යාග පසක් කළාහුය. ඔවුනතුරෙහි මෙහි අශ්වයා නසත් වධයට පමුණුවත්නුයි අස්සමෙධ නමි. අතිවිශේෂ යාග දෙකකින් යාග කළයුතු, විසිඑකක් යාගකණු ඇති, එකෙක අන්තිම දිනයෙහි පන්සිය අනුහතක් සත්ත්ව ඝාතනයෙන් බියකරු වූ, බිමත් මිනිසුනුත් හැර සෙසු සියලු සම්පත් පිඳීම් ඇති යාගයට මේ නමෙකි. මෙහි පුරුෂයකු නසතියි පුරිසමෙධ නමි. අතිවිශේෂ යාග සතරකින් යැදිය යුතු, බිම සහිතව අශ්ව මෙධයෙන් කියන ලද සම්පත් පිදීම ඇති යාගයට මේ නමෙකි. සම්මය බඳිත්නුයි සම්මාපාස නමි. දිනපතා විය සිදුරෙහි පිවිසුවන දඬුව නම්වූ සම්මය විසිකොට එය වැටුණු තැන්හි වේදිකාව තනා තැන තැන ගෙනයා හැකි යාග කණු ආදියෙන් සරස්වතී නදියෙහි ගිලුණු වේලෙහි සිට පිළිලොම්ව යන්නහු විසින් යැදිය යුතු සත්‍රයාගයට මේ නමෙකි. මෙහි වචනයම බොත්නුයි වාචපෙය්‍යං නමි. එක් විශේෂ යාගයකින් සතුන් සතළොසකින් යැදියයුතු බේලුව දැවයෙන් කළ යාග කණුව ඇති දක්ෂිණා සතළොසකින් යුත් යාගයට මේ නමෙකි. මෙහි අගුලක් නැතැයි නිරග්ගළො නමි. විශේෂයාග නවයකින් යැදියයුතු, බිම ද පුරුෂයන් ද සමඟ අශ්වමෙධයෙහි කියන ලද සම්පත් පිදීම් ඇති සබ්බමෙධ නම් පර්‍ය්‍යාය නම ඇති අශ්වමෙධ විකල්පයකට මේ නමකි.
කලම්පි තෙ නානුභවන්ති සොළසිං යනු ඒ සියලුම මහායාගයෝ එක මෛත්‍රි සිතකට විපාක මහත්වයෙන් සොළසෙන් එක්කළාවකුදු නොඅගිත්, සොළොසින් එක් කොටසකට නොපැමිණෙත්යයි අරුත්ය. න ජානාති යනු තමා විසින් අනුන්ට දැනීමක් නොකරයි, න ජාපයෙ යනු අනුන් විසින් අනුන්ට දැනීමක් නොකරයි. මෙත්තංසො යනු මෙත් කරනු ලබන සිතේ කොටසක් වීයි, සබ්බභූතානං යනු සියලු සත්ත්වයන් කෙරෙහියි, වෙරං තස්ස න කෙනවී යනු ඔහුට කිසිවකු සමඟ අකුසල වෛරයක් හෝ පුද්ගල වෛරයක් නැත.
2. ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි ආදිබ්‍රහ්මචරියකා යනු මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූයි, පඤ්ඤාය යනු විදර්‍ශනාවටයි, ගරුට්ඨානියං යනු ගෞරවය ඉපදීමට හේතුවූයි, ගරුභාවයට සුදුසුයි, තිබ්බං යනු බහුලවූයි, පරිපුච්ඡති යනු අරුත් පෙළ ගැලපීම් පෙර අපර යන කරුණු විමසයි, පරිපඤ්හති යනු ප්‍රශ්න කරයි, මෙය ද මෙය ද අසන්නෙමැයි සිතයි, ද්වයෙන යනු දෙවැදෑරුම් වූවෙනි, අනානාකථිකො යනු නානත්වයන් (විවිධත්වයන්) කථාකරන්නෙක් නොවේ, අතිරච්ඡානකථිකො යනු නන්වැදෑරුම් තිරිසන් කථා නොකියයි, අරියං වා තුණ්හී භාවං යනු ආර්ය තුෂ්ණීම්භාවය නම් චතුර්ථ ධ්‍යානයයි, සෙසු කමටහන් මෙනෙහි කිරීම ද වටියි, ජානං ජානාති යනු දතයුතුදෙය දනියි, පස්සං පස්සති යනු දැකිය යුතු දේ දකියි, පියත්තාය යනු ප්‍රියභාවය සඳහායි, ගරුත්තාය යනු ගරුභාවය සඳහායි, භාවනාය යනු බවුන් වැඩීම සඳහායි, ගුණ සම්භාවනය හෝ සඳහායි, සාමඤ්ඤාය යනු මහණදම් සඳහායි, එකීභාවාය යනු නිතරබව සඳහායි.