3. ගහපති වර්ගය
1. වෙසාලික උග්ග සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි පඤ්ඤත්තෙ ආසනෙ නිසීදී යනු ඔහුගේ ගෙදර පන්සියයක් භික්ෂූන්ට අසුන් පන්සියයක් නිති පනවන ලද්දේම වෙයි. ඒවා අතුරෙන් එක් අසුනක හිඳගත්තේය. තං සුණාහි යනු ඒවා අසවා ඒ අටවැදෑරුම් ආශ්චර්‍ය්‍ය ධර්‍ම හෝ අසව යනුයි. චිත්තං පසිදි යනු බුදුවරයෙක්ද බුදුවරයෙක් නොවේදැයි විතර්‍කමාත්‍රයකුදු නූපන්නේය. මෙතෙමේම බුදුවරයායි සිතේ පහළවීම පැහැදුනේ නොකැළඹුණේ විය. සකානි වා ඤාතිකුලානි යනු තමන්ට යැපෙන පමණ ධනය ගෙන නෑගෙවලට යත්වායි. කස්ස වො දම්මි යනු නුඹවහන්සේලාගේ කවර පුද්ගයාට දෙම්ද, තමන්ගේ අදහස මට දන්වනු මැනවි. අප්පටිවිභත්තා යනු මෙපමණක් දෙමි. මෙපමණක් නොදෙමි මෙය දෙමි මෙය නොදෙමියි සිත උපදවන්නහු විසින් බෙදන ලද්දේ නම් වෙයි. මගේ වනාහි එසේ නොවේ. සංඝයා සතු වූවක් මෙන් ද සමූහයා සතු වූවක් මෙන් ද සිල්වතුන් සමඟ සාධාරණය. සක්කච්චංයෙව පයිරුපාසාමි යනු තුටු පහටුව උවටැන් කරමි. ගරුබුහුමනින් එළඹෙමි.
අනච්ඡරියං ඛො පන මං භන්තෙ යනු ස්වාමීනි දෙවියෝ මාවෙත එළඹ යමක් මෙසේ සැළකරත්ද මෙය ආශ්චර්‍ය්‍යයක් නොවේ. මම එය හේතුකොටගෙන සිතෙහි යම් දියුණුවක් නොදනිමිද මෙබඳු ආශ්චර්‍ය්‍යයකැයි කියයි. සාධු සාධු භික්ඛු යනු මෙහි කිසියම් භික්ෂුවක් ඇමතූ සේක. උවසුවාගේ පැහැදිලි කිරීමේ සතුටෙහි මෙය සාධුකාරයයි දතයුතුය.
2. හත්ථිගාමක උග්ග සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි නාගවනෙ යනු ඒ සිටාණන්ගේ නාගවන නම් උයනයි. හෙතෙම පෙරවරුයෙහි (බතට පෙර) ගඳමල් ආදිය ගෙවාගෙන උයන් කෙළ කෙළිනු කැමැත්තේ ගොස් සතුටු වන්නේ භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැකීමත් සමඟම ඔහුට කලින් කියනලද අයුරින්ම සිත පැහැදුනේය. රහමෙරෙන් උපන් මත එකෙණෙහිම දුරුවූයේය. එය සඳහා මෙසේ කියනලදි. ඔණොජෙසිං යනු දිය අතෙහි වත්කොට දුන්නේය, අසුකො යනු අසුවලායි. සමචිත්තොව දෙමි යනු මොහුට ටිකෙකි මොහුට හුඟකැයි මෙසේ සිතේ වෙනසක් නොකරමි. දානවතුව එක් සමාන කරමැයි දක්වයි. ආරොවෙන්ති යනු අහසෙහි සිට සැලකරත්, නත්‍ථි තං සංයොජනං යනු මෙයින් උපාසක තෙමේ තමන්ගේ අනාගාමි ඵලය හෙළිකරයි.
3. හත්ථකාළවක සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි හත්‍ථකො ආළවකො යනු භාග්‍යවතුන් වහන්සේ විසින් ආළවක යක්ෂයාගේ අතින් (තම) අත්වලින් පිළිගත් බැවින් හත්‍ථක යයි ලද නම් ඇති රජ කුමරුවායි. සීලවා යනු පන්සිල් දසසිල්වලින් සිල්වත් වූයේයි. චාගවා යනු ත්‍යාගසම්පන්නවූයි. කචචිත්‍ථ භන්තෙ යනු කිසියම් අරුත් පැහැදිලි කරන තැනකයි. අප්පිච්ඡො යනු අවබෝධ කළ අල්පේච්ඡාවෙන් අපිස් වූයේයි.
4. හත්‍ථකආළවක සඞ්ගහවත්ථු සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි පඤ්චමත්තෙහි උපාසකසතෙහි යනු සෝවාන් සකෘදාගාමී වූ ආර්‍ය්‍ය ශ්‍රාවක උපාසකයන් පන්සියයකින් පිරිවරන ලද්දේ වැළඳූ උදා අහර ඇත්තේ ගඳමල් සුණු ගෙන භාග්‍යවතුන් වහන්සේ සිටි තැනට එළඹුණේය. සඞ්ගහවත්‍ථුනි යනු සංග්‍රහ කරවන කාරණයි, තෙනාහං යනු තෙහි අහං තං දානෙන සඞ්ගණ්හාමි යනු නඟුල් ගොනුන් බත් වස්ත්‍ර ආදිය මෙන්ම ගඳමල් මුදල් ආදියද දී සංග්‍රහ කරමි. පෙය්‍යවජ්ජෙන යනු මෑණියනි, පියාණෙනි, සොයුරු සොයුරිය ආදී කණට මිහිරි වූ මෘදු පිය වචනයෙන් සඞ්ග්‍රහ කරමි. අත්‍ථචරියාය යනු මොහුට දීමෙන් හෝ ප්‍රියවචනයෙන් හෝ වැඩක් නැත. වැඩ පිණිස හැසිරීමෙන් මෙතෙම සංග්‍රහ කළයුත්තෙකැයි දැන හටගත් කටයුතු ඉටු කිරීම් සංඛ්‍යාත අර්‍ත්‍ථචර්‍ය්‍යාවෙන් සඞ්ග්‍රහ කරමි. සමානත්තතාය යනු මොහුට දානාදියෙන් වැඩක් නැත. මෙතෙම සමානාත්මතාවෙන් සඞ්ග්‍රහ කළයුත්තෙකැයි එකට කෑම්බීම් හිඳීම් ආදියෙන් තමන්ට සමාන කොට සඞ්ග්‍රහ කරමි. දලිද්දස්ස ඛො නො තථා සොතබ්බං මඤ්ඤන්ති යනු දිළින්දාට කිසිවක් දීමට හෝ කිරීමට නොහැකි වන්නාටයි, දිළින්දාට යම්සේද එසේ අපට කන්දිය යුතුයයි හඟිත්. මට කන්දිය යුතුයයි හඟිත්. දුන් ඔවදනෙහි සිටිත්. මගේ අනුශාසනය නොයික්මවිය යුත්තකැයි සිතත්. යොනි ඛො ත්‍යායං යනු මේ ඔබගේ උපායෙකි. මේ සූත්‍ර දෙකෙහිදීම ශාස්තෲන් වහන්සේ විසින් ශීලත්‍යාග ප්‍රඥා මිශ්‍රකව දෙසන ලදැයි දතයුතුය.
5-6. මහානාම ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි අත්‍ථූපපරික්ඛි හොති යනු වැඩ අවැඩ කරුණු නොකරුණු විමසා බලන ලද්දේ වෙයි. සයවැන්නෙහි ශ්‍රද්ධාශීලත්‍යාගයෝ මිශ්‍රකව කියන ලද්දාහ.
7. බල සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි උජ්ඣන්තිබලා යනු දොස් නැඟීමේ බලයෝයි, බලයන්ගෙන් යමක් වේද ඒ ක්‍රොධ සිතය. හෙතෙම එසේ මට කීවේය වෙනෙකක් නොවේයයි මෙසේ දොස් නැඟීමම බලයයි. නිජ්ඣන්තිබලා යනු මෙය නොවේ. එය මෙබඳු මෙබඳු නමැයි වැඩ අවැඩ නිශ්චය කිරීමම බලයයි, පටිසඞ්ඛානබලා යනු ප්‍රත්‍යාවෙක්ෂා බලයෝයි. ඛන්තිබලා යනු ඉවසීමේ බලයෝයි.