10. අනුරුද්ධ සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි චෙතීසු යනු චෙති නම් රජුන්ගේ නිවාසස්ථානය බැවින් එසේ ලබන ලද ව්‍යවහාරය ඇති රටෙහියි, පාචීනවංසදායෙ යනු බුදුරජාණන් වහන්සේ නිවසන තැනින් පෙරදිගෙහි සිටි උණවනයෙහි, නිලෙන් බබළන උණවලින් ගැවසුණු අරණෙහියි, එවං චෙතසො පරිවිතක්කො උදපාදී යනු හෙතෙම පැවිදිව පළමු ඇතුළු වසෙහිම සමවත් ලැබූවෙක් වී දහසක් ලොව දැකීමට සමත් දිවැස් නැණ ඉපදවීය. හෙතෙම සැරියුත් තෙරුන් සමීපයට ගොස් මෙසේ කීවේය. “ඇවැත් සාරිපුත්තයිනි, මෙහි මෙම පිරිසුදු වූ මානුෂිකත්වය ඉක්මවූ දිවැසින් දහසක් ලොව බලමි. මගේ වීර්යය ඇරඹිණි. හුදෙකලාව පිහිටියේයි. එළඹසිටි සිහිය නොමුළාය. කය සැහැල්ලුය. සන්සුන්ය. සිත සමාහිතය, එකඟව තිබේ. එතකුදු වුවත් මගේ සිත ආශ්‍රවයන්ගෙන් උපාදානයෙන් තොරව නොමිදෙයි.” ඉක්බිති ඔහුට තෙරුන් වහන්සේ මෙසේ කීහ. “ඇවැත් අනුරුද්ධයිනි, මම දිවැසින් - පෙ- ලොව බලමියි යන යමක් වේද මෙය ඔබගේ මානයෙහි (මානය නිසා) සිදුවන්නකි. ඇවැත් අනුරුද්ධයිනි, මගේ වීර්යය ඇරඹිණ. - පෙ- සිත එකඟ විණැයි මෙසේ ඔබගේ යමක් වේද එය ඔබගේ උද්ධච්චයෙහි සිදුවන්නකි. ඇවැත් අනුරුද්ධයිනි, එතකුදු වුවත් මගේ සිත ආශ්‍රවයන්ගෙන් උපාදාන විරහිතව නොමිදෙයි යන මෙසේ යමක් වේද එය ඔබගේ කුකුසෙහි (කුක්කුච්චයෙහි) සිදුවෙයි. ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ මේ ධර්‍ම තුන අතහැර මේ ධර්‍මතුන මෙනෙහි නොකොට නිර්‍වාණධාතුවට සිත යොමු කරන්නේ මැනවැ”යි මෙසේ ඔහුට තෙරණුවෝ කමටහන් කීහ. හෙතෙම කමටහන් ගෙන ප්‍රත්‍යයෙහි ශාස්තෲන් වහන්සේට දන්වා චෙති රටට ගොස් මහණදම් කරමින් අඩමසක් සක්මණින් කල්යැවීය. හෙතෙම වීර්‍ය්‍ය වේගයෙන් වැඩුණු බැවින් වෙහෙසට පත් සිරුර ඇත්තේ එක් උණු පඳුරක් යට හුන්නේය. ඉක්බිති ඔහුට එවං චෙතසො පරිචිතක්කො උදපාදි යනු මේ මහා පුරුෂ විතර්‍කය උපන්නේ යයි අරුත්ය.
අප්පිච්ඡස්ස යනු මෙහි අපිස්බව ඇත්තේ, ධුතඞ්ගයෙහි අපිස් බව ඇත්තේ යයි අපිස් බව ඇත්තෝ සතර දෙනෙකි. එහි ප්‍රත්‍යයෙහි අපිස් බව ඇත්තා බොහෝ දෙනවිට ටිකක් ගනියි, ටිකක් දෙනවිට ඉතා ටිකක් ගනියි. ඉතුරු නොවීමට සතුරුවන්නෙක් නොවේ. අධිගමයෙහි අපිස් ඇත්තා මජ්ඣන්තික තෙරුන් මෙන් තමන්ගේ අධිගමය අනුන්ට දැනීමට (ඉඩ) නොදෙයි. පර්‍ය්‍යායෙහි අපිස් තැනැත්තේ ත්‍රිපිටකධරයෙක් වුවද බොහෝ දත්බව නොදන්වනු කැමැත්තේ වෙයි. සාකෙතක තිස්ස තෙරුන් මෙනි. ධුතඞ්ගයෙහි අපිස් ඇත්තා ධුතඞ්ගයන් පරිහරණය කරන බව අනුන්ට දැනීමට නොදෙයි. ද්වෙභාතික තෙරුන්ගෙන් දෙටු තෙරුන් මෙනි. කථාවස්තුව විසුද්ධිමග්ගයෙහි කියනලදි. අයං ධම්මො යනු මෙසේ ලැබූ ගුණ සැඟවීමෙන් ද පිළිගැනීමෙහි පමණ දැනීමෙන් ද අපිස් පුද්ගලයාට මේ නවලොවුතුරු දහම සපැමිණෙයි. බොහෝ දේ කැමැත්තාට නොවේ. මෙසේ සියලු තැන්හි යෙදියයුතුය.
සන්තුට්ඨස්ස යනු සිවුපසයෙහි තුන් සතුටින් සතුටුවන්නාටයි. පචිචිත්තස්ස යනු කායචිත්ත උපධි විවේකයගෙන් විවේකයටපත් පුද්ගලයාටයි. එහි කායවිවේකය නම් සමූහයා එක්ව විසීම දුරු කරයි. අටළොස් වස්තු වශයෙන් වූ හුදෙකළා බවයි. හුදෙකළාවීම් පමණින් කර්‍මය නොනිපදේයයි කසිණ පිරියම් කොට අටසමවත් උපදවයි. මෙය චිත්ත විවේකය නමි. සමවත් පමණින්ම කර්‍මය නොනිපදේයයි ධ්‍යාන පාදක කොට සංස්කාරයන් නුවණින් සලකා පිළිසිඹියා සමඟ රහත්බවට පැමිණෙයි. මෙය සියලු ආකාරයෙන්ම උපධිවිවෙකය නමි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “කායවිවේකය විවේකී සිරුර ඇති නෛෂ්ක්‍රම්‍යයෙහි ඇළුනවුන්ටය, චිත්තවිවෙකය පිරිසුදු සිත් ඇති උතුම් පිරිසුදු බවට පත්වූවන්ටය. උපධි විවේකය උපධිරහිත ඉවත්කළ සංස්කාර ඇති පුද්ගලයන්ටය.
“සඞ්ගනිකාරාමස්ස” යනු සමූහයා සමඟ එක්වීමෙහි මෙන්ම කෙලෙසුන් හා එක්ව විසීමෙහි ඇළුණු තැනැත්තාගේයි, ආරද්ධවිරියස්ස යනු කායික චෛතසික වීර්‍ය්‍ය වශයෙන් අරඹන ලද වීර්‍ය්‍ය ඇත්තාගේයි, උපට්ඨිතසතිස්ස යනු සතර සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහිය ඇත්තාගේයි, සමාහිතස්ස යනු එකඟවූ සිත ඇත්තාගේයි, පඤ්ඤචතො කම්පල ඇදහීමේ ප්‍රඥාවෙන් පැනවත්වූ පුද්ගලයාගේයි,
සාධු සාධු යනු තෙරුන්ගේ විතර්‍කය (ගැන) සතුටු වෙමින් මෙසේ කීය. ඉමං අට්ඨමං යනු නිධන් සත ලද පුද්ගලයකුට අටවැනනක් දෙන්නකු මෙන් සත්මිණිරුවන්, සත් ඇත්රුවන්, සත් අස්රුවන් ලද පුද්ගලයකුට අටවැන්නක් දෙන්නකු මෙන් සත් මහා පුරුෂ විතර්‍කයන් විතර්‍කනය කොට සිටියහුට අටවැන්න පවසන්නේ මෙසේ කීවේය. නිප්පපඤ්චාරාමස්ස යනු තෘෂ්ණා මන දිට්ඨි ප්‍රපංචරහිත බැවින් නිෂ්ප්‍රපංචය නම් වූ නිවනෙහි කැමැති වූවහුටයි, සෙස්ස ඊටම අපරනාමයකි.
යතො යනු යම් විටෙකය, තතො යනු එවිටය, නානාරත්තානං යනු නිල්, කහ, රතු, සුදු පැහැ ඇති නොයෙක් සායම්වලින් පැහැගන්වන ලද්දාවුයි, පංසුකූලං යනු තෙවිසි කෙතෙහි පැවැති පංසුකූලයයි, චීවරානං ඛායිස්සති යනු පෙරවරු ආදී යම් කලෙක ඔහුට යමක් කැමති වේද, එකල්හි එය පොරවන්නාට ඒ රෙදි බඳුන මනාපවී හැඟෙයි. මෙසේ චීවරසන්තොස මහා අරියවංසයෙන් සතුටුව වසන්නා වූ නුඹටද පාංසුකූල චීවරය (ගැන) හැඟෙයි, වැටහෙයි, රතියා යනු කැමැත්ත සඳහායි. අපරිතස්සාය යනු තෘෂ්ණාදෘෂ්ටි සැලීවලින් නොසැලීම සඳහායි, ඵාසුවිහාරාය යනු සුවසේ විසීම සඳහායි. ඔක්කමනාය නිබ්බානස්ස යනු අමා නිවනට බැස ගැනීම සඳහායි.