7. භාවනානුයුත්ත සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි අනනුයුත්තස්ස යනු සුදුසු සේ යෙදී නොවසන්නහුගේයි, සෙය්‍යථාපි භික්ඛවෙ කක්කුටියා අණ්ඩානි යනු කෘෂ්ණ පක්‍ෂයෙහි හා ශුක්ල පක්ෂයෙහි වශයෙන් මේ උපමා දෙකක් කියන ලදි. ඔවුනතුරෙන් කෘෂ්ණ පක්ෂයෙහි (අයහපත් පැත්තෙහි) උපමාව අර්‍ත්‍ථයට අධික නොවන අතර සෙස්ස අධික සහිතයි. ශුක්ල පක්ෂ උපමාවේම අර්‍ත්‍ථය දතයුතුය. සෙය්‍යථාපි යන උපමා අර්ථයෙහි නිපාතයෙකි, අපි යන සම්භාවනාර්ථයෙහියි, දෙකින්ම යම්සේ නම් මහණෙනියි දක්වයි, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා යනු මෙහි වනාහි කිසියම් කිකිළියකගේ කියන ලද අයුරින් අඩු වැඩි වූ ද බිජු වෙයි. වචනයෙහි සිලිටුබව සඳහා මෙය කියන ලදි. මෙසේ ලොවෙහි සිලිටි වචන වෙයි. තානස්සු යනු ඒවා වෙයි. ඒවා වන්නේ යයි අරුත්ය. කුක්කුටියා සම්මා අධිසයිතානි යනු උපදවන්නා වූ කිකිළිය විසින් පියාපත් විහිදුවා ඒවා මත්තෙහි නිදමින් මනාව රක්නා ලද්දේයි, සම්මා පරිසෙදිතානි යනු කලින් කලට සෘතු ගන්වමින් මනාව හාත්පසින් රත්කරන ලද්දේ උණුසුම් කරන ලද්දේයි, සම්මා පරිභාවිතානි යනු කලින්කල මනාව හාත්පසින් ඇසුරු කරන ලද්දේයි, කුකුළුගඳ ගන්වන ලද්දේයි අරුත්ය.
කිඤ්චාපි තස්සා කුක්කුටියා යනු ඒ කිකිළියට මේ තෙවැදෑරුම් කටයුතු කිරීමෙන් නොපමා කොට මෙබඳු කිසි කැමැත්තක් නොඋපදින්නේය. අථ ඛො භබ්බාව තෙ යනු ඉක්බිති ඒ කුකුළු පොව්වෝ කියන ලද අයුරින් සුවසේ (බිජුවට) බිඳ දැමීමට හැක්කෝම වෙත්, යම් හෙයකින් ඒ කිකිළිය විසින් මෙසේ තුන් ආකාරයකින් ඒ බිජුවට රකිනු ලැබෙයි ද කුණු (නරක්) නොවෙයි, ඔවුන්ගේ යම් තෙත් ඇලෙන සුලු බවක් වේද එය නිමාවට යයි. කපාලය සිහින් වෙයි. පා නිය සිළු ද මුව හොට ද රළු වෙයි, තෙමේම මුහුකුරායාමට යෙයි. කපාටයේ තුනී බැවින් පිටත ආලෝකය ඇතුළත පැනෙයි, එහෙයින් බොහෝ කලක් අපි හකුළා ගත් අත්පා ඇත්තෝව බාධා සහිත තැනක නිදම්හ. මේ පිටත එළිය ද පෙනෙයි. මෙහි දැන් සුවසේ විසීමක් නොවන්නේයයි නික්මෙනු කැමැත්තෝව කබලට පයින් පහර දෙති. ගෙල දිගු කරති. එයින් ඒ බිජුකබල දෙකට බිඳෙයි. ඉක්බිති ඔවුහු පියාපත් ගසා දමමින් ඒ වේලාවට සුදුසු ලෙසින් හඬ දෙමින් නික්මෙත්මය. නික්ම ගම්කෙත් හොබවමින් හැසිරෙත්.
එවමෙව ඛො යන මෙය උපමාව ගැලපීමයි, එය මෙසේ අර්‍ත්‍ථයෙන් සසඳා දැක්විය යුතුයි. ඒ කිකිළියගේ බිජුවටෙහි තෙවැදෑරුම් කටයුතු කිරීම මෙන් මේ භික්ෂුවගේ භාවනාවෙහි යෙදුණු කාලයයි, කිකිළිය විසින් තෙවැදෑරුම් කටයුතු සැපයීමෙන් බිජුවටවල නරක් නොවීම මෙන් භාවනාවට යෙදුණු භික්ෂුවගේ තෙවැදෑරුම් අනුපස්සනා සැපයීමෙන් විදසුන් නුවණේ නොපිරිහීමයි. ඇයගේ ත්‍රිවිධ ක්‍රියා කිරීමෙන් බිජුවටවල තෙත් ඇලෙන සුළුබවේ නිමාව මෙන් ඒ භික්ෂුවගේ ත්‍රිවිධ අනුපස්සනා සම්පදනයෙන් භවත්‍රයට අනුගතව මෙහෙයවන්නා වූ තෘෂ්ණාවේ නිමාවීමයි. බිජුවට කබල්වල තුනී බව මෙන් භික්ෂුවගේ අවිද්‍යා අණ්ඩකොශයේ තුනීබවයි. කුකුළු පැටවුන්ගේ නියහොටවල තදරළු බව මෙන් භික්ෂුවගේ විදසුන් නුවණේ තියුණු රළු පැහැපත් සූර බවයි. කුකුළු පැටවුන්ගේ මුහුකුරා යන කාලය මෙන් භික්ෂුවගේ විදසුන් නුවණේ මිහිකිරෙන කාලයයි, ගැබ් ගන්නා කාලයයි. කුකුළු පැටවුන්ගේ පා නිය සිළුවෙන් හෝ මුවෙහි හොටින් හෝ බිජුවට පලා පියාපත් ගසාදමමින් සුවසේ එළියට නික්මෙන කාලය මෙන් විදසුන් නුවණ ගැබ්ගන්වා හැසිරෙන එම භික්ෂුවගේ බොජුන් සප්පායම හෝ පුද්ගල සප්පායම හෝ දහම් ඇසීමේ සප්පායම ලැබ එක් අසුනෙක හිද විදසුන් වඩමින් පිළිවෙලින් පැමිණියා වූ රහත් මගින් අවිද්‍යා බිජුවට පලා අභිඥා නමැති පියාපත් සොළවමින් සුවසේ රහත් බවට පත් කාලය දතයුතුයි.
යම්සේ වනාහි කුකුළු පැටවුන් මුහුකුරා ඇතිබව එබඳු වූ භික්ෂුවගේ නුවණ මිහිකිරීම දැක ශාස්තෲන් වහන්සේ ද -
සරත් කල්හි වූ කුමුදු මලක් අතින් (සිඳින්නාක්) මෙන් තමන්ගේ ඇල්ම සිඳුව. සෙත් මගම වඩව. බුදුන් වහන්සේ විසින් නිවන දෙසන ලදි.
ආදී ක්‍රමයෙන් ආලෝකයක් පතුරුවා ගාථාවෙන් අවිඳු බිජුවට පහර දෙන සේක. හෙතෙම ගාථාව අවසන්හි අවිඳු බිජුවට බිඳ රහත් බවට පත්වූයේය. එතැන් පටන් යම්සේ ඒ කුකුළු පැටවූ ගම්කෙත් හොබවමින් එහි හැසිරෙත්ද එසේ මේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ද නිවන අරමුණු වූ ඵලසමවත් නංවා සඟ අරම හොබවමින් හැසිරෙති.
ඵලගණ්ඩස්ස යනු වඩුවාගේයි, හෙතෙම වනාහි ලඹය හසුරුවා දැවවල ගැටය ඉවත් කරයිනුයි ඵලගණ්ඩයි කියනු ලැබේ. වාසිජටෙ යනු වෑමිට ගන්නා තැන්හියි, ඵත්තකං වා මෙ අජ්ජ ආසවානං ඛීණං යනු පැවිද්දාගේ වනාහි පැවිද්දට චෙතනාදි වශයෙන් සැකෙවින් උදෙසීමෙන් ද පිළිවිසීමෙන් ද නුවණින් මෙනෙහි කිරීමෙන් වත් පිළිවෙතින් ද නිබඳව ආශ්‍රවයෝ ක්‍ෂය වෙත්. මෙසේ ක්‍ෂය වන්නා වූ ඒ ආශ්‍රවයන්ගෙන් අද මෙපමණක්, ක්ෂය වීය. හෙට මෙපමණක් යයි මෙසේ ඔහුට දැනුමක් නොවේ යන අරුත්ය. මේ උපමාවෙන් විදර්‍ශනානිශංසය පැහැදිලි කරන ලදි.