2. මහා වර්ගය
1. හිරොත්තප්ප සූත්‍ර වර්ණනාව
සත්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි හතුපනිසො යනු සිඳුණු හේතු ඇත්තේයි, යථාභූතං ඤාණදස්සනං යනු තරුණ විදර්ශනාවයි, නිබ්බිදාවිරාගො බලවත් විදර්ශනාව මෙන්ම මාර්ගය ද වේ. විමුත්තිඤාණදස්සනං යනු අරහත් විමුක්තිය හා ප්රත්යවෙක්ෂණාවයි.
2. සත්තසුරියුග්ගමන සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි යම් හෙයකින් මේ සත්තසූරිය දේසනාව තෙජොසංවට්ට දැක්වීම් වශයෙන් පවත්වන ලද්දේ ද එහෙයින් සංවට්ටතුන සංවට්ටසීමා තුන සංවට්ටමූල තුන යන මෙය මුලින්ම මේ සූත්‍රයේ මුලින් පවතින කථාව (ලෙස) දතයුතුය. එය විසුද්ධිමග්ගයෙහි පුබ්බෙනිවාසානුස්සති නිර්දේශයෙහි විස්තර කරන ලද්දේය. එතදවොච යනු අනිත්‍ය කර්මස්ථානික වූ පන්සියයක් භික්ෂූන්ගේ අදහසින් තමාගේ වශයෙන් දැඩිව ගන්නා ලද හා එසේ නොගන්නා ලද සංස්කාරයන්ගේ විනාශය දැක්වීම සඳහා එවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා යනාදී සප්තසූර්ය්යොපම සූත්‍රාන්තය දෙසූ සේක. එහි අනිච්චා යනු පැවතී විනාශවිම් අර්ත්ථයෙන් අනිත්යයෝයි, සඞ්ඛාරා යනු දැඩිව ගන්නාලද හා දැඩිව නොගන්නාලද සංස්කාර ධර්මයෝයි, අද්ධුවා යන අස්ථිරාර්ථයෙන් නිත්‍ය නොවූයි, අනස්සාසිකා යනු අශාස්වත (සදාකල් නොපවතින) අර්ත්ථයෙන් සැනසීමක් නැතිවුයි, අලමෙව යනු සුදුසුමය,
අජ්ඣාගාළ්හො යනු දියෙහි පිවිසුණේයි. අච්චුග්ගතො යනු දිය මතුපිටින් මතුවූයේයි, දෙවො න වස්සති යනු පළමුව උපකප්පන මෙඝ නම්වූ කිසිවක් ලක්ෂයක් සක්වළෙහි එකම වළාකුලක් වී වසයි, එකල්හි නික්මුණු බීජය යළි ගෙට නොපිවිසෙයි, එතැන් පටන් ජලය පෙරහනෙහි වියලී ගියාක් මෙන් වෙයි. යළි වැස්ස එක් බිඳුවකුදු නොවසියි යන උපමාවයි, ධර්මකථාවම ප්‍රමාණ නොවේ. විනාශවන විට ලෝකයෙහි පළමුව අවිචියෙහි පටන් හිස්වෙයි. සත්ත්වයෝ එයින් නැඟී මිනිස් ලොවෙහි ද තිරිසනුන් අතර ද උපදිත්. තිරිසනුන් අතුරෙහි උපන්නාහු ද පුතුන් සොහොයුරන් කෙරෙහි මෛත්‍රිය ලබා කළුරිය කළාහු දෙවිමිනිසුන් අතුරෙහි උපදිත්. දෙවියෝ අහසින් හැසිරෙමින් මේ ස්ථානය සදාකල් නොපවතියි මෛත්‍රිය වඩවු කරුණාව මුදිතාව උපෙක්ෂාව වඩමුයි සැලකරත්. ඔවුහු මෛත්‍රිය ආදිය වඩා එයින් චුතව බ්‍රහ්මලෝකයෙහි උපදිත්.
බීජගාමං යනු මෙහි බීජගාමය නම් බීජජාති පසයි. භූතගාමය නම් යම් කිසි නික්මුණු මුල් කොළ ඇති අරළු ඖෂධීය තෘණ වනස්පතී වෘක්ෂයෝයි. මෙහි ඔසධී යනු බෙහෙත් ගස්ය, තිණා යනු පිටතහරය ඇති තල් පොල් ආදියයි. වනස්පතයො යනු වනයට අධිපති වෘක්ෂයෝයි, කුන්නදියො යනු පස් මහ නදීන් හැර සෙසු ගංගාවෝයි, කුස්සුබ්හා යනු සත්මහ සයුරු හැර සෙසු විල් ආදියයි, දුතියො සුරියො යනාදියෙහි දෙවෙනි හිරු ඇතිවිට එක් සූර්‍ය්‍යයෙක් නැගෙයි, එක් සූර්‍ය්‍යයෙක් බසියි, තෙවැනි හිරු ඇති කල්හි එකක් නඟියි. එකක් බසියි. එකක් මැඳයි. සිවුවැනි සූර්ය්ය කාලයෙහි සිවුකුලයට අයත් මිනිසුන් ඇති ගමෙක පිඬු හැසිරෙන්නන් සිවු දෙනෙකු පිළිවෙලින් දොරටුවෙහි සිටියාක් මෙන් වෙයි. පස්වෙනි සූර්‍ය්‍යයා ආදී කාලයෙහි ද මේ ක්‍රමයමයි. පලුජජන්ති යනු සිඳී වැටෙත්. නෙව ඡාරිකා පඤ්ඤායති න යනු සක්වළ මහපොළොව මහමෙරපව්ව හිමාලය සක්වළ පව්ව කාමස්වර්හගය ප්‍රථම ධ්‍යානික බ්‍රහ්මලෝක යන මෙපමණ තැනක් දැවුණු විට දෑගිල්ලට ගතයුතු පමණ වූ ද අලු හෝ අඟුරු හෝ නොපැනෙයි. කො මන්තා කො සද්ධාතා යනු කවරෙක් ඔහුට විශ්වාසය ඇති කරවනු සඳහා කථා කිරීමට සමතෙක් වේද? ඔහුගේ විශ්වාසය ඇතිකරවන කවරෙක් හෝ වේද? අඤ්ඤත්ර දිට්ඨපදෙහි යනු දැකිය හැකි පියවර ඇති සෝවාන් ආර්‍ය්‍යශ්‍රාවකයන් හැර අන් කවරෙක් විශ්වාසය ඇති කරවන්නේද යන අරුත්ය.
විතරාගො යනු විෂ්කම්භන වශයෙන් දුරුකළ රාග ඇත්තේයි, සාසනං ආජානිංසු යනු ආනුශාසනය අනුව දත්තාහුය. බඹලොව සහවාසයේ මගට පිළිපන්හ. සමගතියො යනු දෙවැනි භාවයෙහි සියලු ආකාරයෙන් සමාන පැවැතුම් ඇත්තේය, උත්තරිං මග්ගං භාවෙය්යං යනු ප්‍රථම ධ්‍යානයට මත්තෙහි ත්රිකචතුෂ්ක ධ්‍යානයන් දක්වා මෛත්‍රිය ප්රණිත කොට වඩන්නේය. චක්ඛුමා යනු පසැසින් ඇස් ඇත්තේයි. පරිනිබ්බුතො යනු බෝ පළඟෙහිදීම කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවීයේයි, මෙසේ අනිත්‍ය ලක්ෂණය දක්වා ශාස්තෲන් වහන්සේ දේශනාව පවත්වන කල්හි ඒ පන්සියයක් අනිත්‍ය කර්මස්ථානික භික්ෂූහු දෙසනානුසාරයෙන් නුවණ යවා හුන් අසුන්හිම රහත්බවට පැමිණියාහුය.
3. නගරූපම සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි යතො යනු යම් විටෙකයි, පච්චන්තිමං යනු රට කෙළවර රට අවසන්හි බැසගත්තාවුයි, (පිහිටියාවූයි). මධ්‍ය දේශයෙහි නගරයට රැකවල්කිසක් නැත. එහෙයින් එය නොගන්නා ලදි. නගරපරික්ඛාරෙහි පරික්ඛිත්තං යනු නගරාලංකාරයන්ගෙන් අලංකාරවූයි. අකරණීයං යනු නොකළයුතු වූ, නොයායුතුවූයි, ගම්භීරනෙමා යනු ගැඹුරු ආවාටයෝයි, සුනිඛාතා හිඳුවන ලද්දාවූයි. ඒ නුවර දොරටුව ඉදිරියෙහි වූ කුළුණ ගඩොලින් හෝ ගලින් හෝ කිහිරි ආදී හරවත් දැවයෙන් හෝ කරත්. එය නුවර ආරක්ෂාවට කරන්නාහු පිට නගරයෙහි කරති. අලංකාරය සඳහා කරන්නාහු ඇතුළු නුවරෙහි කරත්. එය ගලින් නිමවන්නාහු මහත් ආවාටයක් කොට එය ගොඩ කොට මත්තෙහි අටැස් කොට හුණු පිරියම් කරත්. යම් විටෙක ඇතෙකු විසින් දළින් අනිනා ලද්දේ නොසැලෙයිද එවිට මනාව අලෙව් කරන ලද්දේ නම් වෙයි. ගල්කණු ආදිය ද අටැස් වූයේම වෙයි. ඒවා ඉදින් අටරියන් වෙයිද සිවුරියනක් පමණ වළෙහි පිවිසෙයි. සිවුරියනක් පමණ මතුපිටින් වෙයි. සොළොස් රියන් විසිරියන් ආදියෙහි ද මේ ක්‍රමයමයි. සියල්ලේම අඩක් යට ද අඩක් උඩ ද වෙයි. ඒවා ගොමුත්රවඞ්ක වෙයි. එහෙයින් ඒවා අතුරෙහි ඵලක තබා සිතුවම් කිරීමට හැකිවෙයි. ඒවා කරනලද සිතුවම් ඇත්තේ ගන්නා ලද ධජ ඇත්තේ වෙයි.