4. ධම්මඤ්ඤූ සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි කාලං ජානාති යනු සුදුසු කාලය දනියි, අයං කාලො උද්දෙසස්ස යනු මේ බුද්ධ වචනය උගන්නා කාලයයි, පරිපුච්ඡාය යනු වැඩ අවැඩ කරුණු නොකරුණු විමසීමේයි, යොගස්ස යනු යෙදීමෙහි (බවුන් වැඩීමෙහි) කර්‍මය හෙලීමේයි, පටිසල්ලානස්ස සැඟවී සිටීමේ, හුදෙකලා, බවේයි, ධම්මානුධම්මපටිපන්නො යනු නවලොවුතුරු දහමට අනුරූප වූ ධර්‍මය වූ පූර්‍වභාග ප්‍රතිපදාවට පිළිපන්නේයි, එවං ඛො භික්ඛවෙ භික්ඛු පුග්ගලපරොවරඤ්ඤු හොති යනු මෙසේ භික්ෂුව පුද්ගලයන්ගේ උසස් පහත් බව තියුණු මුදු බව දැනීමේ සමත්වූයේ නම් වෙයි :
5. පාරිච්ඡත්තක සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි සන්නපලාසො යනු වැටුණු පත් ඇත්තේයි, ජාලකජානො යනු හටගත් කොළමල් සමූහයයි, එහි කොළ සමූහය ද මල් සමූහය ද එකටම නික්මෙයි, ඛාරකජාතො යනු වෙන් වෙන්ව පිහිටි මනාව බෙදනලද කොළ දැලින් ද මල් දැලින් ද යුක්ත වූයේයි, කුඩුමලකජාතො යනු හටගත් (මල්) කුකුළු ඇත්තේයි, කොකාසකජාතො යනු විකසිත නොවූ මහාකුසක් ඇති බිඳුණු මුව ඇති මලින් යුක්ත වූයේයි, සබ්බපාලිඵුල්ලො යනු සියලු අයුරින් සුපිපුණාවූයි, දිබ්බෙචත්තාරො මාසෙ යනු දිව්‍ය ආයුෂයෙන් සිවු මසෙකයි, මිනිස් ගණනින් ඒවා දොළොස් දහසක් අවුරුදු වෙයි, පරිචාරෙන්ති යනු ඔබමොබ ඉඳුරන් මෙහෙයවත්, කෙළිදෙලෙන් සිටිති යන අරුත්ය.
ආභාය පුටං හොති යනු එපමණ තැනක් ආලෝකයෙන් පැහැසී සිටියේ වෙයි. ඒ මල්වල ළහිරුගේ මෙන් බැබලීම වෙයි. පත්‍රයෝ කොළවලින් සෑදු කුඩයක් පමණ වෙති. ඇතුළත මහතුඹක් පමණවූ රේණුවක් වෙයි. පිපුණු කල පාරිච්ඡත්තක ගසට නැඟීමක් හෝ අකුස්සක් ගෙන නැවීමක් හෝ මල් ගැනීම සඳහා මල් පැසක වැඩක් හෝ නැත. නෙලන (සිඳින) සුළඟ නැඟී මල් නටුවෙන් සිඳියි. පිළිගන්නා සුළඟ පිළිගනියි, පිවිසුවන සුළඟ සුදම් දෙවිසබයට පිවිසුවයි. හමනා සුළඟ පැරණි මල් ඉවතලයි, අතුරුවන සුළඟ මල්කෙමි කෙසරු රඳවමින් අතුරුවයි, මැදතැන ධර්‍මාසනය වෙයි. යොදුනක් පමණ වූ රුවන් පළඟකි. තුන් යොදුනකින් සේසත දරමින් අනතුරුව සක්දෙවිරජුට අසුන අතුරයි. අනතුරුව තෙතිස් දෙවිපුතුන්ටය, අනතුරුව මහෙසාඛ්‍ය දෙවියන්ටය. වෙනත් දෙවියන්ට මල්කෙමියම අසුන වෙයි. දෙවියෝ දෙව්සබයට පිවිස හිඳිත්. ඉක්බිති මල්වලින් රොන්වැටි මතුවී මතු කෙමියෙහි ගැටී වැටෙමින් දෙවියන්ගේ තුන්ගවූ පමණ වූ සිරුර ලහකම් පිරියමින් සැදුනාක් මෙන් ද රන්දුණු ගැවසුනාක් මෙන් ද කරයි. ඇතැම් දෙවිවරු එක් එක් මලගෙන ඔවුනොවුනට ගසමින් ද කෙළිසෙල්ලම් කරති. ගසන විට ද මහතුඹක් පමණ වූ රොන් නික්ම සිරුර පැහැයෙන් යුත් ගඳ සුණුවලින් හටගත් මනොසිලා ආලේපයක් මෙන් කරයි. මෙසේ ඒ ක්‍රීඩාව සිවුමසකින් නිමාවට යයි. අයමානුභාවො යනු මෙය පැතිර යාමට ආනුභාවයයි,
දැන් යම් හෙයකින් ශාස්තෲන් වහන්සේ පරසතු ගසින් වැඩක් ඇති සේක් නොවෙත්ද එය සමග උපමා කොට සත් ආර්‍ය්‍ය ශ්‍රාවකයන් දක්වනු කැමති සේක් ඔවුන් දැක්වීමට එවමෙව ඛො යනාදිය පැවසූ සේක. එහි පබ්බජ්ජාය චෙතෙති යනු පැවිදි වන්නෙමැයි සිතයි, දෙවානංව යනු දෙවියන්ගේ මෙනියි. යාව බ්‍රහ්මලොකා සාධුකාරසඤ්ඤො අබ්භූග්ගච්ඡති යනු පොළෝතෙලෙහි සිට බඹලොව තෙක් සාධුකාර හඬින් එකම හඬක් විය, අයමානුභාවො යනු මෙය කෙලෙස් දුරුකළ භික්ෂුවගේ පැතිරයාමේ මහිමයයි, මේ සූත්‍රයෙහි චතුපාරිසුද්ධිසීලය පැවිද්ද ඇසුරු කොට ඇත්තේ වෙයි. කසිණ පරිකර්‍මය ප්‍රථම ධ්‍යානය ඇසුරු කොට ඇත්තේයි, විදර්‍ශනාව සමග මාර්‍ග තුන ද ඵලතුන ද අරහත් මාර්‍ගය නිශ්‍රිත වූයේම වෙයි. දෙසුමට නම් මත්තෙන් හෝ යටින් හෝ දෙපසින් හෝ පරිච්ඡෙදය (සිඳීම) වෙයි. මෙහි වනාහි දෙපසින් පරිච්ඡෙදයයි. එහෙයින් මෙය කියන ලදි. සැකෙවින් වනාහි සසර හා නිවන කියන ලදැයි දතයුතුය.